හොරෙන්ම ආ අමුත්තා



හිටිහැටියේ මෙහෙම දෙයක් වේවි කියලා කවුරුවත් හිතුවේ නැහැ. පසුගිය ජනවාරි 26 වැනිදා අප කවුරු කවුරුත් අපේ එදිනෙදා වැඩ කටයුතුවල නියැලී සිටිද්දී, ලන්ඩන් නුවර ඩබල් ඩෙකර් බස් රියක් තරම් ග්‍රහකයක් පෘථිවියට ඉතාම ආසන්නයෙන් පෘථිවිය පසු කර ගියේය. පෘථිවිය අසලින් යන සියලු ග්‍රහක ගැන ඇමෙරිකාවේ නාසා ආයතනය විමසිල්ලෙන් සිටී. ඒ, පෘථිවියට ඒවායින් අනතුරක් වේව්දැයි අවධානයෙනි.

ඒත් ‘2003 BU’  නමැති මෙම ග්‍රහකය පෘථිවිය දෙසට පැමිණෙන බව නාසා විද්‍යාඥයන් හෝ කල්තියා දැන සිටියේ නැත. 2003 BU ග්‍රහකය සොයා ගනු ලැබ තිබුණේ ද ආධුනික තාරකා විද්‍යාඥයකු විසිනි. ඒ, පසුගිය ජනවාරි 20 වැනිදා එනම්, ග්‍රහකය පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කිරීමට හරියටම සතියකට පෙර වීම විශේෂත්වයකි.

මෑත කාලයේ ග්‍රහකයක් පෘථිවියට ඉතාමත් ආසන්නයෙන් ගමන් කළේ නම්, ඒ, මෙම ‘2003 BU’  ග්‍රහකය යැයි ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි. ප්‍රමාණයෙන් ‘2003 BU’ ග්‍රහකයේ පළල මීටර් 3.5 ත් 8.5 ත් අතර යැයි විද්‍යාඥයන් පැහැදිලි කර තිබුණි. පෘථිවිය අසලින් යද්දී ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වූවා නම්, ග්‍රහකය පෘථිවියට පතිත වන්නටත්, සැලැකිය යුතු හානියක් සිදුවන්නටත් ඉඩ තිබුණි. ‘2003 BU’ පෘථිවියට පතිත වීමට ඇදී ආවා නම්, වායු ගෝලයේ දී ගිනිගෙන දැවෙනු ඇත. එවිට පහළට වැටෙනු ඇත්තේ ගිනිගෙන දැවී කැබලි වුණු ග්‍රහක කොටස් කීපයකි. එහෙයින්, කාටවත් අනතුරක් වීමට ඉඩක් නොතිබුණි.

‘2003 BU’ ග්‍රහකය පෘථිවිය අසලින් ගියේ, පෘථිවි මතුපිට සිට කිලෝ මීටර් 3,600 ක් ඉහළිනි. කිලෝ මීටර් 3,600 ක් ඉහළ පෘථිවි කක්ෂයේ චන්ද්‍රිකා රඳවා ඇත. ඒවායින් බොහොමයක්, සන්නිවේදන චන්ද්‍රිකා ය. විද්‍යාඥයන් බිය වූයේ ‘2003 BU’ ග්‍රහකය මෙම චන්ද්‍රිකාවල හැපෙනු ඇති බවය. ඒත් වාසනාවට එවැන්නක් සිදු වූයේ නැත.

පෘථිවියේ අපට කිසිම අනතුරක් නොකර, තමන්ගේ පාඩුවේ ‘2003 BU’ ග්‍රහකය පෘථිවිය පසු කර ගියේය. ග්‍රහකය වඩාත් සමීප වූයේ දකුණු ඇමෙරිකාවේ දකුණු කෙළවරටය. පෘථිවියට ළං වී පෘථිවිය අසලින් යද්දී ‘2003 BU’ ග්‍රහකයේ කක්ෂයට පෘථිවි ගුරුත්ව බලයෙන් බලපෑම් එල්ල වුණු බව නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති. ඒ අනුව, ‘2003 BU’ ග්‍රහකයට හිරු වටා යෑමට වඩා වැඩි දින ගණනක් ගතවනු ඇතැයි පැවැසෙයි. එම දින ගණන 359 සිට 425 දක්වා වැඩි වෙයි.

පෘථිවිය දෙසට ආ ‘2003 BU’ ග්‍රහකය මුලින්ම හඳුනා ගත්තේ, එසේත් නැතිනම් සොයා ගත්තේ ජෙන්නැඩි බොරිසෝව් නමැති ආධුනික තාරකා විද්‍යාඥයාය. බොරිසෝව්, ක්‍රිමියාවේ පදිංචි තාරකා විද්‍යාඥයෙකි. ක්‍රිමියා යනු යුක්රේනයේ කොටසකි. ඒත් 2014 වසරේ සිට ක්‍රිමියාව රුසියන් පාලනය යටතේ පවතී. ආධුනික තාරකා විද්‍යාඥයකු වුවත්, ජෙන්නැඩි බොරිසෝව් තාරකා විද්‍යාඥයන් අතරේ ප්‍රකට චරිතයකි.

2019 වසරේ ඔහු ධූම කේතුවක්, එසේත් නැතිනම් වල්ගා තරුවක් ද සොයා දුන්නේය. පෘථිවියට ඉතා ආසන්නයෙන් ගිය මෙම ග්‍රහකය, බොරිසෝව් විසින් සොයා ගනු ලැබුවේ පසුගිය ජනවාරි 20 වැනිදාය. ඔහු ඒ බව දැනුම් දුන් අවස්ථාවේදී, නාසා ආයතනය ඒ ගැන විමසා බැලුවේය. ග්‍රහකය ‘2003 BU’ යන නමින් නම් කෙරුණේ ඉන් අනතුරුවය.

(ඩේලිමේල්)


RECOMMEND POSTS