හමාසා බින් ලාඩන් සහ අල් කයිඩා භූමිකාව



හමාසා බින් ලාඩන්, අල් කයිඩා ත්‍රස්ත සංවිධානය පිහිටුවීමේ පුරෝගාමියා වූ ඔසාමා බින් ලාඩන්ගේ එක් පුතෙකි. ඇමෙරිකන් හමුදා මීට අට වසරකට පෙර, ඔසාමා බින් ලාඩන් සොයා මරා දැම්මේ, ඔහු පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර, නිවසක සැඟවී ජීවත් වෙද්දීය.

ඇමෙරිකාව පසුගිය දා නිවේදනය කළේ ඔවුන්ට තර්ජනයක් බව පෙනී ගිය නිසා, හමාසා බින් ලාඩන් ගුවන් ප්‍රහාරයකින් ඝාතනය කළ බවය. හමාසා 30 හැවිරිදි වියෙහි පසුවිය. ඔහු අල්ලා ගැනීමට ඔත්තුවක් දෙන අයකුට ඇමෙරිකාව ඩොලර් මිලියනයක ත්‍යාගයක් ලබා දීමට පොරොන්දු වී තිබුණි.

හමාසා බින් ලාඩන් ඇමෙරිකාවට තර්ජනයක් වූයේ කෙසේද? ඔසාමා බින් ලාඩන්ගේ ඝාතනයෙන් පසු පසුබැසීමකට ලක්වුණු අල් කයිඩා ත්‍රස්ත සංවිධානය වර්තමාන තත්ත්වය කුමක්ද?

පළමුවෙන් හමාසා බින් ලාඩන් කවුරුදැයි හඳුනා ගනිමු.

ඔසාමා බින් ලාඩන් ඝාතනය සිදුවූයේ 2011 වසරේ පාකිස්තානයේදීය. ඉන්පසු අල් කයිඩා සංවිධානයේ තරුණ නායකයකු ලෙස හමාසා බින් ලාඩන් සෙමින් සෙමින් ඉදිරියට එමින් සිටියේය. ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශය ඔහු ‘ඉදිරියට එන අනතුරක් ලෙස’ කල්තියා හඳුනාගෙන විමසිල්ලෙන් පසුවිය.
ඔසාමා බින් ලාඩන්ගේ අභාවයෙන් පසු, අල් කයිඩා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සිදුවිය. ඒ, සෙසු ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගේ කැමැත්තෙනි. වෛද්‍යවරයකු ද වන අයිමාන් අල් සවාරී අල් කයිඩාවේ නායකයා විය. තවමත් අල් කයිඩාව මෙහෙයවන්නේ සවාරී ය.
හමාසා බින් ලාඩන් ට අවුරුදු 30 ක් වෙද්දී, එනම් 2015 දී තරුණ නායකයකු ලෙස සවාරි, හමාසා බින් ලාඩන් හඳුන්වා දුන්නේය. හමාසා බින් ලාඩන්, ලෙනකින් මතුවුණු සිංහයා යන නමින් හඳුන්වා දෙන්න විය. හමාසා බින් ලාඩන් ඇමෙරිකාවට තර්ජනයක් වීම ආරම්භ වූයේ ඒ අනුවය.
හමාසා බින් ලාඩන්, අල් කයිඩා ත්‍රස්ත සංවිධානයට හිතවත් වෙබ් අඩවි ඔස්සේ, ඔවුන්ගේ අදහස් ප්‍රචලිත කරන්න විය. ඇමෙරිකාවට මරණය ගෙනෙන බවට තර්ජනය කරන්න විය. අල් කයිඩා සංවිධානය යළිත් බිහිසුණු ත්‍රස්ත සංවිධානයක් බවට පත් කරන බවට පොරොන්දු දෙන්න විය.

අල්කයිඩාවට මොකද වුණේ දැන් බලමු.

2011 වසරේ දී ඔසාමා බින් ලාඩන් සොයා මරා දැමීමට ඇමෙරිකන් නේවි සීල් භටයන් සමත් වීමත් සමඟ අල් කයිඩාව අඩපණ විය. මුස්ලිම් තරුණයන්ට තවදුරටත් අල් කයිඩාවෙන් ජවයක් හෝ පන්නරයක් හෝ ලැබුණේ නැත. අයිමාන් අල් සවාරි, ඔසාමා බින් ලාඩන් තරම් බිහිසුණු චරිතයක් නොවිණි.

මේ අතරේ, සිරියානු යුද්ධයත් සමඟ අල් කයිඩාවට සම්බන්ධ වූ කුඩා ත්‍රස්ත කල්ලියක් අල් කයිඩාවෙන් වෙන්වී තනිවම නැගී සිටින්න විය.

අයි.එස්./අයි.එස්.අයි.එල්. මෙන්ම ‘ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඞ් සිරියා’ යන නමින් ද ‘දයේෂ්’ යන නමින් ද බිහිසුණු ත්‍රස්ත සංවිධානයක් බවට පත් වී, ලොවටම තර්ජයක් වූයේ මෙම කුඩා කල්ලියයි. එය සිදුවූයේ ඔවුන්ගේ නායක අල් බැග්ඩෑඩිගේ ශක්තිමත් නායකත්වය හේතුවෙනි.

