‍‍‍කි.මී. 37,000 ක් පිහිනා ගෙදර ගිය ’යෝෂි’



දකුණු අප්‍රිකාවේ මින්මැදුරේ ටැංකියක සිරවී සිටි කැස්බෑවියක, සාගරයට මුදා හැරී‍මෙන් පසු, කිලෝ මීටර් 37,000 දුර පිහිනා, ඇය උපන් ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයක් බලා ගිය අපූරු වික්‍රමයක් අසන්න ලැබේ.

යෝෂි නමැති මෙම කැස්බෑවියගේ වික්‍රමයට ලොකු ප්‍රසිද්ධියක් ලැබුණි. ඒ නිසා යෝෂි අද වනවිට ලොව පුරා කාගේත් ආදරයට පාත්‍ර වී සිටී. යෝෂි ‘ලොගර් හෙඞ්’ නමින් ඉංග්‍රීසියෙන් හැඳින්වෙන කැස්බෑවෙකි.

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර, ‘ටූ ඕෂන්ස්’ මින්මැදුරට එදා රෑ එම දුරකතන ඇමැතුම ලැබෙද්දී, එහි ප්‍රධාන විධායක නිලධාරිනී මරේකා මුසොන් සිටියේ රාජකාරි ගොන්නක් මැද ය. ‘ටූ ඕෂන්ස්’ මින්මැදුර විවෘත කර වසර ඒ වනවිට ගත ව තිබු‍ණේ වසර දෙකක් පමණ කෙටි කාලයකි. එසේ වුවත්, ආරම්භක දිනයේ පටන් දිනපතා මින්මැදුර සංචාරකයන්ගෙන් පිරී පවතී. රාජකාරි බහුල වුවත්, ලැබුණු දුරකතන ඇමැතුමට මරේකා ‘හලෝ‘ කීවා ය. ‘නෝනා, අප ළඟ ඉන්නවා තුවාල ලැබූ පුංචි කැස්බෑවෙක්.‘ කැඩුණු ඉංග්‍රීසියෙන් කතා කළේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් වරායට පැමිණ සිටි ජපන් ධීවර යාත්‍රාවක කපිතාන්වරයෙකි. ‘කැස්බෑවාගේ කටුවට තුවාල වෙලා. බෙහෙත් කරන්න වේවි. කරුණාකරලා ඇවිත් අරන් යන්න පුළුවන්ද? ‘ජපන් ධීවරයෝ මරේකාගෙන් ඉල්ලා සිටියහ. ‘යෝෂි’ නමැති මේ කැස්බෑවියගේ කතාව ඇරැඹුණේ මෙලෙසය. කැස්බෑවිය ට ‘යෝෂි’ නම ලැබුණේ ඇය මින්මැදුර ට බාර දුන් ජපන් ජාතිකයන්ගෙනි.

‘ඒ, ඇමතුම ලැබුණේ 1997 වසරේ. අප ටූ ඕෂන්ස් මින්මැදුර විවෘත කෙරුණේ 1995 වසරේ. ඒ අවස්ථාවේ සාගර කැස්බෑවුන් අප ප්‍රදර්ශනයට තැබුවේ නැහැ. ඒ ගැන අපට අවශ්‍ය දැනුමක් තිබුණේ නැහැ. පහසුකම් තිබුණේ නැහැ. ඒත් තුවාල වූ කැස්බෑවකුට පිහිට නොවී කොහොමද? යෝෂි අප ළඟට ආවේ එහෙමයි.‘ යැයි මරේකා අතීත සිදුවීම් විස්තර කරයි. තුවාල ලබා සිටි ‘යෝෂි‘ ට මින්මැදුරේ දී අවශ්‍ය ප්‍රතිකාර ලැබුණි. අවශ්‍ය රැකවරණය ලැබුණි. ආදරය ලැබුණි. මින්මැදුරේ සියල්ලෝම, යෝෂි ට බෙහෙත් කරමින්, සාත්තු කරමින් කැස්බෑවන් රැක බලා ගැනීම සම්බන්ධයෙන් බොහො දේ ඉගෙන ගත්හ. තුවාල ලැබූ, අතරමං වූ කැස්බෑවන් රැක බලා ගැනීමට පසුකාලීනව, මින්මැදුරේ විශේෂ ඒකකයක් පිහිටුවූයේ ද ඒ අනුවය. එදා සිට මේ දක්වා වසර 10 ක් 12 ක් තිස්සේ මින්මැදුරේ පිහිට ලැබූ කැස්බෑවන් ගණන 600 කට වැඩිය.

කැස්බෑවන් 600 දෙනකු නිදහස් කළ සාගරයට මුදා හැරයත් තව එක් අයකු මින්මැදුරේ තනි වී සිටියාය. ඒ ‘යෝෂි’ ය. අවසානයේ කාගේත් අවදානය යොමු වූයේ යෝෂි කෙරෙහිය. ඒ වනවිට මන්මැදුරේ සැපට හැදුණු වැඩුණු යෝෂිගේ බර කිලෝ ග්‍රෑම් 180 කි. තවත් දශක ගණනක් ජීවත් වීමට ඇයට ආයුෂ ඇති බව මින්මැදුරේ ඇය රැක බලා ගත් හැමෝටම අවබෝධ විය.‘යෝෂි අපට හමුවෙද්දී ඇය කුඩා එකෙක්. ඇය ලිංගික පරිනතභාවයට පත් වූයේ අපගේ රැකවරණය යටතේ සිටිද්දී. සාගරයට මුදා හැරියොත් ඇයට සාගරයේ ජීවිතයට හුරු විය හැකිද? බොහෝ කාලයක් මින්මැදුරේ සිටි බැවින් සාගරය ඇයට නුහුරු තැනක් වේවිද? අනතුරක් වේවිද? මේ සිතුවිලි නිසා අපට පුංචි බයක් ඇති වුණා. ඒ නිසා සාගර ජීවිතයට හුරු කරන්න අප ඇය පුහුණු කරන්න පටන් ගත්තා‘ මරේකා පැහැදිලි කරයි.

සාගරයට මුදා හැරීමට තීරණය කිරීමෙන් පසු,  ඒ සඳහා යෝෂි පුහුණු කිරීම සිදුවිය. මීටර 20 ක දුරක් ඇය දිනපතා පිහිනුවාය. එය සිදුවූයේ කිමිදුම්කරුවන් දෙදෙනකු මින් මැදුරේ විශාල ජල ටැංකියක දෙපැත්තේ සිට ඔවුන් වෙත යෝෂි ගෙන්වා ගැනීමෙනි. මීටර් 200 සම්පූර්ණ කරද්දී යෝෂි ට රස කෑමක් ලැබුණේ ඇය දිරි ගන්වමිනි. යෝෂිට ගොදුරු අල්ලා ගැනීමට ද පාඩම් ඉගැන්වීමට සිදුවිය. ඒ, ඇය තනිවම ආහාර සොයා ගනිමින් ජීවත් විය යුතු බැවිනි. මාස 18 ක් මෙසේ පුහුණු කිරීමෙන් පසු 2017 දෙසැම්බරයේ යෝෂිට සමුදෙන දවස උදා විය. යෝෂි සාගරයට මුදා හැරීමේ කටයුත්තට දකුණු අප්‍රිකා පරිසර කටයුතු පිළිබඳ අමත්‍යාංශය ද එක් විය. යෝෂි යනඑන තැන් දැන ගැනීමට ඇගේ සිරුරට ‘හසු කර ගැනීමේ’ උපංගයක් සවි කෙරුණි. යෝෂි මුදා හැරුණේ කේප්ටවුන් අගනුවර සිට නාවික සැපතුම් 30 ක් ඈත මුහුදටය. ඒ අනුව විසි වසරක් තිස්සේ මින්මැදුරේ ජීවත් වූ යෝෂිට නිදහස හිමිවිය. මරේකා ඇතුළු පිරිස චන්ද්‍රිකා තාක්ෂණයෙන් ‘යෝෂි’ ගැන සෙවිල්ලෙන් පසුවන්න වූහ.

