ලොව හුදෙකලාම හස්තියා: කාවන්ට මිතුරෙක්



ශ්‍රී ලංකාවෙන් පකිස්තානයට පරිත්‍යාග කර එරට ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයෙහි පීඩාකාරී අන්දමින් ජීවත් වන ‘කාවන්’ හස්තියා හැඳින්වෙන්නේ‍ ‘ලෝකයේ හුදෙකලා අලියා’ යනුවෙනි. කාවන්  කාම්බෝජයේ  පිහිටි අභය භූමියක් වෙත රැගෙනයාමට එරට බලධාරීන් මේ වන විට පියවර ගනිමින් සිටී.

තනිව ජීවත්වීම නිසා මානසික අවපීඩන තත්ත්වයන්ගෙන් පෙළෙන කාවන් දැඩි ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන හස්තියකු බැවින් එම සත්වයා හීලෑ කිරීමට මේ වන විට එරට බලධාරීන් කටයුතු කරමින් සිටී.

කාවන්ට පවතින රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාදීම මේ වන විට ඇරඹී ඇති අතර ඒ සමඟ කාවන්ට මිතුරකු ද හමුවී ඇතැයි වාර්තා වේය. ඒ ප්‍රතිකාර ලබාදීමට පැමිණි පශු වෛද්‍යවරයෙකි.

දැඩි ප්‍රචණ්ඩ හස්තියකු වූ කාවන් සමීපයට යාමට අමීර් කලීල් නැමති එම වෛද්‍යවරයාට හැකිවී ඇතැයි ද වාර්තා වන අතර කාවන් හා එම වෛද්‍යවරයා ඉතා සමීපව සිටින ඡායාරූප ද සමාජ මාධ්‍යවල පළ වී තිබේ.

කාවන් හස්තියා පිළිබඳව පසුගිය කාලයේ දැඩි කතාබහක් ඇතිවූයේ එම සත්වයා ඉස්ලාමාබාද් හි මාගසාර් සත්වෝද්‍යානයෙන් නිදහස් කර සුදුසු සත්වෝද්‍යානයකට රැගෙන යන ලෙස එරට මහාධිකරණය ලබාදුන් නියෝගයක් හේතුවෙනි.

කාවන් වාසය කළ ඉස්ලාමාබාද් හි ‘මාගසාර්’ සත්වොද්‍යානයයෙහි ඇති අවිධිමත් පරිපාලය හේතුවෙන් එය වසා දමන ලෙස ද මේ වන විට අධිකරණය නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

තම සහකාරිය වූ සහේලිගේ අභාවයෙන් පසු 2012 වසරේ සිට දිගු කාලයක් තනිව ජීවත් වන කාවන් දැඩි මානසික පීඩනය හේතුවෙන් ඇතිවූ කාංසා තත්ත්වයකින් මෙන්ම පාදයේ ආබාධයක් හා මන්දපෝෂණ තත්ත්වයක් ආදී රෝගයන්ගෙන් පීඩා විඳිමින් සිටී.

මේ හේතුවෙන් කාවන් කාම්බෝජියාවට ගෙනයාම ප්‍රමාද වී ඇති අතර මේ වන විට ලැබෙන ප්‍රතිකාර හේතුවෙන් කාවන් සුව අතට හැරෙමින් සිටින බව සඳහන්ය.

වෛද්‍ය අමීර් සමඟ ඉතා කුළුපග වී ඇති මෙම හස්තියා මේ වන විට උදෑසනම තමා සිටින මඩුවෙන් පිටතට පැමිණ වෛද්‍යවරයා එනතුරු මග බලා සිටින බව ද වාර්තා වේ.

මානසික පීඩාවන්ගෙන් පෙලෙන කාවන් නිරන්තර හිස දෙපස වැනීම ආදී ලක්‍ෂණ පෙන්නුම් කරන බවත්, කාවන් වෙනත් සුදුසු ස්ථානයකට ගෙනයාමේ කටයුතු භාරව කටයුතු කරන නිලධාරියා වන ෆ්‍රෑන්ක් සිනාත්‍රා හා වෛද්‍ය අමීර් එක්ව සංගීත චිකිත්සාවක් මගින් එම සත්වයාට මානසික ප්‍රතිකාර ලබාදීමද ආරම්භ කර ඇත.

අලි ඇතුන්ගේ බරපතල මානසික රෝගී ලක්ෂණයක් වන හිස ගසාගැනීමේ රෝගී තත්ත්වයෙන් පෙළෙන කාවන් වර්තමානයේ දී හිස ගසා නොගන්නා එකම අවස්ථාව වන්නේ වෛද්‍ය අමීර් හා ෆ්‍රෑන්ක් සිනාත්‍රා ගීතයක් ගායනා කරන අවස්ථාවය. කාවන් කලබලයට පත්වන ඕනෑම අවස්ථාවක  කාවන් වඩා ප්‍රිය කරන ගීතයක් ගායනා කර එම සත්වයා සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට වෛද්‍ය අමීර්ට මේ වන විට හැකියාව ලැබී තිබේ.

මීට පෙර සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි ප්‍රදේශවාසීන් කවාන්ගේ වෙනස ගැන බොහෝ විට මවිතයට පත් වන බව ද සඳහන් වේ.

අභයභූමියකට යැවීමට පෙර කාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය තක්සේරු කිරීම ෆෝර් පව්ස් ඉන්ටර්නැෂනල් ආයතනය, ඉස්ලාමාබාද් වනජීවී මණ්ඩලය සහ පශු වෛද්‍යවරුන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර සිටී.

කාම්බෝජයට රැගෙනයාම සඳහ කාවන් අලින් රැගෙන යා හැකි විශේෂ කූඩුවක රැගෙනයාමට සිදුවන නිසා තවදුරටත් හීලෑ කර පුහුණු කිරීමට සිදුවන බවත් එම කණ්ඩායම සඳහන් කර තිබේ. එම පුහුණුවෙන් පසු කාවන්ට කාම්බෝජයේ අභය භූමියක නිදහස් දිවියක් උරුම වනු ඇත.

ශ්‍රී ලංකාවෙන් පකිස්තාන රජයට 1985 වසරේදී ලබාදී ඇති කාවන් මේ වන විට 35 හැවිරිදි වියෙහි පසුවන අතර එම හස්තියා 2012 වසරේ සිට එම සත්වෝද්‍යානයේ ඉතා පීඩාකාරී අන්දමින් තනිව ජීවත්ව ඇත.

කාවන්ගේ, සහාකාරිය ලෙස 1990 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයට යැවූ ”සහේලි” නම් ඇතින්න 2012 දී මියයාමෙන් පසු කාවන් හස්තියා මෙසේ 08 වසරක් පුරා තනිවම ඉස්ලාමාබාද් සත්ව උද්‍යානය තුල ජීවත්ව තිබෙන්නේ නිසි පහසුකම් හෝ නොමැතිව බව වාර්තා වේ.

මෙම හස්තියට යහපත් ස්ථානයක් ලබා දීමේ අරමුණින් ඇමෙරිකානු ගායන ශිල්පිනියක් වන චේර් ඇතුළු ස්වේච්ජා සංවිධාන එකමුතුවක් දැවැන්ත විරෝධාතාවයක් ආරම්භ කර පාකිස්තාන් අධිකරණයට පෙත්සමක් ගොනුකර් තිබූ අතර එය විභාග කළ පාකිස්තාන මහාධිකරණය කාවන් සුදුසු ස්ථානයකට යොමු කිරීමට එරට වනජීවී නිලධාරීන්ට නියෝග කර තිබිණි.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS