ස්වර්ණාභරණ සම්මානයක් දිනූ ලාංකිකයා



විදේශ ගත ශ්‍රීලාංකිකයන් අතර ස්වර්ණාභරණ වෙළඳාමට පෙරමුණ ගෙන කටයුතු කරන්නේ බොහෝ විට ශ්‍රීලාංකික දමිල සම්භවයක් සහිත පිරිස් වන අතර විශේෂයෙන් යුරෝපයේ ඔවුන් හා සමානවම ඉන්දියානු ජාතිකයන්ද ස්වර්ණාභරණ ක්‍ෂේත්‍රයේ බලය අත්පත් කරගෙන සිටී.

එවැනි පරිසරයක ශ්‍රීලාංකික සිංහල ව්‍යාපාරිකයෙක් එම ක්‍ෂේත්‍රයේ නියැලීමත් එහිදී සම්මාන වලට පාත්‍ර වීමක් අසන්න දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. එසේ වුවද එවැනි අවස්ථාවක් එංගලන්තයෙන් පසුගියදාා අසන්න ලැබුණි.

එම අවස්ථාව රටක් ලෙස ශ්‍රී ලංකාවට විශේෂ ගෞරවයක් අත්කර දුන් අවස්ථාවක් ලෙස හැදින්වීම අතිශෝක්තියක් නොවේ. 'බෙස් පොක්' සම්මාන උළෙල යනු ස්වර්ණාභරණ හා ඔරලෝසු කර්මාන්තයේ නිර්මාණ සඳහා එංගලන්තයේ පවත්වනු ලබන ප්‍රථම පෙලේ කීර්තිමත් සම්මාන උළෙලකි.

මෙම කර්මාන්තයේ නියැලෙන දක්ෂයන් තෝරා ඔවුන්ව ඇගැයීමකට ලක් කොට වසරකට වරක් සම්මාන පිරිනැමීම මෙම උළෙලේ විශේෂ අංගයක් ලෙස සැලකෙයි. එබැවින් බොහෝ ස්වර්ණාභරණ නිර්මාණ කරුවන් මෙම සම්මානය දිනා ගැනීම සඳහා වෙහෙසෙති. එවැනි අවස්ථාවක් ශ්‍රීලාංකිකයකු විසින් හිමිකර ගැනීමද විශේෂ අවස්ථාවකි.

එංගලන්තයේ ජීවත් වෙමින් ඉහත සඳහන් වෘත්තීයික සම්මානයක් දිනා ගැනීමට ශ්‍රීලාංකික හසිත සිල්වාට අවස්ථාව උදාාවන්නේය. ඒ අනුව 2021 වසරේ විශිෂ්ඨතම ස්වර්ණාභරණ නිර්මාණකරුවා ලෙස ඉහත සම්මානය හිමිකර ගැනීමට ඔහු සමත් වන්නේය. ඒ අනුව 2021 වසර සඳහා පිරිනමන 'බෙස් පොක්' සම්මානය දිනා ගැනීමට හසිත සිල්වා සමත් වන්නේය.

වර්ෂ 2021 සඳහා පවත්වන මෙම සම්මාන උළෙල පසුගියදාා ලන්ඩනයේ බෘවරී හීදි පැවැත් වුයේය. විවිධ ක්‍රමෝපායන් භාවිතා කරමින් විස්මිත නිර්මාණ එක් කළ ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට තබමින් එහි නිර්මාණ කරුවන් විශාල පිරිසක් මෙම සම්මාන උළෙලට සහභාගී වූයේය.

ශ්‍රීලංකාවේ තම පියා විසින් පවත්වා ගෙන ගිය පවුලේ වෙළඳ ව්‍යාපාරයක් වූ ස්වර්ණාභරණ සාප්පුවට (ඡේ ද සිල්වා ස්වර්ණාභරණ ආයතනය) කුඩා කල යන එන වයස අවුරුදු 10ක්වූ හසිත තම පියාගේ මග පෙන්වීමෙන් ස්වර්ණාභරණ ක්‍ෂේත්‍රයට අත් පොත් තැබීමට අවස්ථාව උදාාකර ගත් ඔහු එම ක්‍ෂේත්‍රයේ වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තය තෝරා ගත්තේය.

ඒ අනුව වසර 2002දී එංගලන්තයේ කැන්ටබරි පිහිටි කෙන්ට් විශ්ව විද්‍යාලයෙන් ස්වර්ණාභරණ නිර්මාණය හා සදාා නිම කිරීම සම්බන්ධ බී.ඒ. උපාධියක් හිමිකර ගැනීමට සමත් වන්නේය. උසස් අධ්‍යාපනයෙන් පසු එංගලන්තයේ පිහිටි කීර්තිමත් මේෆේයාර් හා වින්චෙස්ටර් යන ස්වර්ණාභරණ ආයතනයන් හී සේවයට එක් වන්නේය.

 රැකියාවෙන් ලැබූ අත්දැකීමත් කුඩා අවදියේ සිට මැනික් ගල් හා ස්වර්ණාභරණ සෑදීම කෙරෙහි දැඩි ඇල්මක් තිබූ ඔහු විසින්ම තම ව්‍යාපාරයක් ආරම්භ කරමින් එංගලන්තයේ නොටිංහැම්ෂයර් වල 'ඇන්ඩෘ මැක්කොලොච්' නමින් ස්වර්ණාභරණ සාප්පුවක් විවෘත කරන්නේය. එම ආයතනය ආරම්භ කර වසර 3ක් වැනි කෙටි කාලයකින් සම්මාන ලාභී වෙළෙන්දෙක් බවට පත්වීමද ඔහු ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයකි.

'අපි ගලක් ලබා ගත් මොහොතේ සිට අප කරන සෑම දෙයකින්ම කැපී පෙනෙන ස්වර්ණාභරණ වෙළෙන්ඳන් වීමට උත්සහ කරන්නෙමු. පාරිභෝගිකයකු අපේ සාප්පු බිමට පිවිසෙන මොහොතේ සිට ඔවුන් අපේ මැක්කොලොච් පවුලේ කෙනෙක් බවට පත්වන්නේය. ඉන් පසු ඔහු හෝ ඇය බලාපොරොත්තු වන හා කැමතිම දේ නිර්මාණාත්මකව පිලිගැන්වීමට අපි බෙහෙවින් උනන්දු වන්නෙමු.'

'පරිණාමය වෙමින් පවතින ලෝකයක සදාාකාලිකව වෙනස් සමාජයක අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂයෙන්ම අන්තර්ජාලා සබඳතා වෙන කවරදාාවටත් වඩා ඇති වර්තමානයේ වැඩි කැපවීමකින් අපගේ ගමන ඉදිරියට ගෙන යාමට සහා විශිෂ්ටත්වය සඳහා වෙහෙසීමට අපි උනන්දුවක් දක්වනවා' යැයි හසිත සිල්වාගේ ස්වර්ණාභරණ ව්‍යාපාරයේ සෙවනැල්ලක් මෙන් සිටින, ප්‍රංශයේ අධ්‍යාපනය ලබා දැන් එංගලන්තයේ ජීවත් වන ඔහුගේ ආදරණීය බිරිඳ දුලීෂා ද සිල්වා පැවැසීය.

සුනිල් ආනන්ද - පැරිස් නුවර සිට


RECOMMEND POSTS