ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට චන්ද්‍රිකාවක්



ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට චන්ද්‍රිකාවක් නිර්මාණය කර එය කක්ෂගත කිරීමට ශ්‍රී ලාංකික දියණියක සහ පුතණුවකු සූදානමින් සිටින බව බී.බී.සී. සිංහල පුවත් සේවය පසුගිය දා වාර්තා කළේය. එය සැබැවින්ම, ශ්‍රී ලංකාවේ අපට අභිමානයකි. අපට මේ අභිමානය උදා කර දෙන්නේ දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න යන දෙදෙනාය. මොවුන් මේ වනවිට සිටින්නේ ජපානයේය.

1903 දෙසැම්බර් 17 වැනිදා, රයිට් සහෝදරයන්ට පෙර, ඉන්දියානුවෙක් අහස් යානයක් නිර්මාණය කළ බව පැවැසෙයි. ඔහු ශිව්කාර් බාපුජී තල්පාදේ ය. තල්පාදේ සිය අහස් යානය නිර්මාණය කළේ 1864 දීය. ඔහු මේ සඳහා යොදා ගත්තේ රිග්වේදයේ සඳහන් මහාරිෂි භරද්වාජ්ගේ ‘පුෂ්පක රථය’ සහම්බන්ධ සටහන්ය. මේ සටහන් ලියැවී ඇත්තේ රාවණා රජු සහ රාවණා රජුට අයත් ගුවන් යානා තාක්ෂණය පාදක කර ගනිමිනි.

එහෙයින්, ලෝකයේ පළමු ගුවන් යානය නිපදවූයේ රාවණා යැයි ද අදහසක් පවතී. මේ නිසා රාවණාගේ ගුවන් තාක්ෂණය පිළිබඳව ලෝකයට කියා පෑමේ අරමුණින් නිර්මාණය වූ නව චන්ද්‍රිකාවට ‘රාවණා 1’ යනුවෙන් නම් කර ඇත. චන්ද්‍රිකාව ‘රාවණා 1’ යනුවෙන් නම් තබා ඇත්තේ, කටුබැද්ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවක් අනුවය.

‘රාවණා 1’ ඝනක චන්ද්‍රිකාවකි. ඝනක චන්ද්‍රිකාවක් යනු විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් නොවන අතර ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවකි. මෙවැනි චන්ද්‍රිකා නිර්මාණය කිරීමට මෙන් ම කක්ෂගත කිරීමට ද වැය වන මුදල සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතී. රාවණා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අපේක්ෂා කරන මෙහෙයුම් 5 කි.

ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම, ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුල්‘ (මෙය දත්ත ඩවුන්ලෝඞ් කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය) නමැති මෘදුකාංගය අත්හදා බැලීම, චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම, කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම  පිළිබඳව අත්හදා බැලීම, පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම ඒවාය. ඝන සෙන්ටි මීටර් 1000 ක විශාලත්වයෙන් යුතු චන්ද්‍රිකාව මෙම පෙබරවාරි මාසයේදී ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය වෙත භාර දීමට නියමිතය.

චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යැවීම සිදුවනු ඇත්තේ ඒ අනුවය. කියුබ් චන්ද්‍රිකා විශාල නොවන නිසා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ආහාර සහ තවත් උපකරණ යැවීමේදී චන්ද්‍රිකාවත් එහෙට යැවීමට සූදානම් කර තිබෙන බව පැවැසෙයි. චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සිදුවන්ු ඇත්තේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටය. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝ මීටර් 400ක් පමණ දුරින් රාවණා 1 කක්ෂගත කිරීමට නියමිතව ඇත. එහි අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5 ක් දක්වා පැවතිය හැකි බව පැවැසෙයි.

දුලානි චාමිකා විතානගේ


තායිලන්තයට ගොස් විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණය හදාරා ඇති දුලානි චාමිකා විතානගේ, පසුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයට එක්විය. මේ වන විට ඇය රාවණා 1 චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට දායක වන අතරතුර පශ්චාත් උපාධියක් හදාරමින් සිටින්නීය.

තරිඳු දයාරත්න


පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය ආරම්භ කළ තරිඳු දයාරත්න මේ වන විට ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ පශ්චාත් උපාධියක් හදාරමින් සිටී.

බී.බී.සී. සිංහල සේවය ඇසුරිනි

චන්ද්‍රිකාවක් යනු කුමක්ද ?
අප පෘථිවියට ස්වභාවික චන්ද්‍රිකාවක් ඇත. ඒ වෙන මොකවත් නොවේ අපේ සඳය. සෝවියට්වරුන්ගේ ‘ස්පුට්නික් 1’ සිට ‘රාවණා 1’ දක්වා මිනිසා විසින් පෘථිවි කක්ෂයේ රැඳවූ චන්ද්‍රිකා සැලකෙන්නේ කෘත්‍රිම චන්ද්‍රිකා යන නමිනි. චන්ද්‍රිකා වර්තමාන ලෝකයට මහත් ආන්දෝලනාත්මක පෙරලියක් ඇතිකර තිබෙන බව නොරහසකි. කෘතීම චන්ද්‍රිකා පිලිබඳ සිද්ධාන්ත මුල්ම ඉදිරිපත් කිරීම ලෙස දැක්වෙන්නේ විද්‍යාඥ අයිසෙක් නිව්ටන්ගේ ග්‍රහලෝක චලිතය ගැන කළ ඉදිරිපත් කිරීම්ය.

1945 වසරේදී ශ්‍රී ලංකාවේ ගෞවරවණීය පුරවැසියෙකු වූ ආතර් සී ක්ලාක් ප්‍රථමවරට චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ අදහස ඉදිරිපත් කරමින් කියා සිටියේ අභ්‍යවකාශයේ කක්ෂගත කරන ලද චන්ද්‍රිකා තුනක් මගින් මුළු ලොවටම එක්වර පණිවිඩ යැවිය හැකි බවයි. ඔහුගේ එම අදහස් යථාර්තයක් බවට පත්වන්නේ 1957 ඔක්තෝම්බර් 04 දා සෝවියට්වරුන් ලොව ප්‍රථම චන්ද්‍රිකාව ලෙස ස්පුට්නික් 1 උඩු ගුවනට යැවීය.

ඉන් ඇරඹුණු සන්නිවේදන චන්ද්‍රිකා තාක්ෂණය අද වනවිට ශීඝ්‍රයෙන් දියුණුවට පත්වෙමින් පුළුල් විශ්වීය අවශ්‍යතා ඉටුකරන මෙවලමක් බවට පත් වී ඇත. දුරකථන, රූපවාහිනී, කාලගුණ, සන්නිවේදන ජාල ආදී ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්කිරීමෙහිලා පුරෝගාමී වූ සියලු ක්ෂේත්‍රයන්හි සම්බන්ධිකාරකයා වන්නේ ද සන්නිවේදන චන්ද්‍රිකාය. පෘථිවි කක්ෂයේ ස්ථානගතකර ඇති මෙම ඉලෙක්ට්‍රොනික් උපකරණ පිහිටි කක්ෂය හඳුන්වන්නේ ක්ලාර්ක් කක්ෂය ලෙසයි. ඒ මෙම සංකල්පය මුලින්ම ඉදිරිපත් කළ ආතර් සී ක්ලාක් මහතාට ගෞරව කිරීම පිණිසයි.

කුමක් හෝ අරමුණක් උදේසා මිනිසා විසින් සූර්යයාගේ හෝ පෘතුවියේ හෝ වෙනත් ග්‍රහලෝකයට කක්ෂයකට ස්ථාන ගත කරන ලද වස්තුවක් කෘත්‍රිම චන්ද්‍රිකා ලෙස හදුන්වයි. 1957 වසරේ ලොව ප්‍රතම කෘතිම චන්ද්‍රිකාව යැවූ කාලයේ සිට මෙවැනි මිනිසා විසින් නිපදවනු ලැබූ චන්ද්‍රයින් සිය දහසකටත් වැඩි ගණනක් පෘථිවි කක්ෂයට යවා ඇත. අද වනවිට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේදී, යුද තොරතුරු ලබා ගැනීමේදී, පෘථිවිය හා පිටත අභ්‍යවකාශය ගවේෂණයේදී සහ විද්‍යාත්මක අධ්‍යනවලදි ඉතා වැදගත් කාර්යයක් මෙවැනි කෘත්‍රිම චන්ද්‍රිකා මගින් ඉටු කරනු ලබයි.

ඉංජිනේරුවන් හා විද්‍යාඥයින් විසින් විවිධ වර්ගවල චන්ද්‍රිකා නිර්මාණය කර තිබේ. මේවා එක් එක් විශේෂීත වූ අරමුණු හෝ කාර්යයන් සදහා නිර්මාණය කර ඇත. උදාහරණයක් ලෙස විදුලි සංදේශ හා රූපවාහිනී, ගුවන්විදුලි විකාශන ව්‍යාපාරවලදී, රේඩියෝ, රූපවාහිනී දුරකතන සහ අනිතර්ජාල හරහා දත්ත හුවමාරුවේදි සංඥා ආදිය රැහැන් රහිතව හෝ බාධාවකින් තොරව, ගෙන යාමට සන්නිවේදන චන්ද්‍රිකාවන් යොදා ගැනෙයි. ගමනාගමන කටයුතුවලදී යොදා ගන්නා චන්ද්‍රිකාවලට පොළොවේ ඉතා සියුම් තැන් පවා පෙනවා දීමේ හැකියාව ඇත. කාලගුණ චන්ද්‍රිකා මගින් කාලගුණ විද්‍යාඥයන්ට කාලගුණය පිලිබද දත්ත ලබා ගැනීමේ හැකියාව ලැබී ඇත. ඇමරිකා ඒකසත් ජනපද රජය රුසියානු චින රජයන් ද නිරීක්ෂන චන්ද්‍රිකා යොදා ගනිමින් යුද ක්‍රියාකාරීත්වයට වැදගත් වන තොරතුරු රැස්කර ගනී. විද්‍යාත්මක චන්ද්‍රිකා, පෘථිවිය නිරීක්ෂනය, පිටත ග්‍රහලෝක, සූර්යයා, ධූමකේතු උල්කාපාත සහ මන්දාකිණි නිරීක්ෂණය, වැනි අභ්‍යවකාෂයේ මූලික කාර්යයන් බොහොමක් සදහාත් යොදා ගනී.


RECOMMEND POSTS