හොබිට් මානවයාගේ රහස් එළියට



2003 වසරේ, ඔස්ට්‍රේලියා සහ ඉන්දුනීසියානු පුරාවිද්‍යාඥයෝ ගවේෂණයක යෙදුණාහ. ඒ, නූතන මානවයා වන ‘හෝමෝ සේපියන්’ ගැන හෝඩුවාවක් සොයමිණි.

එම හෝඩුවාව සෙවීමට මඟ පැදී තිබුණේ ‘හෝමෝ සේපියන්’ මානවයා, ආසියාවේ සිට ඔස්ට්‍රේලියාවට පැතිර ගිය බවට පැවැති අදහසයි. ඒ අනුව, ඔවුහු ඉන්දුනීසියාවේ ෆ්ලොරේස් දූපතේ ගවේෂණය කරමින් ‘හෝමෝ සේපියන්’ මානවයාගේ ශේෂ වූ සාක්ෂි සෙවීම සිදු කළහ.

පුරාවිද්‍යාඥයන් නව මානව විශේෂයක් හමුවේවි යැයි සිහිනෙකින් වත් සිතුවේ නැත. ඒත් ඔවුන්ට නව මානව විශේෂයක අස්ථි කොටස් සොයා ගැනීමට හැකිවිය. මෙම නව මානවයාගේ අස්ථි සොයා ගැනුණේ ෆ්ලොරෙන්ස් දූපතේ වන මැද පිහිටි ‘ලියැන් බුආ’ නමැති ලෙන තුළිනි. නව මානවයාගේ ඇටසැකිළි 7 ක් විද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලදී.

සිදුකළ පරීක්ෂණවලින් හෙළි වූයේ එම නව මානවයා අවුරුදු 38,000 සිට 13,000 ක් පැරැණි බවය. ‘හෝමෝ ෆ්ලොරෙසියෙනිස්’ යනුයෙන් මෙම නව මානවයා නම් කෙරුණි. මේ මානවයා තරමක් අසාමාන්‍යය. හිස සිරුරට වඩා මදක් විශාල වූ අතර සිරුර කුඩාය. මානවයාගේ ප්‍රමාණය ද කුඩාය. ‘හෝමෝ ෆ්ලොරෙසියෙනිස්’ අප මනුෂ්‍යයන්ට වඩා තරමක් කුඩා වුවත් අඟුටු මිට්ටකු හෝ කුරු මිනිසකු හෝ නොවෙයි.

2004 වසර වෙද්දී, පුරාවිද්‍යාඥයන් ‘හෝමෝ ෆ්ලොරෙසියෙනිස්’ ලොවට හෙළි කළ අවස්ථාව වෙද්දී, නවසීලන්ත සිනමාකරු පීටර් ජැක්මන්ගේ නිර්මාණයක් වුණු ‘ලෝර්ජ් ඔෆ් ද රිංග්ස්’ චිත්‍රපට මාලාව ලොව කාගේත් වසඟයට පත් වී තිබුණි. චිත්‍රපටයේ දකින්න ලැබුණු ප්‍රමාණයෙන් කුඩා හොබිට්වරු ද ලොකු කුඩා ‘හොබිට්’වරුන් ද කාගේත් ආදරයට ලක් වූහ. එහෙයින්, ‘හෝමෝ ෆ්ලොරෙසියෙනිස්’ මානවයාට ‘හොබිට් මානවයා’ යනුවෙන් ද නමක් පට බැඳුණේය.

වසර මිලියනයක් ඈත අතීතයේ, ඉන්දුනීසියාවට අයත් ෆ්ලොරේස් දූපතේ වාසය  කළ ‘හොබිට් මානවයවන්’ තවමත් අපට අබිරහසකි. කෙසේ නමුත් මේ වනවිට විද්‍යාඥයන් ‘හොබිට් මානවයවන්’ ගැන නව තොරතුරු රැසක් හෙළි කරගෙන සිටින බව මේල් ඔන්ලයින් වෙබ් අඩවිය පවසයි.

මෙම පුරාණ මානවයාගේ උස අඩි 3 ක් (මීටර් 0.9 ක්) පමණි. නව සොයා ගැනීම් අනුව පුරාවිද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන් පවසන්නේ, අප්‍රිකාවෙන් මානවයන් බිහිවීමෙන් පසු, ආසියාවට එසේත් නැතිනම් ඉන්දුනීසියාව දෙසට පැමිණි පළමු මානව විශේෂය ‘හොබිට් මානවයවන්’ කියාය. සෙසු මානව විශේෂ ආසියානු රටවලට පැතිර ගියේ ඉන්පසුවය.

‘හොබිට් මානවයවන්’ පරිණාමය යන්න ඇත්තේ ‘හොමෝ හැබිලිස්’ මානවයන් පරිණාමය වූ අවදියේ යැයි ද විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ තිබේ ‘හොබිට් මානවයවන්’ සහ ‘හෝමෝ හැබිලිස්’ මානවයන්ගේ සමානකම් තිබිය හැකි බව විද්‍යාඥයෝ කියති. මෙම තොරතුරු සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වූයේ හමුවුණු අස්ථි දිගින් දිගටම පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව යැයි ද පැවැසෙයි. හෝමෝ හැබිලිස් යනු මුලින්ම පහළ වුණු මානවයෙකි. හෝමෝ හැබිලිස් අප්‍රිකාවේ වාසය කළේ මිලියන 2.1 ත් 1.5 ත් අතර කාලයේය.

මෙම කරුණු කාරණා ලොවට අනාවරණය කළේ මහාචාර්ය ඩෙබී ආර්ග්ය. ඇය ඔස්ට්‍රේලියා ජාතික සරසවියේ මහාචාර්යවරියක වන අතර ‘හොබිට් මානවයවන්’ ගැන අධ්‍යනය කරන්නේ ද ඇය සහ ඇගේ කණ්ඩායමය. ‘අපි හොබිට් මානවයාගේ අස්ථි, හිස් කබල, දත් ආදිය පරීක්ෂණවලට ලක් කළා පමණක් නොවෙයි, ඒවා සෙසු මානවයන්ගේ ශේෂ කොටස් සමඟ සන්සන්දනය කළා. පරිගණක වැඩසටහන් යොදා ගනිමිනුයි මේ දේවල් අපි කළේ. ඒ අනුව අප කලින් සිතූ විදියට ‘හොබිට් මානවයවන්’ පරිණාමය වූයේ හෝමො හැබිලිස් හෝ හොමෝ ඉරෙක්ටස් යන මානවයන්ගෙන් නොවන බව තහවුරු වුණා.’ යැයි ඩෙබී ආර්ග් කියා සිටී. එපමණක් නොව, පරිගණක ආධාරයෙන් ස්ත්‍රී හොබිට් මානවයකු නිර්මාණය කරන්නට ද ඩෙබී ආර්ග් ඇතුළු කණ්ඩායම නිර්මාණය කර ඇත.

ඬේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS