ශ්‍රී ලංකාවේ පළමු ළමා අක්මා බද්ධ සැත්කම



ශ්‍රී ලංකාවේ පළමු ළමා අක්මා බද්ධ සැත්කම සාර්ථක වූ බව එය සිදු කළ වෛද්‍ය කණ්ඩායම පසුගියදා තහවුරු කළේය.මෙම සැත්කමට මුහුණ දුන්නේ වයස දීර්ඝ කාලීනව සිරෝසීස් රෝගයෙන් පීඩා විඳි වයස අවුරුදු නවයක දැරියකි.

උතුරු කොළඹ හෙවත් රාගම ශික්ෂණ රෝහලේ දී සිදුකෙරුණු මෙම ශල්‍යකර්මය සඳහා දිවයින පුරා රෝහල්වල විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් දායකත්වය ලබා දී තිබේ. මෙම සැත්කමට ලක්වූ කිශානු  නමැති දැරිවිය යාපනය ප්‍රදේශයේ දුෂ්කර ග්‍රාමයක උපන් දැරියක වන අතර ඇයට බද්ධ කිරීම සඳහා අක්මා කොටසක් ලබාදී ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවන ඇගේ මවය.

ඔවුන් දෙදෙනාම මේ වන විට උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ සුවය ලබමින් සිටියි.

අක්මාවේ ක්‍රියාකාරිත්වය දැඩිලෙස දුර්වල වීමෙන් කිශානු දැරිවිය පසුගිය වසරක පමණ කාලයක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් ඉතා දුෂ්කර කාලයක් ගත් කළ අතර ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය වී තිබුණේ ඇයගේ ජීවිතය බේරාගැනීමට ඉක්මනින් අක්මා කොටසක් බද්ධ කළ යුතු බවය.

ඒ වන විට මෙරට ළමා අක්මා බද්ධ කිරීමේ ක්‍රමවේදයක්‌ නොවූ බැවින් එම දෙමාපියන්ට තිබු එකම විසදුම වූයේ විදේශ රටකට ගොස් එම ශල්‍ය කර්මය සිදු කර ගැනීමය. මෙරට මුදලින් ලක්ෂ 70ක 80 ක පමණ මුදලක් වැය වන එම ශල්‍යකර්මය එම පවුලේ ආර්ථික තත්වය හමුවේ සිහිනයක් පමණක් වී තිබිණි.

දරුවාගේ රෝගී තත්ත්වය අධ්‍යනය කල උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායම ඇයට එම සැත්කම කිරීමේ අභියෝගය භාරගෙන ඇත්තේ ඉන් අනතුරුවය. දරුවාගේ ජීවිතය බේරා ගැනීමට තම අක්මාවෙන් කොටසක් ලබාදීමට කිෂානුගේ මව සූදානමින් සිටි අතර 38 හැවිරිදි ඇගේ මව ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවූ නිසා ඇයට එම අවස්ථාව ලැබිණි.

ඒ අනුව රාගම වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය අක්මාව, අග්න්‍යාසය, අවයව බද්ධ කිරීම පිළිබද විශේෂඥ වෛද්‍ය රෝහාන් සිරිවර්ධන මහතා ප්‍රධාන ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් විසින් 2020 ජුලි 14 වන දින මෙම දරුවාට නව ජීවිතයක් ලබා දීමේ සංකීර්ණ ශල්‍ය කර්මය ආරම්භ කළ අතර ඒ සදහා පැය 12 කට වඩා වැඩි කාලයක් ගත වී ඇත.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහතා ප්‍රමුඛ 7 ක ගෙන් යුත් ප්‍රධාන ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට දිවයින පුරා රෝහල්වල විශේෂඥ වෛද්‍යවරු,  නිර්වින්දන කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය. ළමා රෝග අංශයේ වෛද්‍ය හා හෙද කණ්ඩායම්, විකිරණවේදී වෛද්‍ය කාර්ය මණ්ඩලය, ශල්‍යගාර  හෙද කාර්ය මණ්ඩලය සහ  හේමාස් රෝහලේ කාර්ය මණ්ඩලය  ද සහයෝගය ලබාදී තිබේ.

ඉතා සාර්ථක ශල්‍යකර්මයකින් පසු දරුවා දැඩි සත්කාර ප්‍රතිකාර සදහා යොමු කොට ඇති අතර, ඒ වන විට උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂ දැඩි සත්කාර ඒකකවල තිබු අඩුපාඩු හේතුවෙන්, දරුවා වත්තල හේමාස් රෝහල වෙත යැවීමට තීරණය කොට ඇත.

