ලෝක සවාරිය නිමකර ‘මැණිකේ’ එයි



ශ්‍රී ලාංකික පර්යේෂකයන් කණ්ඩායමක් මෙරට පක්ෂි සංක්‍රමණ අධ්‍යයනයේ සුවිශේෂි මංසලකුණක් සනිටුහන් කිරීමට සමත්ව තිබේ. ඒ, GPS ටැග් කරනු ලැබූ හෙවුග්ලින් ගලුවියකු (Heuglin’s Gull) කිලෝමීටර් 20,000කට ආසන්න සංක්‍රමණ චක්‍රයක් සම්පූර්ණ කර යළි දිවයිනට පැමිණීමේ පර්යේෂණයක් මෙහෙයවමිනි.

ගලුවියන් මුහුදු කපුටන් යන නමින් ද සිංහල බසින් හැඳින්වෙයි. මොවුන් ලොව පුරා ජලාශ්‍රිතව දකින්න ලැබෙන බැඳි පටල සහික පාද ඇති පක්ෂි විශේෂයකි. ගලුවියන් විශේෂ කීපයකි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවයේ පර්යේෂණ කණ්ඩායම මෙහෙය වූ මෙම විස්මය ජනක චාරිකාවේ නිරත වූ හෙවුග්ලින් ගලුවියා (Heuglin’s Gull) නම් කර ඇත්තේ, මැණිකේ යන අන්වර්ථ නාමයෙනි. ඇයගේ සුරක්ෂිත පැමිණීමත් සමග අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ සවි කරන ලද පක්ෂීන් අතුරින් පූර්ණ සංක්‍රමණ චක්‍රයක් අවසන් කළ ප්‍රථම පක්ෂියා ලෙස මැණිකේ ඉතිහාසයට එක්වනු ඇත.

මන්නාරම සිට යුරෝපීය ආක්ටික් කලාපය කරා පියාසර කළ මැණිකේ උතුරු සංක්‍රමණික මාර්ගය හා නැවත ශ්‍රී ලංකාවට පැමිණි දකුණු සංක්‍රමණික මාර්ගය එක්ව ගත් කළ සංක්‍රමණ චක්‍රයේ සම්පූර්ණ දුර කිලෝමීටර් 19,360 කි. 2021 අප්‍රේල් මාසයේදී මැණිකේට 'අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ' සවිකිරීම (Satellite-Tagging) සිදු කෙරුණේ, මන්නාරම දූපතේදී ය.

පුරා දින 20 ක් මන්නාරම දූපත සහ රාමාගේ පාලම ආශ්‍රිතව නැවතී සිටි ‘මැණිකේ’ අප්‍රේල් මස අග භාගයේදී මන්නාරමෙන් පිටත් වූ බව පර්යේෂණ කණ්ඩායම පැවසී ය. තරමක වෙනස් මාර්ගයක් භාවිත කරමින් යමල් අර්ධද්වීපයට ළඟා වූ මැණිකේ යමල් අර්ධද්වීපයේ කැදලි තනන්නට පෙර යුරෝපියානු රුසියාවට ඇතුළු වී ඇත්තේ, යූරල් කඳු තරණය කරමිනි.

ජුනි සිට අගෝස්තු දක්වා වූ ආක්ටික්හි ග්‍රීෂ්ම සෘතුවේදී අභිජනනයේ නිරත වූ මැණිකේ, ආපසු හැරී පළමුවෙන්ම දකුණු සංක්‍රමණය ආරම්භ කරන්නේ, අගෝස්තු අගභාගයේදී ය. ආක්ටික් කලාපයේ තම ග්‍රීෂ්ම නිවහනෙන් ප්‍රථමයෙන් පිටත් වූ මැණිකේ, ශ්‍රී ලංකාවෙන් පිටත්ව මාස 6 කට සහ දින 9 කට පසු පසුගිය නොවැම්බර් 4 වැනි දින, තම සිසිර ගමනාන්තය වූ ශ්‍රී ලංකාවේ මන්නාරමට යළි ළඟා වූවා ය.

මැණිකේගේ මෙම ගමන තවත් සුවිශේෂී වන්නේ, ඇය ශ්‍රී ලංකාව සහ යුරෝපා ආක්ටික් කලාපය අතර පවතින පාරිසරික සබැඳියාවට ප්‍රථම සාක්ෂිය ද සපයන බැවිනි. මෙම සුවිශේෂි චාරිකාව සඳහා මැණිකේ ගෙවූ කාලය සහ දුර උතුරු සංක්‍රමණයේ දී පුරා දින 35 ක් කිලෝමීටර 7880ක දුරක් ගමන් කළ මැණිකේට දකුණු සංක්‍රමණය සඳහා දින 91 ක් ගත වූ අතර, මෙහි දී ඇය සම්පූර්ණ කළ දුර කිලෝමීටර 11,480 කි.

ඒ අනුව, මන්නාරමේ සිට ආක්ටික් දක්වා සහ නැවත මන්නාරම දක්වා දිවුණු සම්පූර්ණ චාරිකාව තුළදී මැණිකේ ගෙවා දැමූ දුර , කිලෝමීටර් 19,360 කි. හියුග්ලින් ගලුවියා යනු ශ්‍රී ලංකාවේ වයඹ සහ උතුරු දිග වෙරළබඩ ප්‍රදේශවල පමණක් දක්නට ලැබෙන මනහර, සාගරවාසී සංක්‍රමණික පක්ෂියෙකි.

හෙවුග්ලින් ගලුවියා පෙනුමෙන් බොහෝ සමාන වූ විශේෂ පහකින් සමන්විත Lesser Back-backed Gull (Larus fuscus) යන ගලුවියන් කාණ්ඩයට අයත් එක් විශේෂයක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවයේ පර්යේෂණ කණ්ඩායම පවසයි.

තව ද පර්යේෂණ කණ්ඩායම පවසන්නේ දකුණු ආසියාවේ අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ තාක්ෂණය (satellite tracking technology) ඔස්සේ සලකුණු කරන ලද, ප්‍රථම හෙවුග්ලින් ගලුවියන් අතරින් 'මැණිකේ' සිය ගෝලීය සංචාරයේදී එක් රැස් කර ගත් අතිවිශාල දත්ත සමුදාය, ඉමහත් වටිනාකමක් උසුලන බව ය.

මෙම පර්යේෂණය මෙහෙයවනු ලබන කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවයේ පර්යේෂණ කණ්ඩායමට, මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න, මහාචාර්ය සරත් කොටගම සහ ආචාර්ය උපාධි අපේක්ෂිකා ගයෝමිණි පනාගොඩ යන අය ඇතුළත් වෙති.

පර්යේෂණය සඳහා Chinese Academy of Sciences, Palmyrah House (Pvt) Ltd, Vayu Resort සහ Wetlands International යන ආයතන දායකත්වය සපයා ඇති අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ද පර්යේෂණය සඳහා සහයෝගීතාව සපයා තිබේ.


RECOMMEND POSTS