‘වකාරි’ පුපුරයි



නවසීලන්තයේ වඩාත් සක්‍රීය ගිනි කන්ද එසේත් නැතිනම් යමහල පසුගිය දා, නවසීලන්තයේ වේලාවෙන් සවස 2.11 ට පුපුරා ගියේය. පිපිරීමත් සමඟ අළු අංශු සහ උණු පාෂාණ කැබැලි මුසුවුණු දුම්වලා අඩි 12,000 ක් උස අහසට විදිනු ලැබුවේ උණුසුම් හුමාලය සමඟය.

නවසීලන්තය දූපත් රාජ්‍යයකි. පිහිටා ඇත්තේ ඕස්ටේලියාවට නැගෙනහිර දෙසිනි. ලෝකයේ පළමුවෙන්ම හිරු උදාවන රටක් වන්නේ ද නවසීලන්තයයි. නවසීලන්තය ප්‍රධාන දූපත් දෙකකින් සමන්විතය. ඒ, උතුරු දිවයින සහ දකුණු දිවයින වශයෙනි. ඊට අමතරව තවත් කුඩා දූපත් නවසීලන්තයට අයත් වෙයි. උතුරු දිවයිනේ සිට කිලෝ මීටර් 48 ක් දුරින් ‘වයිට් අයිලන්ඞ්’ හෙවත් ‘වකාරී’ දූපත පිහිටා ඇත. පුපුරා ගියේ මෙම දූපතේ යමහලය. ‘වයිට් අයිලන්ඞ්’ දූපත නවසීලන්තයට අයත් වුවත් එය පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත දූපතකි. යමහල හේතුවෙන් දූපත සංචාරක ආකර්ශනයකි. නවසීලන්ත ජාතිකයන් පමණක් නොව, විදෙස් සංචාරකයෝ ද දූපතට පැමිණ, යමහල් විවරය තෙක් ඇවිද යති. යමහලක් පිහිටා ඇති බැවින් දූපත උණුසුම්ය. බොහෝ සංචාරකයන් දූපතට පැමිණෙන්නේ මේ උණුසුම විඳ ගැනීමටය. විශේෂ බූට් සපත්තු පැළැඳ ඔවුහු දූපතට පය තබති. සංචාරකයන් රැගෙන යන සුඛොපබෝගී කෲස් නැව් දූපත අසලට සේන්දු වන අතර, නැව්වල ගමන් කරන සංචාරකයෝ දූපතට බෝට්ටුවලින් පැමිණ දූපත නරඹන බව පැවැසෙයි.

‘වකාරී’ දූපතේ ගිනි කන්ද පුපුරා ගියේ කිසිදු පෙර දැනුම්දීමකින් තොරවය. කෙසේ නමුත් නවසීලන්ත භූ විද්‍යාඥයන් නිරන්තරයෙන් අනතුරු ‘වකාරී’ දූපතේ ගිනි කන්ද පුපුරා ගියේ කිසිදු පෙර දැනුම්දීමකින් තොරවය. කෙසේ නමුත් නවසීලන්ත භූ විද්‍යාඥයන් නිරන්තරයෙන් අනතුරු අඟවා තිබුණේ දූපතට යෑම අවදානස් බවය. සාමාන්‍යයෙන් ගිනි කන්දක් පුපුරා යද්දී අප අපේක්ෂා කරන්නේ ලාවා විදාරණය (පිපිරීම) කි. කෙසේ නමුත් මෙහිදී එවැනි ලාවා විදාරණයක් සිදු නොවිණි. යමහල් විවරයෙන් නිකුත් වූයේ හුමාලයයි. දුම්වලා සමඟ හුමාලය ගුවනට විසිරී යද්දී, යමහල් විවරය අසල සිටි සංචාරකයෝ ඊට බිලි වූහ. 30 දෙනකු අතුරුදන් වුණු බවත්, පස් දෙනකුගේ සිරුරු හමුවුණු බවත් නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසුවාය.

යමහල පුපුරා යද්දී දූපතේ කොටුවුණු පිරිස් මුදා ගැනීමට නවසීලන්ත රජය කඩිනමින් මෙහෙයුමක් ඇරැඹීය. හෙලිකොප්ටර් යාන 7 ක් සහ වෙරළාරක්ෂක බෝට්ටු ඊට යෙදා ගැණුනි. පිළිස්සුම් තුවාල ලැබූවන් සහ විස සල්ෆර් (ගෙන්දගම්) ආඝ්‍රාණය වූ 20 දෙනකු ලහිලහියේ රෝහල් ගත කෙරුණි. යමහල පුපුරා යද්දී, එය නැරැඹීමට ගොස් සිටි සංචාරකයන් ගණන 100 කට වැඩි යැයි පැවැසෙයි. ඇමෙරිකා, චීන, ඕස්ටේලියා, බ්‍රිතාන්‍ය, මැලේසියා සහ නවසීලන්ත ජාතිකයෝ එම පිරිස අතර සිටියහ.

ගිනි කන්දක් හෙවත් යමහලක් පිපිරී යනවා එසේත් නැත්නම් විදාරණය, සොබා දහමේ වඩාත් බිහිසුණු සංසිද්ධියකි. නවසීලන්ත වකාරී දූපතේ ගිනි කඳු පිපිරීම්දී දකින්න නොලැබුණත් සාමාන්‍යයෙන් ගිනි කඳු පිපිරීමකදී පෘථිවිය අභ්‍යන්තරයේ ඇති ඛනිජ සහ ඓන්ද්‍රීය ද්‍රව්‍ය මුසු වූ උණු පාෂාණ හෙවත් ‘මැග්මා’ පෘථිවිය මතුපිටට පැමිණීමක් සිදුවෙයි. එසේ පැමිණෙන විවර සහ සිදුරු යමහල් ලෙස හැඳින්වෙයි. වායු සහ වාෂ්පශීලී ද්‍රව්‍යවලින් යුත් ඉතා දැඩි පීඩනයක් හා උෂ්ණත්වයක් යටතේ පෘථිවියේ පෘෂ්ඨයට යටින් නිකුත් වන ද්‍රව පාෂාණ ‘මැග්මා’ ය. පෘථිවිය අභ්‍යන්තරයේ ඇති මැග්මාවලට අඛණ්ඩ ස්තරයක් නැත. පෘථිවි අභ්‍යන්තරයට යද්දී, කිලෝ මීටර් 16 ක ගැඹුරකදී හෝ ඊට පහළින් ‘මැග්මා’ දැකිය හැකිවෙයි. යහමල්වලින් පිටතට විදින හෝ ගලා යන දියරමය ගතියෙන් යුත් මැග්මා හැඳින්වෙන්නේ ලාවා යනුවෙනි. ගිනි කඳු පිපිරීම්වලදී පිටතට ගලා එන්නේ ලාවා ය. ඇතැම් ගිනි කඳු පිපිරීම්වලදී ගිනි කන්දේ විවරයෙන් පිටතට යන ලාවා සෙමින් ගලා බසී. ඇතැම් අවස්ථාවලදී ලාවා ගලා ඒම වේගවත්ය.

එවැනි වේගවත් අවස්ථාවලදී ලාවා ගලා බැසීම ප්‍රචණ්ඩකාරීව සිදුවන අතර වැඩි විනාශයක් ද සිදුවෙයි. නවසීලන්ත ගිනි කනන්දේ පිපිරීම විශාල බලපෑමක් නොකළත්, ඇතැම් ගිනි කඳු පිපිරීම් ප්‍රබලය. පාෂාණ, දූවිලි සහ අළු කොටස් සහ සල්ෆර් වැනි විස වායු පිටවීමක් සිදුවෙයි. දුම්වලා සමඟ උණු ජල වාෂ්ප අහසේ කිලෝ මීටර් ගණනාවක් දුරට පැතිරේ. ඉංග්‍රීසි බසින් යමහලක් හඳුන්වන්නේ ‘වොල්කෙනෝ’ යනුවෙනි. එම නව යොදා ගැනෙන්නේ ගින්දරට අධිපති රෝම දෙවඟන වූ ‘වොල්කැනස්’ සිහිවීමටය. ගිනි කඳු එසේත් නැතිනම් යමහල් සම්බන්ධයෙන් අභ්‍යනය කරන භූ විද්‍යාඥයන් හැඳින්වෙන්නේ ‘යමහල් විද්‍යාඥයන්’ යනුවෙනි.