පළමු වසරේ, එනම් 2018 වසරේ, යෝෂි අප්‍රිකාවේ බටහිර දෙසින් වෙරළට නුදුරින් ඇන්ගෝලාව තෙක් පිහිනා ගියාය. ඉන්පසු ඇය යළි කේප්ටවුන් අගනුවරට ඔබ්බෙන් මුහුදු කලාපයට ආවාය. යෝෂි ඇගේ දීර්ග ගමන ආරම්භ කරමින් සැවොම මවිතයට පත් කළේ ඉන්පසුවය. ඉන්දියන් සාගරය හරහා යෝෂි ඕස්ට්‍රේලියාව  තෙක් පිහිනන්න වූවාය. එය මින්මැදුරේ කාගේත් සතුටට හේතුවක් විය. හේතුව, මෙම සාගර කලාපය කැස්බෑවන්ගේ නිජබිම ලෙස සැලකෙයි. එපමණක් නොව කැස්බෑවන්ට ආරක්ෂාවක් ද ලැබෙයි. යෝෂි කැස්බෑවිය බටහිර ඕස්ට්‍රේලියාව දෙසට පිහිනා යද්දී, ‘ටූ ඕෂන්’ මින්මැදුර,  බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත රජයට ඇමතුමක් දී යෝෂි ගැන විමසිල්ලෙන් පසුවන්නැයි ඉල්ලීමක් කළේය. ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබුණි. ඒ අනුව, බටහිර ඕස්ට්‍රේලියා ජෛව විවිධත්ව සහ සතුන් සුරැකීමේ ඒකකයේ පර්යේෂණ විද්‍යාඥවරියක වන සබ්‍රිනා ෆොසෙට් යෝෂි නිරීක්ෂණ මෙහෙයුමට සම්බන්ධ වූවාය.

යෝෂිගේ ගමනාන්තය වූයේ දකුණු අප්‍රිකාවේ සිට කිලෝ මීටර් 37,000 ක් දුරින් වූ පිබෙරා වෙරළ තීරයේ සැම්සන් තුඩුව අසල මුහුදු තීරයයි. කැස්බෑවෝ බිජුලෑමට මෙහි පැමිණෙති. යෝෂි ඉවෙන් මෙන් මෙහි ආවේ සැම්සන් තුඩුව අවට වෙරළ ඇයගේ උපන් ස්ථානය විය හැකි බවත්, දකුණු අප්‍රිකාවේ මින්මැදුරේ වසර 20 ක් සිටි යෝෂි, ඕස්ට්‍රේලියානු කැස්බෑවියක යැයි සබ්‍රිනා පැහැදිලි කරයි. යෝෂි සැම්සන් තුඩුව බලා පැමිණියේ, පසුගිය මිහිතල දිනය දාය. ඒ අනුව, යෝෂිගේ කතාවට මාධ්‍ය හරහා ලොකු ඉඩක් ලැබුණි ලොව පුරා බොහෝ දෙනෙක් යෝෂිගේ දීර්ඝ සාගර වික්‍රමය ගැන උනන්දු වූහ. සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් ඇති විය. ‘අන්තිමේදී ඇය කොහොම හරි ගෙදර ඇවිල්ලා. දැන් ඇය සහකරුවකු සොයා ගනීවි. ඇය උපන් වෙරළටම ගිහින් බිජුලාවි. මේ 2020 වසරේ ඇයට ඒක කරන්න බැරි වුණොත් ඇය ලබන වසරේ ඒක කරාවි.’ යැයි සබ්‍රිනා පවසයි.

ඕස්ට්‍රේලියා පුවත් ඇසුරිනි


RECOMMEND POSTS