හාමතේ මියැදෙන යේමනයේ දරුවෝ



යේමනයේ කාන්තාර ප්‍ර දේශයේ අල්-ටොහයිටා දිස්ත්‍රික්කයේ  මුඩුක්කු පෙදෙසක ජීවත්වන අවුරුදු හයක් වන අහමඩ් අබ්දුල්ලා අලි සහ ඔහුගේ සහෝදර සහෝදරියන් 13දෙනා නිරන්තරයෙන් නින්දට යන්නේ හාමතේය.  මෙම මන්දපෝෂණ තත්වය හේතුවෙන් අහමඩ් තම වයසට වඩා ළබාල පෙනුමක් හිමිවී ඇත.  ඔහුගේ ශරීරය ඉතා කුඩා මෙන්ම දුර්වල තත්වයකට පත්ව ඇත.

‘ මම දවසකට හම්බ කරන්නේ යේමන රියාල් 50 (ඩොලර්2)යි. මට ළමයි 14ක් ඉන්නවා. ඉතින් ඒ හැම දෙනාටම  පාන්, තේ. එළු කිරි අරන් දෙන්න මට අමාරුයි‘ ළමයාගේ පියා අබ්දුල්ලා අලි අල් ජසීරා සේවයට පැවසීය. ‘ ඔවුන් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. ඔවුන්ට හැම වෙලාවෙම කෑම අවශ්‍යයි.“

. බටහිර හොඩෙයිදාහ් පළාතට අයත් ජන ශුන්‍ය ප්‍රදේශයක වෙසෙන ඔවුන්ට ලැබෙන ආදායම ජීවත්වීමට ප්‍රමාණවත් නොවේ,  ඔවුන්ගේ ආදයම් මාර්ගය වන්නේ සතුන් බලාගැනිම වැනි ඉතාම සුළු රැකියාවන්වේ.

අධ්‍යාපන මට්ටම හා සාක්ෂරතාවය අඩුකම, ඉහළ සමාජික සංඛ්‍යාවක් නඩත්තු කිරීමට සිදුවීම වැනි කරුණු මෙයට හේතු සාධකවී ඇත.

විවිධ සහන සංවිධාන මගින්  මොවුන්ට පසුගිය කාලයේදී යම් ආධාර ප්‍රමාණයක් ලබාදී ඇති අතර එය යේමන යුද්ධ සමයේදි  විශාල වශයෙන්  අඩු වූ බව මෙහි පදිංචිකරුවෝ අල්-ජසීරා සේවයට ප්‍රකාශ කළහ.

පසුගිය වසර දෙකේදී තමන්ට කිසිදු ආධාරයක් නොලැබුනු බවත්,  හාමතින් මියයන තම දරුවන් සදහා ආහාර හැරෙන්නට වෙනත් කිසිවක්  ඔවුන්ට අවශ්‍ය නැති බවත් අලී ප්‍රකාශ කළේය.

ලෝක ආහාර වැඩ සටහනට අනුව යේමන ජනගහනයෙන් අඩකටත් වැඩි පිරිසක් - මිලියන 14ක් පමණ ජනතාවක් - ආහාර නොලැබීමේ අනාරක්ෂිත භාවයකට පත්ව ඇත. ඒ අතර යුද්ධය නිසා දහස් ගණනක් ජනතාවක් මියයන අතර මිලියන 1.5කට වඩා වැඩි පිරිසක් අවතැන්වී ඇත.

ටොහයිටා මුඩුක්කු ප්‍රදේශයේ  ජීවත්වන ජනතාවට තම මූලික ආහාර වන, එළවළු, පළතුරු සහ කිරී යනාදිය මිලදී ගැනීමටවත් හැකියාවක් නැති බව අල් ජසීරා සේවය පවසයි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ සහ ‍යුනිසෙෆ් සංවිධානයේ ප්‍රකාශකයෙකු වන මොහොමඩ් අල්-අසාදී යේමනයේදී කියා සිටියේ අඩුම වශයෙන් ළමයින් 370,000කට වැඩි පිරිසක්  උග්‍ර මන්දපෝෂණ තත්වයකින් පීඩාවිදින බවයි.

