හමුදාව වෙනුවෙන් හිරේ යන්න සූදානම්



පිලිපීනයේ ඉස්ලාමීය රාජ්‍යයක් ස්ථාපිත කිරීමට උත්සාහ ගන්නා අයි.එස්. හිතවාදී ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට හමුදා ප්‍රධානීන්ට සහ සෙබළුන්ට පූර්ණ නිදහස ලබා දෙන බවත්, රට ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමේදී හමුදාවට අපරාධ චෝදනා එල්ල වුවහොත්, ඒ චෝදනා සියල්ල බාර ගෙන හමුදාව වෙනුවෙන් තමා සිර දඬුවම් විඳීමට පවා සූදානම් බවත් පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස් කියයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බටහිර රටවල් දැඩි ලෙස විවේචනය කරන දළදඬු ජනාධිපතිවරයකු ලෙස ප්‍රකට රොඞ්රිගෝ ඩුටරේට්ස්  මේ බව කියා සිටියේ පසුගිය දා පිලිපීනයේ මරාවි නුවර හමුදා කඳවුරට ගිය අවස්ථාවේදීය. මේ වනවිට පිලිපීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල හමුදා නීතිය ක්‍රියාත්මක වෙයි.
ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලින් තුවාල ලබා ප්‍රතිකාර ලබන හමුදා සොල්දාදුවන්ගේ සුවදුක් විමසීමට පවා ජනාධිපතිවරයා අමතක නොකළේය.

පිලිපීනයේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ ගන්නා ‘මවුතේ’ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සහ පිලිපීන රජයේ හමුදා අතරේ දරුණු අවි ගැටුම් පවතී. ‘මවුතේ’ යනු අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට හිතවාදී ත්‍රස්තවාදීන්ය.

මරාවි නුවර හමුදා කඳවුරේ දී සෙබළුන් අමතමින් ජනපති ඩුටරේට්ස් මෙසේ පැවැසීය.

‘ඔබ ඔබේ රාජකාරිය හරියට කරන්න. ඉතිරි ටික මම බලා ගන්නම්. චෝදනා එල්ල වුණොත් මම හිරේ යන්නම්. ඔබ අතින් කාන්තාවන් දූෂණය වුණොත්, මම කියන්නම් ඒක කළේ මමයි කියලා.’ යැයි ජනපති ඩුටරේට් හමුදා සෙබළුන් අමතමින් විහිළුවක් ද කළේය.

එම ‘විහිළුව’ දුරදිග ගිය අතර, බොහෝ දෙනාගෙන් ඩුටරේට්ස්ට දොස් අහන්න ද සිදුවිය. ජගත් කාන්තා අයිතීන් සුරැකීම වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පමණක් නොව, ඩුටරේට්ස්ට සහාය දක්වන අසල්වැසි රටවල රාජ්‍ය නායනයන් පවා පවසා ඇත්තේ එය දුරදිග ගිය විහිළුවක් කියාය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS