ලෝකයේ නිවැරදිම ඔරලෝසුව



ඇමරිකානු රජය පෙන්වා දෙන ආකාරයට, ඔවුන් වඩාත් නිවැරදි ඔරලෝසුවක් නිර්මාණය කර තිබේ. ඔවුන් පෙන්වා දෙන ආකාරයට, වසර මිලියන 300 ක් ගතවුවත්, මේ ඔරලෝසුවේ වේලාව තත්පරයකින් අංශුවකින්වත් වෙනස් වන්නේ නැත.

මෙම නව ඔරලෝසුව පරමාණුක ඔරලෝසුවකි. නව ඔරලෝසුව කරළියට ඒමට පෙර, නිවැරදිව වෙලාව දැක්වීම කළේ ද පරමාණු බලයෙන් ක්‍රියා කළ ඔරලෝසුවකි. කෙසේ නමුත් මේ නව ඔරලෝසුව, අනෙක් සියලු ඔරලෝසු පරදන්නේ, එය තුන් ගුණයකින් නිවැරදිව වෙලාව දක්වන නිසාය.

නව ඔරලෝසුව තනා ඇත්තේ ඇමරිකාවේ වානිජ දෙපාර්තමේන්තුව යටතේ ඇති ‘එන්.අයි.එස්.ටී. හෙවත් නිස්ට්’ යන කෙටි නමින් හැඳින්වෙන ජාතික ප්‍රමිති හා තාක්ෂණ ආයතනයයි. නව ඔරලෝසුව හැඳින්වෙන්නේ ‘එන්අයිඑස්ටී එෆ්-2’ කියාය. ඇමරිකාවේ සම්මත වේලාව දැන් සකසන්නේ මේ නව ඔරලෝසුව මගිනි. මේ පරමාණුක ඔරලෝසුව ඉතාමත් නිවැරදිව තත්පරයේ දිග මැනීමට භාවිත කරන්නේ සීසියම් පරමාණුය.

‘එන්අයිඑස්ටී’ විද්‍යාඥයන් ඔවුන්ගේ අලුත් ම ‘එන්.අයි.එස්.ටී. එෆ් 2’ සීසියම් පරමාණුක ඔරලෝසුවේ මුල්ම නිල කාර්ය සාධක දත්ත ප්‍රංශයේ පැරිස් නගරය අසල පිහිටුවා ඇති ‘බී.අයි.පී.එම්.’ හෙවත් අන්තර්ජාතික කිරුම් මිනුම් ආයතනය වෙත යැවීම සිදු කර තිබේ. මේ ඔරලෝසුව, වසර දහයක් තිස්සේ අත්හදා බැලීම් කරමින් නිපදවූවකි. ලොව පුරා පරමාණුක ඔරලෝසුවලින් දත්ත එක් රැස් කර, අන්තර්ජාතික වේලාව සකසන්නේ ප්‍රංශයේ බී.අයි.පී.එම්. ආයතනයයි. ඒ ඒ රටවල වේලාව සකස් කරන්නේ අන්තර්ජාතික සම්මත වේලාව අනුවය. බී.අයි.පී.එම්. ආයතනයේ දත්තවලට අනුව අද ලොව ඇති නිවැරදිම වේලාව දක්වන ඔරලෝසුව මේ ‘එන්.අයි.එස්.ටී. එෆ් 2’ ඔරලෝසුව බව පැවැසෙයි. සීසියම් පාදක කර ගත් පරමාණුක ඔරලෝසු අතරින් අලුත්ම නිර්මාණය ‘එන්.අයි.එස්.ටී. එෆ් 2’ ය.

1950 ගණන්වල සිටම එන්.අයි.එස්.ටී. ආයතනය මෙවැනි ඔරලෝසු නිර්මාණය කරයි. ඇමරිකාවේ මිනුම් අධිකාරිය ලෙස, එන්.අයි.එස්.ටී. ඉමහත් පරිශ්‍රමයක් දරන්නේ, නවීන සමාජයේ අත්‍යවශ්‍ය අංගයක් වූ වේලාව දැක්වීම වඩාත් නිවැරදිව කිරීමටය. පරමාණුක වේලාව දැක්වීම තව තවත් වැඩි දියුණු කරන්නේ එහෙයිනි. සෙලියුලර් ටෙලිෆෝන, ජී.පී.එස්. චන්ද්‍රිකා ග්‍රාහකයන්, විදුලිබල ජාලයන් වැනි එදිනෙදා භාවිත කරන තාක්ෂණික කාර්යයන් රැසකට ම පරමාණු ඔරලෝසුවල අති නිවැරදි වේලාව අත්‍යවශ්‍යය. වැඩි දියුණු කළ වේලාව දැක්වීම නිරන්තරයෙන් ම තාක්ෂණ වේදයේ දියුණුවට හා නවෝත්පාදනවලට මං සැලසූ බව ඓතිහාසික වශයෙන් පැහැදිලි කරුණකි.

මේ ‘එන්.අයි.එස්.ටී. එෆ් 1’ හා ‘එන්.අයි.එස්.ටී. එෆ් 2’ ඔරලෝසු දෙකෙන්ම කෙරෙන්නේ මූලික වේලාව දැක්වීමට ආධාර කිරීමය. වසරකට කීප වතාවක් මේවා සති කීපයක් සක්‍රිය කර එන්.අයි.එස්.ටී. වේලාව සකස් කෙරේ. ඒ සමගම එන්.අයි.එස්.ටී. ආයතනයේ ඇති, නිවැරදිව වේලාව දක්වන හයිඩ්‍රජන් මේසරයන් යෙදූ වානිජ ඔරලෝසු ද ලොව පුරා වේලාව නිවැරදි කර ගැනීමට සහය කර ගැනෙයි.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS