විශ්ව රූ රැජින කිරුළ දකුණු අප්‍රිකාවට



විශ්ව රූ රැජින තේරීමේ තරගාවලිය ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවරදී පැවැත්වුණු අතර, 2017 විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළැඳියේ දකුණු අප්‍රිකාව නියෝජනය කළ සුරූපිනියයි.

22 හැවිරිදි ඇය දෙමී ලී නෙල් පෙටර්ස්ය. පෙටර්ස් ව්‍යාපාර කළමනාකාර උපාධිධාරිනියක ද වන්නීය. විශ්ව රූ රැජින ලෙස ඇය කිරුළු පැළැඳියේ පසුගිය 2016 වසරේ විශ්ව රූ රැජින බවට පත් වුණු අයිරිස් මිටැනේරේ අතිනි.

විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළැඳීමෙන් පසු පෙටර්ස්ට වරප්‍රසාද රැසක් ද සමඟ වසරක් පුරා වැටුපක් සහ නිව්යෝක් නුවර සුඛෝපබෝගී නවාතැනක් හිමිවෙයි. ප්‍රජා සත්කාර වැඩසටහන්වලට දායක වීමට ඇයට සිදුවෙයි.

මෙවර දෙවැනි ස්ථානය දිනුවේ ලතින් ඇමෙරිකාවට අයත් කොලොම්බියාව නියෝජනය කළ සුරූපිනී ලෝරා ගොන්සාලෙස්ය. තෙවැනියා ජමෙයිකාව නියෝජනය කළ ඩවීනා බෙනට්ය.

රටවල් 92 ක් නියෝජනය කරමින් සුරූපිනියෝ මෙවර තරගාවලියට ඉදිරිපත් වූහ.

මෙවර විශ්ව රූ රැජින තරගයේ විශේෂත්වයක් වන්නේ නේපාලය, ලාඕසය සහ කාම්බෝජය නියෝජනය කරමින් පළමු වරට සුරූපිනියන් තරගයට ඉදිරිපත් වීමය. මෙම රටවලින් මීට පෙර විශ්ව රූ රැජින සඳහා සුරූපිනියන් ඉදිරිපත් කර තිබුණේ නැත.

විශ්ව රූ රැජින තේරීමේ තරගාවලිය පැවැත්වූයේ ලාස් වේගාස් නුවර ප්ලැනට් හොලිවුඞ් කැසීනෝ රඟහලේය. එය සජීවීව ලොව පුරා විකාශය කෙරුණු අතර, ලක්ෂ ගණනක් එය මහත් උනන්දුවෙන් නැරැඹූ බව ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS