සුහඳ හමුවට ආ කොරෝනා



‘මුල්හවුස්’ යනු නැගෙනහිර ප්‍රංශයේ, ස්විට්සර්ලන්ත ජර්මන් දේශසීමාවේ පිහිටි නගරයකි. මුල්හවුස් නගරයේ ක්‍රිස්තියානි විවෘත දේවස්ථානයේ බැතිමතුන්ගේ වාර්ෂික හමුව පසුගිය පෙබරවාරි 17 වැනිදා සිට 24 දක්වා පැවැත්විණි. ප්‍රංශයේ නන්දෙසින් පමණක් නොව, දේශසීමා හරහා ද 2,500 කට වැඩි බැතිමතුන් පිරිසක් ඊට සහභාගී වූහ. සතියකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වුණු වාර්ෂික හමුවට පවුල් පිටින් පැමිණ සිටියේය. කා බී සතුටු වෙමින් සිටි පිරිස අතරේ අදිසි සතුරෙක් ද සිටියේය.

දින කිහිපයක් ගතවෙද්දී වාර්ෂික හමුවට සහභාගී වුණු එකිනෙකා අසනීප වන්න විය. අසනීප තත්ත්වය ආරම්භ වූයේ සෙම්ප්‍රතිශ්‍යාවෙනි. කැස්සකිනි. මාර්තු පළමු වැනිදා තහවුරු වූයේ පවුල් 18 ක සාමාජික සාමාජිකයන්ට ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී ඇති බව ය. දේවගැතිවරයා මාර්ගයෙන් ප්‍රංශ සෞඛ්‍ය බලගධාරීන් වහා ක්‍රියාත්මක වී, වාර්ෂික හමුවට සහභාගී වූවන් සොයමින් ඔවුන් නිරෝධායනය කිරීමට උත්සාහ ගත් නමුත් ඒ වනවිටත් ‘කොවිඞ් 19’ වයිරසය බොහෝ දෙනකු අතරේ පැතිර ගොස් අවසන් ය. ප්‍රංශය පුරා ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය දරුණු අන්දමින් ව්‍යාප්තවීමට දේවස්ථානයේ පැවැත්වුණු එම දේව මෙහෙය බලපෑවේ ය.

අද වනවිට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ උපදෙස් පරිදි ප්‍රංශය සම්පූර්ණ වශයෙන් වසා දමා එසේත් නැතිනම් ටෝට්ල් ලොක්ඩවුන් කර ඇත. කිසිදු නගරයක කිසිදු ගම්මානයක කිසිවකුටවත් නිවෙස්වලින් පිටතට යෑමට අවසර නැත. පොලිසිය සහ හමුදාව ජනතාවගේ ආරක්ෂාවට යොදා ඇත. මේ වනවිට ප්‍රංශයෙන් වාර්තා වුණු සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 60,000 කි. ප්‍රංශයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 5,400 පසු කර තිබුණි.

පළමු වරට යුරෝපා රටකින් කොරෝනා ආසාදිතයකු හමුවූයේ ප්‍රංශයෙනි. ප්‍රංශයෙන් එම ආසාදිතයා සොයා ගැනීම සිදුවුණේ පසුගිය ජනවාරි 24 වැනිදාය. ආසාදිතයා හමුවූයේ ප්‍රංශයේ බෝදෝ වරාය නගරයෙනි. එම ආසාදිතයා 48 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙක් විය. ඔහු ප්‍රංශයට පැමිණ තිබුණේ චීනයේ සිටය. ජනවාරි 25 වැනිදා වනවිට තවත් ප්‍රංශ ජාතික ආසාදිතයන් කිහිප දෙනකු වාර්තා විය. ඒ සෑම කෙනකුම පාහේ චීනයේ සිට පැමිණි අය යැයි හඳුනා ගැණුනි.

මේ අතර, කොරෝනා ආසාදිතය චීන සංචාරකයකු පැරිසියෙන් හමුවිය. ඒ, ජනවාරි 28 වැනිදාය. ඔහු පැරිස් රෝහලකට ඇතුළත් කෙරුණු අතර පෙබරවාරි 14 වැනිදා නිව්මෝනියාවෙන් මියගියේය. ආසියාවෙන් පිට රටක සිදුවුණු පළමු කොරෝනා මරණයත්, යුරෝපා රටක සිදුවුණු පළමු කොරෝනා මරණයත්, ප්‍රංශයේ පළමු කොරෝනා මරණයත් එය විය. ප්‍රංශයේ කොරෝනා වයිරස වසංගතයක් නිර්මාණය වූයේ මුල්හවුස් නගරයේ පිහිටි ක්‍රිස්තියානි විවෘත දේවස්ථානයේ පැවැත්වුණු වාර්ෂික හමුවෙන් පසුවය. එම වාර්ෂික හමුවට සහභාගී වූ සියලු දෙනා සහ ඔවුන්ගේ පවුල්වල අය රෝගී වූ බව පැවැසෙයි. ප්‍රංශයේ කොරෝනා වයිරස වසංගතයක් පැතිර ගියේ ඒ අනුවය.

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ජාතිය අමතමින් සියලුම පාසල් සහ සියලුම විශ්ව විද්‍යාල වසා දමන බව නිවේදනය කළේ මාර්තු 12 වැනිදාය. ප්‍රංශ අග්‍රාමාත්‍ය එදුවාද් පිලිපී ජනතාවට උපදෙස් දුන්නේ එකිනෙකා අතරේ ශරීර දුරස්ථභාවයක් පවත්වා ගන්නා ලෙසය. ජනරැළි, රැස්වීම් ආදී සියල්ල නැවැත්වීමට උපදෙස් ලබා දුන්නේය. එපමණක් නොව, සියලුම පොදු ස්ථාන වසා දැමීමට ද පියවර ගැණුනි. අවන්හල්, සිනමාහල් ආදිය වසා දැමුණි. අයිෆල් කුලුන, ලූව්ර කෞතුකාගාරය ඇතුළු සංචාරක ආකර්ශන වසා දැමුණි. මෙය ජනතා නොසන්සුන්තාවකට හේතුවක් වූ නමුත් කලහකාරීන් විසුරුවා හැරීම පොලිසියේ මැදිහත් වීමෙන් සිදුවිය. ජනපති මැක්රොන් ප්‍රංශය සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කළේ මාර්තු 17 වැනිදාය. ඒ, සෞඛ්‍ය බලධාරීන් කළ අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගනිමිනි. ප්‍රංශය ‘ටෝට්ල් ලොක්ඩවුන්’ වී දෛනික කටයුතු මුළුමනින් අඩපණ වූයේ ඒ අනුවය.

ඒ.එෆ්.පී. ඇසුරිනි


RECOMMEND POSTS