යමහල් ඇත්තේ, පොළොව මතුපිට පමණක් නොවෙයි. මුහුදු පතුළේ ද යමහල් පිහිටා ඇත. ග්ලැසියර් තට්ටු අතරේත් ද යමහල් තිබේ. ඒ හැම යමහලක ම ජීවන චක්‍රය එකිනෙකට වෙනස් වෙනස් යැයි යමහල් විද්‍යාඥයෝ පෙන්වා දෙති. සමහර ගිනි කඳු බොහෝ සෙයින් සක්‍රීය ය. වසරක් පාවා ඒවා පුපුරා යයි. සමහර යමහල් අක්‍රීය වෙයි. වැඩි කාලයක්, එනම්, වසර දහස් ගණනාවක් අක්‍රියව පවතී. මේ ගිනි කඳු හැඳින්වෙන්නේ ‘නිද්‍රාගත යහමල්’ යනුවෙනි. යමහල් විශේෂඥයන් නිරන්තරයෙන් සක්‍රීය සහ නිද්‍රාගත යමහල් ගැන පරීක්ෂණ පවත්වයි. ඒවා සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවෙයි. බොහෝ අවස්ථාවලදී අනාගතයේ සිදුවන ගිනිකඳු විදාරණයන් ගැන අනාවැකි පළ කිරීම ඒ අනුව හැකිවෙයි. කෙසේ නමුත් නවසීලන්ත වකාරී දූපතේ ගිනි කඳු පිපිරීම සම්බන්ධයෙන් යමහල් විද්‍යාඥයන්ට අනාවහැකි පළ කිරීමට නොහැකි විය. ඇතැම් ගිනි කඳු කාලයකට වතාවක් සක්‍රීය වී නොකඩවා දිගින් දිගට ම පුපුරයි. ඒවායේ පිපිරීම් බොහොම ප්‍රචණ්ඩකාරීය. සෑම අවුරුද්දක ම ලොව පුරා මේ ආකාරයේ ප්‍රධාන ගිනිකඳු 25 ක් පමණ පිපිරී යන බව විද්‍යාඥයෝ පවසති. ඊට අමතරව සෑම වසරක ම කුඩා ගිනි කඳු දහස් ගණණක් පිපිරී යයි. එවැනි පිපිරීම් ගැන අපට දැනගන්න ලැබෙන්නේ පවා නැත.

යමහලක් සඳහට ම අක්‍රීය වූ විට එය හැඳින්වෙන්නේ ‘මළ ගිනි කන්දක්’ යනුවෙනි. මෙවැනි ගිනිකඳු කාලගුණ විපර්යාස සහ සුළඟේ බලපෑම් නිසා ඛාදනයට ලක් වෙයි. නවසීලන්තයේ මෙවැනි ‘මළ ගිනි කඳු’ බහුලව දකින්න ලැබේ. නවසීලන්තයේ පමණක් නොව ලොව නන්දෙසින් ද දකින්න ලැබේ. ඉන් ප්‍රංශයේ ඇත. එහි නම ‘ලෙ පියු’ ය. මේ ගිනිකන්ද තවමත් විනාශ නොවී සුරැකිව ඇත්තේ ඒ ගිනි කන්දෙන් නිකුත් වූ ඛනිජ ද්‍රව්‍යවල ඇති සුවිශේෂී ගුණයක් නිසා යැයි පැවැසෙයි. අද එහි දේවස්ථානයක් ද ඉදිකර තිබේ. මේ මළ ගිනි කන්ද ද අද සුප්‍රකට සංචාරක ආකර්ශනයකි.

ලුසිත ජයමාන්න
ඒ.එෆ්.පී. ඇසුරිනි


RECOMMEND POSTS