එහිදී දින 7 ක්‌ පුරා නොමිලයේ දැඩි සත්කාර ප්‍රතිකාර ලබා දීමට එම රෝහල කටයුතු යොදා ඇත. මේ වනවිට දරුවා උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ සුවය ලබමින් ඇයගේ මව සමග සතුටින් කාලය ගත කරයි.

කුඩා දරුවෙකුගේ අක්මා බද්ධ කිරීමක් ශ්‍රි ලංකාවේ දී  සාර්ථකව සිදුකල ප්‍රථම අවස්ථාව මෙය වන නමුත් උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකය මගින් මේ වන විට වැඩිහිටි අක්මා බද්ධ කිරීම්  50 ක් ද සාර්ථකව සිදුකර තිබේ. 

වසරකට ලොව පුරා අක්මා බද්ධ සැත්කම් 30,000 පමණ සිදු කෙරෙන අතර, අසල්වැසි ඉන්දියාවේ වසරකට අක්මා බද්ධ සැත්කම් 3000-4000 ක් පමණ සිදු කෙරේ. සිරෝසීස් රෝගය සහ අක්මාවේ දැඩි අකර්මන්‍යතාවයන් දරුවන්ගේ ජීවිතවලට ඉතා භයානක ලෙස බලපාන අතර ඒ සදහා එකම ප්‍රතිකර්මය වනුයේ සාර්ථක අක්මා බද්ධයකි.

මෙය ඉතා සංකීර්ණ ශල්‍ය කර්මයක් වන අතර, ජීවී දායකයෙකුගේ අක්මාවක් යොදාගෙන සිදුකරන බද්ධ කිරීමේ දී දායකයා හා ප්‍රතිග්‍රාහකයා යන ජීවිත දෙක පිළිබදවම දැඩි ලෙස සැලකිලිමත් විය යුතුය. වැඩිහිටියන්ට සාපේක්ෂව දරුවන්ගේ ශල්‍ය කර්මයන් සංකීර්ණ හා අවදානම් සහගත වන අතර ළමයින්ගේ අක්මා බද්ධ කිරීම ඒ හා සසදන විට ඉතා අවදානම් සහගත බව වෛද්‍යවරු පවසයි.

වැඩිහිටි දායකයෙකුගෙන් අක්මාවකින් ආසන්න වශයෙන් සියයට 40 ලබාගත් පසු එම පුද්ගලයාගේ ඉතිරි අක්මා කොටස වර්ධනය වන අතර එය සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම සදහා  ප්‍රමාණවත්ය.

රාගම වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය අංශ ප්‍රධානී මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය රනිල් ප්‍රනාන්දු මහතා, රාගම වෛද්‍ය පීඨයේ පිඨාධිපති කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ඡ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රශාන්ත විඡේසිංහ මහතා, රාගම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි මහතා, රාගම වෛද්‍ය පීඨයේ ළමා රෝග අධ්‍යයන අංශයේ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මෙරන්ති ප්‍රනාන්දු මහත්මිය, රාගම වෛද්‍ය පීඨයේ නිර්වින්දනය පිළිබද විශේෂඥ වෛද්‍ය ඡ්‍යෙෂ්ඨ කථීකාචාර්ය භාග්‍ය ගුණතිලක මහතා, රාගම වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය අක්මාව, අග්න්‍යාසය, අවයව බද්ධ කිරීම පිළිබද විශේෂඥ වෛද්‍ය රෝහාන් සිරිවර්ධන මහතා ඇතුලු වෛද්‍ය, හෙද සහ රෝහල් කාර්ය මණ්ඩලය ද මෙම ශල්‍යකර්මය සාර්ථක කරගැනීම සඳහා සහයෝගය දී තිබේ.

“මට අලුත් අක්මාවක් සමගම අලුත් ජීවිතයක් ලබා දුන් ඔබට ස්තූතියි. ඔබ මට ඉටු කළා මෙන් හොඳම දෙයක් ලෝකයට සිදු කිරීමට මම පොරොන්දු වෙමි. කරුණාකර  අනෙක් යාළුවන්ටත් උදව් කරන්න. අපට ජීවත් වෙන්න තව එක අවස්ථාවක් උදා කර දෙන්න.”  යැයි අක්මා බද්ධ ශල්‍යකර්මයෙන් පසු සුවය ලද කිශානු දැරිය පවසා ඇත.

සටහන
ඩයනා උදයංගනී

RECOMMEND POSTS