ප්‍රහාරක යානයක් ඉරාන මගී යානයකට හරස් වෙලා



තෙහෙරාන් සිට බීරූට් දක්වා පියාසර කරමින් තිබුණු ඉරාන මගී ගුවන් යානයකට ඊශ්‍රායල ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානයක් හරස් වී ඇතැයි ඉරාන පුවත් සේවා වාර්තා කළේය.

මගී ගුවන් යානය ඉරානයේ ‘මහාන් එයාර්’ ගුවන් සේවයට අයත් එකකි. යානය සිරියාවට ඉහළින් පියාසර කරද්දී, ඊශ්‍රායල ගුවන් හමුදාවේ එෆ් 15 වර්ගයේ ජෙට් යානය එය ඉදිරියට පැමිණ ඇත්තේ පෙර දැනුම්දීමක් නොකරය.

ජෙට් යානය මඟ හැරීමට ඉරාන මගී යානයේ නියමුවෝ යානයේ ගමන් මඟ හදිසියේ වෙනස් කළහ. හදිසියේ යානයේ ගමන් මඟ වෙනස් කළ හෙයින්, ආසන පටි නොපැලඳ සිටි මගීන් කිහිප දෙනකු සහ ගුවන් සේවිකාවන් කීප දෙනකු විසි වී ගොස් තුවාල ලැබූ බව පසුව වාර්තා විය.

බීරූට් ගුවන් තොටුපොළට ගොඩබෑමෙන් පසු තුවාල ලැබූවන්ට ප්‍රතිකාර ලබා දීම සිදුවුණු බවත්, ඔවුන්ගේ තුවාල දරුණු නොවන බවත් බීරූට් ගුවන්තොටුපොළ බලධාරීන් පවසා තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊශ්‍රායල ගුවන් හමුදාව හෝ ඊශ්‍රායල රජය හෝ මෙතෙක් කිසිවක් පවසා නැත.

තෙහෙරාන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS