සිරියාවට එරෙහිව එ.ජා. යෝජනාවක්



සිරියානු රජයේ හමුදා රසායනික අවි ප්‍රහාර එල්ල කරමින් සිරියානු සිවිල් වැසියන් මරා දමනවා යැයි චෝදනා කරමින්, සිරියානු රජයට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යෝජනාවක් ගෙන ඒමට සැරැසෙයි.

සිරියානු රජය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හදිසි හමුවක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවැත්වීමට ද නියමිතය.

සිරියානු හමුදාව විසින් එම රසායනික අවි ප්‍රහාරය එල්ල කළ බවට, සිරියානු විපක්ෂය, කැරැලිකරුවන් පමණක් නොව, රසායනික අවි සම්බන්ධ විශේෂඥයන් පවා තහවුරු කර තිබේ.

සිරියානු රජයේ හමුදා එල්ල කළ රසායනික අවි ප්‍රහාරයකින් කුඩා දරුවන් 20 දෙනකු සහ වැඩිහිටියන් 52 දෙනකු ජීවිතක්ෂයට පත්වුණැයි සිරියානු මානව හිමිකම් සුරැකීමේ සංවිධානය අනාවරණය කළේ පසුගිය 4 වැනිදාය.

එම රසායනික අවි ප්‍රහාරය එල්ල වී ඇතැයි පැවැසෙන්නේ සිරියාවේ ඉඞ්ලිබ් පළාතේ නගරයකටය. මෙම නගරය සිරියානු රජයට එරෙහිව සටන් වදින කැරැලිකරුවන් විසින් ග්‍රහණයට ගනු ලැබූ නගරයක් බව ද පැවැසෙයි.

සිරියානු රජය දිගින් දිගටම තහවුරු කර ඇත්තේ තමන් කිසිදු අවස්ථාවක රසායනික අවි යොදා ගනිමින් සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කර නොමැති බවය.

සිරියානු රජයට එරෙහිව ගෙන ඒමට සැරැසෙන එම යෝජනාව සම්බන්ධයෙන් රුසියාව සිය විරෝධය පළ කර ඇත. රුසියාව පෙන්වාදී ඇත්තේ සිරියානු රජයේ හමුදා රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළේ යැයි පිළිගැනීමට ප්‍රමාණවත් සාක්ෂි කිසිවක් නොමැති බවය.
රසායනික අවි යොදා ගනිමින් සිරියාවේ සිවිල් වැසියන් මරා දැමීමක් සිදුවී ඇතිනම් එක කිසිසේත් අනුමත කළ නොහැකි බව ඉරානය පවසයි. ඉරානය ෂියා මුස්ලිම් රාජ්‍යයකි. ඉරානය සහාය දක්වන්නේ සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ ෂියා මුස්ලිම් රජයටය.

ඉරානය වැඩි දුරටත් පවසා ඇත්තේ සිරියානු අර්බුදය කඩිනමින් විසඳීමටත් සිරියානු සිවිල් වැසියන් ආරක්ෂා කිරීමටත් සිරියානු ත්‍රස්තවාදීන් මර්දනය කළ යුතුයි කියාය.

ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජනපති ධුරයට පත්වෙද්දී කියා සිටියේ, සිරියානු අර්බුදය විසඳීමට නම් සිරියානු රජයට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තයන් මුලිනුපුටා දැමිය යුතු බවය. රුසියාව සහ ඉරානය එම කටයුත්තට දායකත්වයක් ලබා දෙන බවත් ඇමෙරිකාව ද එසේ කළ යුතු බවත් ට්‍රම්ප් එම අවස්ථාවේදී අවධාරණය කළේය.

සිරියානු රජය පසුගිය 4 වැනිදා රසායනික අවි යොදා ගනිමින් කළ ප්‍රහාරය තරයේ හෙළා දකිමින් ජනපති ට්‍රම්ප් පවසා ඇත්තේ සිරියානු ජනපති බෂීර් අල් අසාද්ට හෝ සිරියානු රජයට හෝ කිසිදු සමාවක් දිය නොහැකි බවය.

ඇමෙරිකාව නියෝජනය කරන එරට එක්සත් ජාතීන්ගේ තානාපතිනිය නිකී හේලි, සිරියානු රජයේ කුරිරුකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට පෙන්වා දෙමින් පසුගිය දා කියා සිටියේ සිරියානු සිවිල් වැසියන් පිඩාවට පත් කරන ජනපති බෂීර් අල් අසාද් දිගටම බලයේ රැඳී සිටිනු දැකීමට ඇමෙරිකාවේ කැමැත්තක් නැති බවය.

(ඒ.එෆ්.පී/ඩේලිමේල්)

 


RECOMMEND POSTS