උග්‍ර මන්දපෝෂණ තත්වයෙන් පීඩා විදින ළමයින් හදුනා ගැනීම සහ අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සදහා යුනිසෙෆ් ආයතනය පසුගිය සතියේ ජංගම කණ්ඩායම් හතරක් යොදවා ඇති බව අසාදී අල් ජසීරා සේවයට ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් තහවුරු කලේ  දුප්පත්කම, විරැකියාව, දරුවන්ට අවශ්‍ය පෝෂ්‍යදායි ආහාර ගැන ඇති අවබෝධය අඩුකම සහ සෞඛ්‍ය පහසුකම් ඔවුන් වෙත නොලැබීම යනාදීය, ආහාර  නොලැබීමේ අනාරක්ෂතභාවයට පත්වීමට හේතූන් වන බවයි.

මේ අතර දහස් ගණන් යේමන ළමයින් පසුගිය අවුරුද්ද තුළදී මියගොස් ඇත්තේ වළක්වා ගත හැකි රෝග වැලදීමෙන් බව ඔහු තවදුරටත් පවසයි.  

යේමන වැසියන් හට සනීපාරක්ෂක පහසුකම්, පානීය ජලය, ප්‍රවාහන හා රෝහල් පහසුකම්, පාසල් මෙහි නොමැත.

එමෙන්ම මෙහි සිටින දරුවන් කුෂ්ඨ රෝග වලින් පීඩා විදින අතර මෙහි ජීවත්වන මොහොමඩ් සලීම්, ඔහුට වයස අවුරුදු  8යි. රතු පුල්ලි සහිත කුශ්ඨ රෝගයකින් මාස දෙකක් තිස්සේ  පීඩි විදියි.

මෙම දරුවන්ගේ ඉරණම මෙම කාන්තාරය තුළදීම අවසන්වීම මොනතරම් අවාසනාවන්ත තත්වයකට ඔවුන් ලක්ව තිබෙනවාද යන්න මනාව පැහැදිලිවේ. 

එක්සත් ජාතීන් යේමනයට දෙන මානුෂීය ආධාර 2015 සිට වැඩි කරද්දී, ආධාර අවශ්‍ය පුද්ගලයින්ගේ  සංඛ්‍යාව මිලියන 4 දක්වා වර්ධනය වී ඇත. එම ආධාර වලින් ආවරණය වන්නේ එයින්  46%ක ප්‍රමාණයක් පමණක් වන බවත්, ඇ.ඩො මිලියන 880 හිගයක් ඇති බවත් එක්සත් ජාතීන්ගේ හදිසි සහනාධාර සම්බන්ධීකාරක වන ස්ටෙපන් ඕබ්‍රීන් මහතා ප්‍රකාශ කළේය. 

මෙම අනතුරු ඇගවීම ඔහු කර සිටියේ පසුගිය සතියේ හොදෙයිදාහ් සංචාරයෙන් අනතුරුව දවස් තුනකට පසුව පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවෙමිනි.

හොදෙයිදා හි සමාජ ක්‍රියාකාරකයෙකු වන අහලම් අබ්දුල් රහීම් කියා සිටියේ, ජාත්‍යන්තර සංවිධාන ජනශූන්‍ය ප්‍ර දේශවල සිටින ජනතාව වෙත ලගාවීමට කටයුතු කල යුතු බවයි. උග්‍ර මන්දපෝෂණයට ගොදුරුවුවන්   රෝහල් වල ප්‍රතිකාර නොගන්නා බවත් ඔවුන් තවමත් කාන්තාරයේ ඔවුනගේ වාසාස්ථාන වල රැදී සිටින බවත් ඔහු තවදුරටත් කියා සිටියේය

ජානක ප්‍රිදර්ශන ජයතිලක

(අල් ජසීරා ඇසුරෙනි)


RECOMMEND POSTS