වතුරේ ජීවත්වන මී විශේෂයක්



පිහිනීමට දක්ෂ, වැඩි කාලයක් වතුරේ ගත කරන නව මී විශේෂ දෙකක් පසුගියදා ලොවට හඳුවා දෙනු ලැබුණි.

මේ නව මී විශේෂ ලොව වඩාත් දුර්ලභම ක්ෂීරපායීන් අතරට අයත් වෙනවා යැයි උන් සොයා ගැනීමට දායක වුණු ඇමෙරිකාවේ චිකාගෝ නුවර ක්ෂේත්‍ර කෞතුකාගාරයේ පර්යේෂකයෝ පවසති.

මෙම මී විශේෂ දෙක හමුවී ඇත්තේ කොංගෝවේ ද්‍රෝණියකිනි. කොංගෝව අප්‍රිකාවට අයත් රාජ්‍යයක් වන අතර කොංගෝ වනාන්තරවල තවමත් විද්‍යාවට ආගන්තුක සත්ව විශේෂ බොහොමයක් සිටින බව පැවැසෙයි.‍ කොංගෝවේ තෙතබරිත වනාන්තර තවමත් සම්පූර්ණයෙන් ම ගවේෂණය කර නොමැති බව සත්ව විද්‍යාඥයෝ පවසති.

ඉස්ගෙඩියන් බුදින මීයකුගේ සිතුවමක්

එහෙයින් මෙම නව මී විශේෂ සොයා ගැනීමට හැකිවීම සුවිශේෂී සිදුවීමක් යැයි ද සත්ව විද්‍යාඥයෝ වැඩිදුරටත් පැහැදිලි කර සිටිති. මෙම මීයන්ගේ පාද තරමක් දිගය. ඒ කුඩා දිය කඩිතිවල කිමිදෙමින්, පිහිනමින් කෘමි සතුන් ගෙම්බන්, ඉස්ගෙඩියන් සහ මාළුන් අල්ලා ගැනීමටය. මෙම මීයන්ගේ සමේ ලොම් සැකැසී ඇත්තේ ජලය උරා නොගන්නා ලෙසය. මෙම මීයන්ගේ සම නෙළුම් කොළයක් වැනිය.

කොංගෝ රාජ්‍යය දේශපාලනික වශයෙන් පවතින්නේ අස්ථාවර වූ තත්ත්වයකය. එහෙයින්, මී විශේෂ දෙකට විද්‍යාත්මක නම් තැබීම දිනෙන් දින ප්‍රමාද වෙමින් පවතින බව විද්‍යාඥයෝ පැහැදිලි කරති.

මී විශේෂ වාසය කරන ලොවෙන් හුදෙකලා වූ කොංගෝ ද්‍රෝණිය ගවේෂණයට ගිය ඇමෙරිකන් විද්‍යාඥ කණ්ඩායමට කොංගෝ සත්ව විද්‍යාඥයන්ගේ සහාය නොඅඩුව ලැබී ඇතැයි ද පැවැසෙයි.

අලුතින් සොයා ගැනීමට සමත් වුණු මෙම මීයන් විශේෂ නයිලෝපෙගාමිස් Nilopegamys යනුවෙන් හැඳින්වෙන මී විශේෂයට සමාන බව පැවැසෙයි. නයිලෝපෙගාමිස් මී විශේෂය සොයා ගැනීමට හැකිවී ඇත්තේ නයිල් නදියේ ආරම්භක ස්ථානයෙනි. එම ස්ථානය ඇත්තේ ඉතියෝපියාවේය. සත්ව විද්‍යාඥයන් නයිලෝපෙගාමිස් සොයා ගැණුනේ මීට අවුරුදු 93 කට පෙරය.

මීයන් සොයා ගිය ගවේෂණ චාරිකාව

අලුතින් සොයාගත් ජලජ මීයන්, නයිලෝපෙගාමිස්ගේ ඥාතීන් යැයි අනුමාන කෙරේ. අද වනවිට නයිලෝපෙගාමිස් මී විශේෂය මුළුමනින්ම ලොවෙන් සමුගෙන ගොස් ඇතැයි පැවැසෙයි. ඒ, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි.

එකිනෙකට වෙනස් සහ දුර්ලභ වුවත්, අලුතින් සොයා ගත් මී විශේෂය සහ නයිලෝපෙගාමිස් මී විශේෂය පොදුවේ අයත් වන්නේ කොලොමි මීයන් හෝ ස්ටිල්ට් මීයන් යන නමිනි. කොලොමි මීයන් හෝ ස්ටිල්ට් මීයන් කොංගෝ ද්‍රෝණියේත් බටහිර අප්‍රිකාවේත් දකින්න ලැබේ.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS