හිරුගේ රහස් සොයුරා



හිරුගේ සිට පස්වැනි ස්ථානයේ පිහිටින සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්තයා බෘහස්පති ග්‍රහයාය. බෘහස්පති වායු ග්‍රහයෙකි. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතර රජු බෘහස්පති යැයි ද පැවැසෙයි. බෘහස්පති සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලොව පමණක් නොවේ, සෞරග්‍රහ මණ්ඩල පරිණාමයේ ආදීතම සාමාජිකයකු ද වෙයි. බෘහස්පතිගේ අසාමාන්‍ය ගති ලක්ෂණ හේතුවෙන් එය අප හිරුගේ රහස් සොහොයුරකු විය හැකි යැයි විද්‍යාඥයෝ අනුමාන කරති.

බෘහස්පති, වචනයෙන් විස්තර කළ නොහැකි තරමට, විකිරණ, කුණාටු පිරුණු ප්‍රචණ්ඩ මෙන්ම බිහිසුණු ග්‍රහලොවකි. බෘහස්පතිගේ අභ්‍යන්තරය මොන වගේදැයි සිතා ගැනීමට පවා නොහැක. ඇතැම් විට, බෘහස්පති මතුපිට දියමන්ති වැසි වසිනවා විය හැකි යැයි විද්‍යාඥයෝ සැක පළ කරති.  ඇමෙරිකාවේ නාසා ආයතනය, බෘහස්පති ගවේෂණය සිදු කළේ ‘ජූනෝ’ මෙහෙයුම හරහාය. ජූනෝ අභ්‍යවකාශ යානය දීර්ඝ ගමනකින් පසු බෘහස්පති වෙත පැමිණියේ පසුගිය 2016 වසරේදීය.

මේ වනවිට ජූනෝ බෘහස්පතිගේ ගැඹුරු අබිරහස් එකිනෙක අනාවරණය කර ගනිමින් සිටී. ප්‍රචණ්ඩ මෙන්ම අතිබිහිසුණු කුණාටු, අභ්‍යවකාශය තෙක් ලාවා විදින අති බිහිසුණු ගිනි කදු පිපිරීම් සිදුවන්නේ ඇයිදැයි විද්‍යාඥයන් සොයා දැන ගන්නේ ජූනෝගේ ආධාරයෙනි.  බෘහස්පතිගේ රහස් සෙවීමේ ප්‍රධාන අරමුණ ඇතිව නාසා විද්‍යාඥයන් ජූනෝ මෙහෙයුම ඇරැඹුවේ 2011 වසරේදීය. ජූනෝ අභ්‍යවකාශ යානය බෘහස්පතිගේ කක්ෂයට පිවිසුණේ පසුගිය 2016 දීය. ඉන්පසු එය බෘහස්පතිගේ සමීප අති පැහැදිලි ඡායාරූප ගැනීම සිදු කරන අතර. දත්ත රැස් කිරීමක් ද සිදු කෙරේ.

බෘහස්පති අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයෙකු වුවත්, එය වඩාත් සමීප අනෙක් ග්‍රහයන්ට නොව, අප හිරුට යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. එහෙයින්, බෘහස්පති සැබැවින්ම, හිරුගේ ‘රහස් සොයුරා’ බවට ද අදහසක් පවතී. මෙය අලුත් අදහසකි. සෞරග්‍රහ මණ්ඩයේ දැවැන්තයා වන බෘහස්පති මුළුමනින්ම පාහේ නිර්මාණය වී ඇත්තේ හයිඩ්‍රජන් සහ හීලියම්වලිනි. බෘහස්පති සැතපුම් 85,000 ක් පුරා පැතිර පවතී. බෘහස්පති සැබැවින්ම විශාලය. පෘථිවි 1,000 ක් එය තුළට දැමිය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

බෘහස්පතිට චන්ද්‍රයෝ 67 කි. විද්‍යාඥයන්ට සොයා ගැනීමට හැකි වී ඇත්තේ චන්ද්‍රයන් 67 ක් වුවත්, තවත් චන්ද්‍රයන් දහස් ගණනක් සිටිය හැකි බවට අනුමාන කෙරේ. බෘහස්පති පිහිටි ස්ථානයේ කුඩා සෞරග්‍රහ මණ්ඩලයක් වැනි යැයි ද පැවැසෙයි. බෘහස්පතිගේ පමණක් නොව, බෘහස්පති වටා ඇත්තේ ද අති ප්‍රචණ්ඩකාරී වටපිටාවකි. එපමණක් නොවේ, බෘහස්පති සාමාන්‍ය ග්‍රහලොවකට වඩා වෙනස් වෙයි.

බෘහස්පති නිර්මාණය වූයේ සෞරග්‍රහ මණ්ඩලය උපත ලබද්දීය. බෘහස්පති නිර්මාණය වී ඇත්තේ ද අප හිරු නිර්මාණය වී ඇති දේවල්වලිනි. ඒ අනුව බෘහස්පති සැබෑම අබිරහසකි. එය රහස් සඟවා ගත් තරුවක් විය හැකි යැයි සැක මතුවී ඇත්තේ ඒ නිසාය.
ඇමෙරිකාවේ මොහාවි කාන්තාරයේ, ඉදි කර අති දැවැන්ත රේඩියෝ එසේත් නැතිනම් ගුවන් විදුලි දුරේක්ෂවල අරමුණ විශ්වයෙන් ලැබෙන ගුවන් විදුලි (රේඩියෝ) සංඥාවලට සවන්දීමය. නාසා විද්‍යාඥ ස්ටීව් ලෙවන් බෘහස්පතිගේ රහස් අනාවරණය කරදීමෙහිලා පුරෝගාමියෙකි.

‘අප බෘහස්පති ගැන දන්නේ වසර දහස් ගණනක් තිස්සේ. පෘථිවියේ දුරේක්ෂ ආධාරයෙන් මුලින්ම අධ්‍යනය කෙරුණු ග්‍රහ වස්තුව ලෙස සැළකෙන්නේත් බෘහස්පති. තාක්ෂණය දියුණු වෙද්දී අප රේඩියෝ දුරේක්ෂ යොදා ගෙන විශ්ව ගවේෂණ කටයුතු සිදු කරන්න ගත්තා. එවිට අපට බෘහස්පති ගැන මහ පුදුමාකාර කරුණු කාරණා රැසක් දැනගන්න ලැබුණා.’ යැයි ස්ටීව් ලෙවන් පෙන්වා දෙයි.
රේඩියෝ දුරේක්ෂවලින් බෘහස්පතිගෙන් නිකුත් වන රේඩියෝ සංඥා හසුකර ගැනීම සිදුවෙයි. බෘහස්පතිගෙන් නිකුත් වන රේඩියෝ සංඥා අප සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහලෝකවලින් නිකුත් වන රේඩියෝ සංඥාවලටෙ වඩා වෙනස්ය. ග්‍රහලොවකින් එවැනි ආකාරයට රේඩියෝ සංඥා ලැබේවිදැයි තාරකා විද්‍යාඥයන්ය විශ්වාස කිරීමට පවා නොහැකිය.

විශ්වයෙන් අපට ලැබුණු මහා පරිමාණයේ රේඩියෝ සංඥා ගැන මුලින් අප පුදුමයට පත්වුණා. ඒත් වැඩිදුර සොයා බලද්දී අපට පැහැදිලි වුණා ඒවා පැමිණෙන්නේ බෘහස්පති ග්‍රහයාගෙන් බව. බෘහස්පතිගෙන් නිකුත් වන්නේ එහි ප්‍රමාණයටත් වඩා විශාල වඩා දීප්තිමත් ගුවන් විදුලි සංඥා. මේ ගුවන් විදුලි සංඥා නිර්මාණය වී ඇත්තේ, චුම්බක ක්ෂේත්‍රය සමඟ ගැටෙන ආරෝපණය වූ කුඩා අංශුවලින් යැයි විශ්වාස කෙරේ. ග්‍රහලෝක බොහොමයකට චුම්බක ක්ෂේත්‍ර ඇත. කෙසේ නමුත් බෘහස්පතිට ඇත්තේ අනෙක් ග්‍රහයන්ගේ චුම්බක ක්ෂේත්‍ර පරයන විදියේ චුම්බක ක්ෂේත්‍රයකි. ජූනෝ ගවේෂණ යානයට හැකිවුණා. බෘහස්පතිගේ චුම්බක ක්ෂේත්‍රය පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රයට වඩා 10 ගුණයක් ශක්තිමත් බව පෙන්වා දෙන්න. බෘහස්පතිගේ මේ ආකාරයට අති දැවැන්ත චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය වීමට හේතුව කුමක් විය හැකිද? විද්‍යාඥයන්ගේ අදහස වන්නේ එය අපට ආගන්තුව නොවන, බෘහස්පති අභ්‍යන්තරයේ රසායන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විය හැකි බවය.

පෘථිවියේ සිට සැතපුම් මිලියන 300 ක් දුරින්, පිහිටා ඇති බෘහස්පති තාරකා විද්‍යාඥයන් විසින් හඳුන්වා දෙන්නේ ‘වායු යෝධයකු’ කියාය. බෘහස්පති මුළුමනින්ම පාහේ නිර්මාණය වී ඇත්තේ හයිඩ්‍රජන් වායුවෙන් වීම ඊට හේතුවයි. අපේ හිරු තරුවකි. හිරුත්, සෙසු තරුත් සෑදී ඇත්තේ හයිඩ්‍රජන්වලිනි. වළාකුළුවලින් පිරුණු ප්‍රචණ්ඩකාරී වායුගෝලයට යටින් ඝනකම් කළු පැහැති ද්‍රව බෝලයක් ඇති බව විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. අධික පීඩනයත්, උෂ්ණත්වයත් මුල්කොට ගනිමින්, හයිඩ්‍රජන් මෙම අමුතු විදියේ ද්‍රව බෝලය නිර්මාණය වී ඇතැයි විශ්වස කෙරේ. බෘහස්පතිගේ යෝධ චුම්බක ක්ෂේත්‍රය පිහිටා ඇත්තේ මේ කළු පැහැති අඳුරු ද්‍රව බෝලය වටා යැයි අනුමාන කෙරේ.

ඩිස්කවරි නාළිකාවේ
‘ද ප්ලැනට්ස්’ ඇසුරිනි

 


RECOMMEND POSTS