සැන්සිබාර් බූවල්ලන්ට අසුබ කල දවසක්



සුදු වැලි තලාවකින් සැරසුනු ටැන්සානියාවට අයත් සැන්සිබාර් දූපතහි නැගෙනහිර වෙරළ තීරය වඩාත්ම ජනප්‍රිය වන්නේ සංචාරක තෝතැන්නක් ලෙසයි. එහෙත්, සෑමදිනකම බාදිය සමග ජලමට්ටම බැස යත්ම සිය හෝටල් කරා සංචාරකයන්ද ඇදී යන විටදී විශාල පිරිසක් මෙම වෙරළතීරයට ඇදී එයි.

පොලු හා හෙල්ල අතැතිව ඔවුන් මෙලෙස දියට බසින්නේ සුවිශේෂී කාර්යයක් සඳහාය. ඒ, ටැන්සානියාවේ අතිජනප්‍රිය ආහාරයක් වන බූවල්ලන් දඩයම් කිරීමටයි. ගල්පර, කොරල්පර හා මුහුදු තෘණ අතර සිටින මෙම බූවල්ලන් ඇල්ලීමට දියට බසින දක්ෂ දඩයම්කරුවෙකු හට එකවර බූවල්ලන් 10කට වැඩි ප්‍රමාණයක් දඩයම් කිරීමට හැකිය.

මෙම දූපතේ සංචාරක හෝටල් වල අතිජනප්‍රිය ආහාරයක් වන බූවල්ලන්, වෙරළාසන්නව ජීවත් වන මෙවැනි මිනිසුන් ගේ දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරන ප්‍රධාන ආහාරයක් ද වේ.කොරල්පර සහිත මෙම වෙරළතීරය මසුන්, කකුළුවන්, බෙල්ලන්, හා මුහුදු පාසි වලින් ගහන වන අතර, ප්‍රාදේශීය ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ මෙම සතුන් ඇල්ලීමයි.

ටැන්සානියාව යනු බටහිර ඉන්දීය සාගරයේ වැඩියෙන්ම බූවල්ලන් ප්‍රමාණයක් සපයන රටයි. සාම්ප්‍රදායිකව බූවල්ලන් ඇල්ලීම යනු කාන්තාවන් ගේ ප්‍රධානීත්වයෙන් සිදුවූ ක්‍රියාවකි. කෙසේ වෙතත්, වැඩි ආදායම් ලබාගැනීමේ අරමුණෙන් පිරිමින්ද වැඩිවැඩියෙන් මේ සඳහා යොමුවෙමින් සිටියි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ දත්ත අනුව, ටැන්සානියාවේ බූවල්ලන් ඇල්ලීම වසර 1990 දී ටොන් 482ක් වූ අතර, වසර 2012 වන විට එය ටොන් 1,250කට වැඩි ප්‍රමාණයක් දක්වා වර්ධනය වී තිබේ.

කොරල් පර හා ගල්පර අතර බූවල්ලන්ට සැඟවීමට තැන් බහුල වන අතර, නුපුහුණු ඇසට ඔවුන් ඉතා පහසුවෙන් මගහැරෙයි.මෙම ගල්පර අතර වෙසෙන ඉකිරියන් දහස් ගණනද මෙම දුඩයම්කරුවන් ට තවත් අභියෝගයකි. Bwejuu හි මුහුදු පාසි ගොවිපොලකට ඔබ්බෙන් බූවල්ලන් සොයන කාන්තාවකි මේ.ග්‍රිල් කරන ලද බූවල්ලන් යනු Stone Town හි සෑම රාත්‍රියකම ඇරඹෙන මුහුදු ආහාර වෙළඳපොලේ ප්‍රධාන අංගයකි

ටැන්සානියාවෙන් අල්ලා ගන්නා බූවල්ලන් බහුතරය යුරෝපයට අපනයනය කරනු ලැබේ. කෙසේ වෙතත්, සැන්සිබාර් දූපත තුළ, සංචාරයක කර්මාන්තය හේතුවෙන් බූවල්ලන්ට ඇත්තේ ඉහළ ඉල්ලුමකි.

( තිළිණි ද සිල්වා )

බීබීසී ලෝක සේවය ඇසුරෙනි......


RECOMMEND POSTS