සූර්ය ග්‍රහණයත් සමඟ ගිනි වළල්ලක්



රටවල් අනුව සූර්ය ග්‍රහණ දකින්න ලැබෙන්නේ වෙනස් අයුරිනි. ඒ අනුව, සූර්යග්‍රහණ වර්ග 3 කි. එම වර්ග 3 වන්නේ, පූර්ණ සූර්යග්‍රහණ (Total Solar Eclipse), අර්ධ සූර්යග්‍රහණ (Partial Solar Eclipse), වළයාකාර සූර්යග්‍රහණ (Annular Solar Eclipse) ය.

21 වැනිදා සිදුවුණු සූර්ය ග්‍රහණය දකින්න ලැබුනේ වළයාකාර සූර්ය ග්‍රහණයක් ලෙසිනි. අප්‍රිකා රටවල් කීපයකට, මධ්‍යම සහ අග්නිදිග ආසියාවට සූර්ය ග්‍රහණය පැහැදිලිව දකින්න ලැබුණි. ඒ ගිනි වළල්ලක් ද සමඟය. සූර්ය ග්‍රහණය පළමුවෙන් දකින්න ලැබුණේ කොංගෝවට ය. අවසන් වූයේ පැසිෆික් සාගරයෙනි.

කොංගෝවට පසු, ඉතියෝපියාව, යේමනය, සවුදි ආරාබිය, ඕමානය, පාකිස්තානය, උතුරු ඉන්දියාව, චීනය හා තායිවානය යන රටවල වැසියන්ට සූර්ය ග්‍රහණය පැහැදිලිව දකින්න ලැබුණි. සඳුගෙන් හිරු වැසී යද්දී හිරුගේ ආලෝකය සඳ වටා දීප්තිමත්ව දකින්න ලැබුණි. එය අහසේ දිස්වුණු ගිනි වළල්ලක් වැනිය. එහෙයින් මෙම අපූරු සිද්ධිය ‘ගිනි වළල්ල’ (Ring of Fire) ලෙස හැඳින්වෙයි. සූර්ය ග්‍රහණය පැය 6 ක් තිස්සේ පැවැතියත්  ගිනි වළල්ල දකින්න ලැබුණේ මිනිත්තු කීපයකට පමණි. 

වළයාකාර සූර්ය ග්‍රහණය ලංකාවේ අපටත් දකින්න ලැබුණි. කෙසේ නමුත් ලංකාවේ අපට මෙය දකින්න ලැබුණේ අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙසය. 21 දා උදෑසන 10.29 ට පමණ සූර්ය ග්‍රහණය කොළඹට දකින්න ලැබුණු අතර, පස්වරු 1.09 දක්වා එනම්, පැය 2 යි විනාඩි 50 කට ආසන්න කාලයක් සූර්ය ග්‍රහණය දකින්න ලැබුණු බව පැවැසෙයි.

මෙම 2020 දෙසැම්බර් 14 වැනිදා තවත් පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙන බව තාරකා විද්‍යාඥයෝ පවසති. යළිත් වරක් ගිනි වළල්ලක් එසේත් නැතිනම් වළයාකාර සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙනු ඇත්තේ ලබන 2021 වසරේ ජූනි 10 වැනිදාය. ඉන්පසු යළිත් ගිනි වළල්ලක් සහිත වළයාකාර සූර්ය ග්‍රහණයක් දැකගත හැකිවනු ඇත්තේ 2023 වසරේදී ය.

‘ද සන්’ වෙබ් අඩවිය ඇසුරිනි
ඡායාරූප - ලහිරු හර්ෂණ

RECOMMEND POSTS