සබ්මැරීනය සොයා කළ මෙහෙයුම් අවසන්



නාවික හමුදා නිලධාරීන් 44 දෙනකු සමඟ අතුරුදන්වුණු සබ්මැරීනය සොයා සිදු කළ මෙහෙයුම් අවසන් කිරීමට ආජන්ටිනා නාවික හමුදාව තීරණය කළේය.

සබ්මැරීනය අතුරුදන් වූයේ පසුගිය 15 වැනිදාය. එදා සිට මේ දක්වා සෝදිසි කිරීම් සිදු විය. අවස්ථා කිහිපයකදී සබ්මැරීනයෙන් සංඥා ලැබුණු බවත්, පිපිරීමක් සිදුවුණු බවත් වාර්තා විය. කෙසේ නමුත් සබ්මැරීනයට සිදුවුණු දේ සොයා ගැනීමට ආජන්ටිනා නාවික හමුදාව අපොහොසත් විය.

විදුලි පද්ධතියේ දෝෂයක් හේතුවෙන් සබ්මැරීනට මූදු පතුළේ සිර වෙන්න ඇතැයි ආජන්ටිනා නාවික හමුදාව සැක කරයි. ඒ අනුව, එහි සිටි සියල්ලන්ම ජීවිතක්ෂයට පත් වන්න ඇතැයි තමන් විශ්වාස කරන බව සෝදිසි මෙහෙයුම අවසන් බව නිවේදනය කරමින් නාවික හමුදාව වෙනුවෙන් එහි මාධ්‍ය ප්‍රකාශක කපිතාන් එන්රීකේ බල්බි මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

‘ලොකු උත්සාහයක් ගත්තා සබ්මැරීනය සොයන්න. ජාත්‍යන්තරයේ සහාය අපට උපරිමයෙන් හිමිවුණා. ඒත් උත්සාහයෙන් පලක් වුණේ නැහැ’ යැයි එන්රීකේ බල්බි පැහැදිලි කළේය.

සබ්මැරීනයේ සිටි 44 දෙනාගෙන් එක් අයකු කාන්තා නිලධාරිනියකි. සෝදිසි මෙහෙයුම අත්හැර දමනවා යැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක පැවැසූ අවස්ථාවේදී සබ්මැරීනයේ සිටි කාර්ය මණ්ඩලයේ පවුල්වල සාමාජිකයෝ හඬා වැළපෙන්න වූහ.

සබ්මැරීනය අතුරුදන් වූ දා පටන් ඔවුහු හෝඩුවාවක් දැන ගැනීමේ අපේක්ෂාවෙන් බලාපොරොත්තු දල්වා ගනිමින්, මාර් දෙල් පාටා නාවික හමුදා කඳවුරට රැස්වී සිටියහ.

සබ්මැරීනයේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇතැම්හු ආජන්ටිනා රජයට දොස් නගති. ඔවුන් චෝදනා නගන්නේ නාවික හමුදාවේ සබ්මැරීන නිසි ලෙස නඩත්තු කිරීමට රජය අපහොසත් වුණු බැවින් අනතුර සිදුවුණැයි කියාය.

සබ්මැරීනය අතුරුදන් වුණැයි පැවැසූ දා පටන් ආජන්ටිනා ජනාධිපති මුරිසියෝ මාසි, නාවික හමුදා නිලධාරීන් ද සමඟ එක් වී සබ්මැරීනය සොයා කළ සෝදිසි මෙහෙයුම් අධික්ෂණය කළේය.

අවසන් මොහොත දක්වාම උත්සහය අත් නොහරින්නැයි ඔහු සෝදිසි මෙහෙයුම්වල නියැළි නාවික හමුදා නිලධාරීන්ට උපදෙස් දී තිබුණි. සෝදිසි මෙහෙයුම අත්හැර දැමූවේයැයි පවසද්දී, ජනපතිවරයා කියා සිටියේ සිදුවුණේ කුමක්දැයි දැන ගැනීමට පුළුල් පරීක්ෂණයක් පවත්වන බවය.

ජනපතිවරයාගේ ඉල්ලීමට අනුව අසල්වැසි ලතින් ඇමෙරිකා රටවල්, ඇමෙරිකා නාවික හමුදාව, ඇමෙරිකාවේ නාසා ආයතනය සහ බි්‍රතාන්‍ය නාවික හමුදාව ද සබ්මැරීනය සෙවීමේ සෝදිසි මෙහෙයුමට දායක වුණැයි ද පැවැසිණි. සෝදිසි මෙහෙයුමට ආජන්ටිනා නාවික හමුදා නිලධාරීන් ද ඇතුළු 4,000 කට වැඩි පිරිසක් සම්බන්ධ වූහ. නැව්, ගුවන් යානා, සබ්මැරීන් ඊට යොදවිණි.

අතුරුදන් වූයේ ආර්ජන්ටිනා නාවික හමුදාවේ ‘සැන් යුවාන්’ නමැති සබ්මැරීනයයි. සබ්මැරීනයෙන් අවසන් වරට පණිවුඩ ලැබුණේ පසුගිය 15 වැනිදාය. ඉන්පසු සබ්මැරීනය රේඩාර් තිරයෙන් ද අතුරුදන් විය. ඉන්පසු නාවික හමුදාව සබ්මැරීනය සමඟ සම්බන්ධතා ඇති කරගැනීමට උත්සහ කළ ද එය සාර්ථක නොවිණි.

‘සැන් යුවාන්’ සබ්මැරීනය අතුරුදන් වූයේ, එය සාමාන්‍ය පරිදි සිදුකරන පුහුණු අභ්‍යාසයකට සහභාගී වී, දකුණු ඇමෙරිකාව කෙළවරේ චිලී රටට පහළින් පිහිටා ඇති නාවික කඳවුරේ සිට ආජන්ටිනාව බලා යාත්‍රා කරමින් තිබියදීය. සබ්මැරීනය ආජන්ටිනාවේ මාර් දෙල් ප්ලාටා නාවික හමුදා කඳවුර බලා පැමිණෙමින් තිබුණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS