ලෝකයට ලොකුම තර්ජනය ඇමෙරිකාව



ලෝකයේ සෙසු රටවලට තර්ජනයක් වන අයුරින් ක්‍රියා කරන රටවල් අතර පළමු තැන සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදය යැයි නවතම ජනමත සමීක්ෂණයකින් හෙළි වී ඇත.

ගෝලීය මට්ටමින් පැවැත්වුණු එම ජනමත විමසුමට අනුව, මිසයිල අත්හදා බලන න්‍යෂ්ටික බලැති උතුරු කොරියාව පමණක් නොව, ඉරානය ද ඇත්තේ දෙවැනි සහ තෙවැනි ස්ථානවලය. මෙම ජනමත විමසුම පවත්වා ඇත්තේ ද ලෝකයේ රටවල් රැසක ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන එක්වෙමිනි.

ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති වීමෙන් පසු, ඇමෙරිකාවේ විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ලොව සෙසු රටවල පැහැදීමක් නොමැති බවත්, ඇමෙරිකාවේ සමීපතම අසල්වැසියා වන කැනඩාව පවා ඇමෙරිකාවට බියක් දක්වන බවත් ජනමත සමීක්ෂණයෙන් හෙළි වී ඇත.

ඇමෙරිකාව සම්බන්ධයෙන් පැහැදීමක් ඇත්තේ එක්සත් රාජධානිය, ජර්මනිය වැනි බටහිර යුරෝපා රටවල් කිහිපයක රජයයන් පමණක් වුවත්, එක්සත් රාජධානියේ වැසියන් සහ ජර්මන් වැසියන් ද ඇමෙරිකාව රුසියාවට සම්බාධක පැනැවීම ගැන අප්‍රසාදය පළ කර ඇතැයි ජනමත සමීක්ෂණයෙන් හෙළි වී ඇත.

ඇමෙරිකාව මේ වනවිට රුසියාවට සම්බාධක පනවා ඇත. ඒ, පසුගිය නොවැම්බරයේ පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයේදී රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ මෙහෙයවීමෙන්, ප්‍රතිඵල වෙනස් වීමක් සිදුවුණු බවට එල්ල වූ චෝදනා ඔප්පු වීමෙන් පසුවය. තමන්ට සහ තම රටට ඇමෙරිකාව එල්ල කරන චෝදනා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තරයේ ප්‍රතික්ෂේප කරයි.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් උත්සාහ ගන්නේ රුසියාව සමඟත් රුසියන් ජනාධිපති පුටින් සමඟත් යහපත් සබඳතා ඇති කර ගැනීමටය. කෙසේ නමුත් ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේත්, සෙනෙට් මණ්ඩලයේත් අනුමැතිය අනුව රුසියාවට පැනැවූ එම සම්බාධක කෙරෙහි ජනපති ට්‍රම්ප්ගේ පැහැදීමක් නැත. සම්බාධක පැනැවූ අවස්ථාවේ දී ට්‍රම්ප් කියා සිටියේ රුසියාව සමඟ යළිත් ගොඩනැගිය නොහැකි අයුරින් සම්බාධක බිඳී ගිය බවය.

(රොයිටර්/ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS