වයිරස බුදින සතෙක් හමුවෙලා



වයිරස සහ බැක්ටීරියා යනු ඇසට නොපෙනන ඉතා කුඩා ජීවීන්ය. මේ මොහොතේ අපට විනකරමින් සිටින කොවිඩ් 19 ද වයිරසයකි. ඇසට නොපෙනන අදිසි සතුරෙකි. කොරෝනා ලොව ව්‍යාප්ත වී අවසන්ය.

චීනයෙන් ආරම්භ වූ කොරෝනා නමැති වයිරස පවුලට අයත්, ‘කොවිඩ් 19’ වයිරසයට වයස් භේදයක් නැත. එය කොතරම් ඉක්මණින් පැතිරෙනවා ද යන්න ගැන අමුතුවෙන් කිව යුතු නැත. එපමණක් නොවෙයි, මේ වයිරසයේ බිහිසුණු බව නම්, කිසිදු රෝග ලක්ෂණයක් කිසිවක් නොපෙන්වා වයිරසය ආසාදනය වී තිබීමය. ‘කොවිඩ් 19’ වයිරසය අද හෙට ලොවෙන් තුරන් වී යන්නේ ද නැත.

වයිරසය ආසාදනය වීම වැළැක්වීමට සාර්ථක එන්නතක් නිපදවූවත්, අපට වයිරසය සමඟ තවත් වසර ගණනක් ජීවත් වීමට සිදුවනු ඇත. එහෙයින් අප කළ යුත්තේ වයිරසය සමඟ ජීවත් වීමට අනුගත වීමය. එසේ කීරීමට නම්, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑම, මුහුණු ආවරණ පැලඳීම සහ අත් පිරිසුදුව තබා ගැනීම ඉතා වැදගත්ය හේතුව ‘කොවිඩ් 19’ වයිරස විෂ බීජ සිරුරට රිංගන්නේ නාසයෙන්, මුඛයෙන් සහ ඇස්වලිනි. මීටරයේ දුර පවත්වාගෙන යෑම ඉතා වැදගත්ය. 

‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් කරුණු කාරණා මෙසේ වෙද්දී, වයිරස බුදින එසේත් නැතිනම් ආහාරයට ගන්නා ජීවීන් විශේෂයක් සිටින බව ඇමෙරිකාවේ මේන් ජනපදයේ පිහිටි බිගලෝව් සාගර ජීවීන් පිළිබඳ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ කණ්ඩායමක් පසුගිය දා අනාවරණය කළේය. මෙසේ වයිරස ආහාරයට ගන්නේ සාගරයේ වෙසෙන ඒක සෛලී ක්ෂුද්‍ර ජීවීන් විශේෂයකි.

විද්‍යාඥයන් මෙම ජීවීන් නම් කර ඇත්තේ ප්‍රොටිස්ට්ස් යනුවෙනි. මේන් ජනපදයට ඔබ්බෙන් පිහිටි මේන් බොක්ක ආශ්‍රිතවත්, ස්පාඤ්ඤයේ කැටලිනා ප්‍රාන්තයට ඔබ්බෙන්, මධ්‍යධරණී මුහුද ආශ්‍රිතවත් ප්‍රොටිස්ට්ස් ක්ෂුද්‍ර ජීවීන් ජීවත් වන බව පැවැසෙයි.

ස්වාභාවිකව පරිසරයේ වයිරස සහ බැක්ටීරියා මර්දනය සිදුවන්නේ මෙවැනි ඒක සෛල ජීවීන්ගෙන් බවත්, මිහිමත ජීවත් වන මිනිසා ඇතුළු සියලු ජීවීන්ට ප්‍රොටිස්ට්ස් ජීවීන් කරන්නේ විශාල සේවයක් බවත් විද්‍යාඥ කණ්ඩායම පෙන්වා දෙයි. කෙසේ නමුත් ගැටලුවක් ද පවතී. දිනෙන් දින සාගර දූෂණය වැඩි වෙද්දී, සාගරය අපවිත්‍රවෙද්දී පළමුවෙන්ම මියයන්නේ ප්‍රොටිස්ට්ස් වැනි ක්ෂුද්‍ර ජීවීන් යැයි ද පැවැසෙයි.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS