ෆින්ලන්තයේ අගමැති සුරූපිනිය



පසුගිය දා ලොව ළාබාලතම අගමැතිවරිය ගැන ලොකු කතාබහක් ඇතිවිය. ඇය ෆින්ලන්තයේ අගමැතිවරිය වන 34 හැවිරිදි සූරූපිනියක ද වන සන්නා මරීන් ය.

මරීන්ගේ සන්ධාන රජයට, තවත් පක්ෂ හතරක් හවුල් වී සිටී. එම පක්ෂ හතරේ නායකත්වය දරන්නේ ද කාන්තාවන්ය. විශේෂත්වය වන්නේ ඔවුන් සිවුදෙනා අවුරුදු 40 ට අඩු වීමය. ඒ අනුව, අද ෆින්ලන්තය ‘කාන්තා ආධිපත්‍යයට’ යටත් වී අවසන්ය.

ෆින්ලන්තය උතුරුදිග යුරෝපා රටකි. මායිම් වන්නේ ස්වීඩනයට, නෝර්වේ රාජ්‍යයට සහ රුසියාවට ය. හෙල්සින්කි ෆින්ලන්තයේ අගනුවරය. ෆින්ලන්තයේ භාවිත වන මුදල් ඒකකය යූරෝ ය. ෆිනිෂ්, ස්වීඩන් නිල භාෂා වන අතර ෆින්ලන්තය සංචාරක ආකර්ශනයකි.

අතීතයේ ෆින්ලන්ත වැසියන් බොහෝ දෙනකු ඉංග්‍රීසි දැන සිටියේ නැත. වර්තමාන ෆින්ලන්ත තරුණ පරපුර ඉංග්‍රීසි බස හොඳින් දනී. ජීවත් වෙන්න හොඳ රටකි. සන්නා මිරෙල්ලා මරීන් උපන්නේ, 1985 නොවැම්බර් 16 වැනිදාය. ඇය ‘සෝෂල් ඩෙමොක්‍රට්’ (සමාජ ප්‍රජාතන්ත්‍රවාදී) පක්ෂය නියෝජනය කරන්නීය.

මරීන්ට පසුගිය දෙසැම්බර් 10 වැනිදා අගමැති ධුරයට පත් වූයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකත්වය හිමිවීමෙනි. ඒ, අගමැති ලෙසත් පක්ෂ නායකයා ලෙසත් කටයුතු කළ ඇන්ට් රිනේ එම ධුර දෙකෙන් ම ඉවත් වුණු බැවිනි. රිනේ ට ඉවත් වීමට සිදුවූයේ තැපැල් වර්ජනයක් සමඟ හටගත් අර්බුදයක් මුල්කොට ගනිමිනි. රිනේ අගමැති ධුරය හොබවද්දී, විදුලි සන්දේශ සහ ප්‍රවාහන කටයුතු පිළිබඳ ඇමැතිනිය ලෙස කටයුතු කළේ මරීන් ය.

මරීන් ලෝකයේ ළාබාලතම අගමැතිය මෙන්ම ෆින්ලන්තයේ ළාබාලතම අගමැතිනිය ද වන්නීය. මීට පෙරද සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් අගමැති ධුරයට පත්වුණු කාන්තාවෝ දෙදෙනෙක් වෙති. ඇනියෙල් ජාටෙන්මාකී සහ මාරී කිවිනියෙම් ඔවුන් දෙදෙනාය.

මරීන්ගේ පියා මත්පැන්වලට ඇබ්බැහි වූවෙකි. ඒ නිසාම මරීන්ගේ මව ඔහුගෙන් වෙන්විය. අවසානයේ දී මරීන්ගේ මවගේ සහකාරයා වූයේ සහකාරියකි. මරීන්ගේ මව සමලිංගික තරුණියකි.

සමලිංගික විවාහ ෆින්ලන්තයට අරුමයක් නොවෙයි. වයස අවුරුදු 19 ක් වෙද්දී, 2004 දී ටම්පෙරේ විශ්ව විද්‍යාලයෙන් මරීන් උපාධිය හිමිකර ගත්තේ පරිපාලන විද්‍යාව සම්බන්ධයෙනි. ඇය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ තරුණ පෙළෙ නායකයන් අතරට එක් වූයේ 2006 දීය. 2010 සිට 2012 තෙක් පක්ෂයේ නියෝජ්‍ය නායිකාව ලෙස ද කටයුතු කළාය.

සමලිංගික කාන්තාවන් දෙදෙනකුගේ පවුලක දරුවකු යැයි මරීන් ඇය හඳුන්වා දෙන්නේ ආඩම්බරයෙනි. මරීන් විවාහ වී සිටින්නේ මාර්කස් රයිකෝනෙන් සමඟය. ඇයට දෙවසරක දියණියක් සිටී.

ෆෝබ්ස් ඇසුරිනි


RECOMMEND POSTS