මෙම 2019 වසරේ ජනවාරියේ සිට අල් කයිඩා සංවිධානයේ වෙනසක් ඇමෙරිකාව දුටුවේය. ඒ, හමාසා බින් ලාඩන්ගේ මෙහෙයවීම යටතේ අල් කයිඩාව යළි හිස ඔසවන ළකුණුය. කලාපීය සෙසු ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි සමඟ එක් වෙමින්, ඔවුන් ශක්තිමත් වීමට පටන් ගෙන තිබුණි. ඇමෙරිකා ජාතික බුද්ධි අංශය 2019 ජනවාරියේ එළිදැක්වූ බුද්ධි වාර්තාවක මෙසේ සඳහන් වෙයි.

‘අල් කයිඩාවේ ජ්‍යෙෂ්ඨ නායකයන් ඔවුන්ගේ ත්‍රස්ත ජාලය ශක්තිමත් කිරීමට ගෝලීය මට්ටමින් වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඇමෙරිකාවටත් බටහිර රටවලටත් තර්ජනය වන අයුරින් ඔවුන් සැලැසුම් සකස් කරමින් සිටිනවා.’

බුද්ධි වාර්තා පාදකකර ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ද අල් කයිඩාවේ නව මුහුණුවර සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කරමින් වාර්තාවක් නිකුත් කළේය. 2019 පෙබරවාරියේ එක්සත් රාජධානියේ බුද්ධි අංශ ප්‍රධානියා ඇලෙක්ස් යංග් ද අල් කයිඩා සංවිධානයේ නැගී සිටීම ගැන අනතුරු ඇඟවීමක් කළේය.

අල් කයිඩා සංවිධානයට විශාල ජාලයක් සම්බන්ධය. අප්‍රිකාවේ, මැදපෙරදිග සහ දකුණු ආසියාවේ අල් කයිඩාවට හිතවත් ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් ක්‍රියාත්මක වෙයි. මෙම කණ්ඩායම් අල් කයිඩා සංවිධානයේ කුඩා ශාඛා ලෙස සැලකිය හැකිය. එවැනි ශාඛා කල්ලි 7 කි.

අයි.එස්. සංවිධානය මෙන් නොව, අල් කයිඩාව ඔවුන් ක්‍රියාත්මක වන පළාතේ ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. තමන්ගේ අරමුණු ගැන ඔවුන්ට පවසමින්, ඔවුන්ගේ සහාය ලබා ගනී.

2013 දී ජිහාද්වාදය සම්බන්ධයෙන් මූලික මඟපෙන්වීම් පිළිබඳ පත්‍රිකා අල් කයිඩාව ප්‍රකාශයට පත් කළේය. අල් කයිඩාව කිසිම අවස්ථාවක තමා අවට සිටින ජනතාව සතුරු කර ගන්නේ නැත. අල් කයිඩාවේ එකම ඉලක්කය ඇමෙරිකන්සහ බටහිර වැසියන් පමණය.

සෙමින් සෙමින් යළි කරළියට පැමිණෙන්න උත්සාහ ගන්නා අල් කයිඩාව 2018 වනවිට ප්‍රහාර 316 ක් සිදු කර තිබෙන බව වාර්තා විය. 2015 දී පැරිසියේ චාලි හෙබ්ඩෝ වෙඩි තැබීමේ සිදුවීම කළේ අල් කයිඩා හිතවාදීන්ය. 2015 ජනවාරියේ සිදුවුණු එම ප්‍රහාරයෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප්‍රහාරය සිදු කළේ අරාබි අර්ධද්වීපයේ ක්‍රියාත්මක අල් කයිඩා ශාඛාවේ සාමාජිකයන් බව හඳුනා ගැණුනි.

සෝමාලියාවේ ක්‍රියාත්මක අල් ෂෙබාබ් ත්‍රස්ත සංවිධානය සෝමාලියාව අස්ථාවර කිරීමට සමත් වී ඇත. මොවුන් ද සහාය දෙන්නේ අල් කයිඩා සංවිධානයටය.

2013 කෙන්යාවේ නයිරෝබි නුවර සාප්පු සංකීර්ණයකට පහර දී 67 ක් මරා දැම්මේ අල් ෂෙබාබ් සාමාජිකයන්ය. අල් ෂෙබාබ් තවදුරටත් කෙන්යාවේ ප්‍රහාර සිදු කරයි. කෙන්යාව සෝමාලියාවට මායිම්ව පිහිටන අප්‍රිකා රාජ්‍යයකි.

2015 දී කෙන්යාවේ ගැරිස්සා විශ්ව විද්‍යාලයට කඩා වැදී පහර දුන්නෝ ද අල් ෂෙබාබ් ත්‍රස්තවාදීහුය. එම ප්‍රහාරයෙන් 148 ක් ජීවිතක්ෂයට පත්වූහ.

2017 ඔක්තෝබරයේ සෝමාලියාවේ මොගඩිෂු අගනුවරට එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය ගණන 600 ක් මියගියහ. 2019 ජනවාරියේ නයිරෝබි වෙළෙඳ සංකීර්ණයකට අල් ෂෙබාබ් ප්‍රහාරයක් එල්ල විය. එයින් මියගිය ගණන 15 කි.

ලුසිත ජයමාන්න


RECOMMEND POSTS