ලොව මාරාන්තික සතාගේ කතාව



මිනිස් අපට වින කරන ලොව මාරාන්තිකම බිහිසුණු සත්වයා මදුරුවා බව ඔබ දන්නවාද? මදුරුවන් නිසා සිදුවන මරණ සංඛ්‍යාව සුළුපටු නොවෙයි. ඩෙංගු, මැලේරියා, කහ උණ සහ එන්සෙපලයිටිස් බෝ කරන්නේ මිලිග්‍රෑම් දෙකක්වත් බර නැති පුංචි මදුරුවාය.

අප සැමවිටම කළ යුත්තේ මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමය. ඩෙංගු වැනි මාරාන්තික වයිරස උණ රෝගවලින් බේරීමට නම් කළ යුතුවන්නේ එයයි.

ඔබ දන්නවාද? ඔබේ සිරුරෙන් නිකුත් වන කාබන්ඩයොක්සයිඞ් ප්‍රමාණය වැඩි නම්, මදුරුවන් වැඩි වැඩියෙන් ඔබට ආකර්ශණය වන බව. එයින් අදහස් වන්නේ, ඔබ වැඩියෙන් මදුරු දෂ්ටනයන්ට ලක් වන බවය.

මදුරුවන්ගෙන් ලේ බොන්නේ ගැහැනු මදුරුවා පමණය. ඒ, බිත්තර දැමීමට අවශ්‍ය බැවිනි. පිරිමි මදුරුවන් මල්වල යුෂ උරා බීම සිදු කරයි. කාබන්ඩයොක්සයිඞ් යනු මදුරු ආකර්ෂණයකි. මීටර් 50 ක දුරකින් සිට පවා මදුරුවන්ට කාබන්ඩයොක්සයිඞ් හඳුනාගත හැකිවෙයි. මදුරුවන් අපේ කන් වටේ කැරැකෙන්නේ එහෙයිනි. මධ්‍යසාර පානය කරන්නන් පමණක් නොවෙයි, සිරුර වෙහෙසමින් ව්‍යායාමවල යෙදෙන්නන් වැඩියෙන් මදුරු දෂ්ටනයට ලක් වෙයි. මධ්‍යසාර පානයේ දී මෙන්ම, ව්‍යායාමවල යෙදෙද්දී ද සිරුරේ පරිවෘත්තීය මට්මට ඉහළ යයි. මෙය මදුරු ආකර්ෂණයකි.

ඔබ ගැබිනියක නම්, මදුරු දෂ්ටනය වැඩියෙන් සිදුවෙයි. සාමාන්‍ය කාන්තාවන්ට වඩා ගැබිනියන් දෙගුණයකින් මදුරු දෂ්ටනයට ලක් වෙති. ඊට හේතුව, ගැබිනි කාන්තාවන් සාමාන්‍ය අයට වඩා සියයට 21 ක ප්‍රතිශතයක් කාබන්ඩයොක්සයිඞ් ප්‍රශ්වාස කිරීමය. එමෙන්ම ගැබිනි කාන්තාවන්ගේ ශරීර උෂ්ණත්වය ද තරමක් ඉහළ අගයක් ගනී. ශරීර උෂ්ණත්වය වැඩි නම්, මඳුරුවන්ට ඔබ සොයා ගැනීම පහසුය. දහඩිය වැඩියෙන් පිටවන්නේ නම්, මදුරුවන් වැඩි වැඩියෙන් ඔබට ළං වෙයි. දහඩියේ අඩංගු වන්නේ ලැක්ටික් අම්ලය. ලැක්ටික් අම්ලවලට මදුරුවෝ වඩාත් ප්‍රිය කරති. සිරුර වෙහෙසා හොඳින් ව්‍යායාම කරන විට, ලැක්යික් අම්ල වැඩිවෙයි. ඒ වගේමයි සිරුර වඩාත් උණුසුම් වෙයි.

මදුරුවන් හැම ලේ වර්ගයකටම එක සේ ප්‍රිය කරන්නේ නැත. උන් වඩාත් ප්‍රිය කරන්නේ ‘ඕ’ රුධිර ගණයටය. ඔබට තිබෙන්නේ ඕ ගණයේ රුධිරය නම්, අනෙක් රුධිර ගණ (ඒ සහ බී) ඇති අයට වඩා ඔබ දෙගුණයක් වැඩියෙන් මදුරුවන්ට ආකර්ෂණය වෙයි. අපේ සමේ ස්වභාවිකව බැක්ටීරියා ජීවත් වෙයි. මේ බැක්ටීරියා අපට අනතුරක් කරන්නේ නැත. මෙවැනි ඇතැම් බැක්ටීරියා ද මදුරුවන් වැඩියෙන් ආකර්ෂණය කිරීමට හේතුවක් වන බව තහවුරු වී තිබේ. සිරුරේ මයික්‍රෝබ සහ රසායනික ද්‍රව්‍ය එක් වීමෙන්, සෑම කෙනකුටම ආවේණික ශරීර ගන්දයක් ඇත. මෙවැනි ඇතැම් ශරීර ගන්ධයන්ට මදුරුවන් වැඩියෙන් ආකර්ශණය වෙයි.

පැහැදිලිවම මදුරුවෝ කරදරකාරයෝය. මදුරුවන්ගේ ආහාර රටාව මදුරු විශේෂ අතරින් වෙනස් වෙයි. විවිධ මදුරු විශේෂවල දෂ්ටනයන් ද විවිධය. මැලේරියා පතුරුවන මදුරුවන් ලිම්බර්ගර් චීස්වලට වඩාත්  ආකර්ෂණය වෙයි. මේ චීස්වලින් නිකුත් වන්නේ සුවිශේෂී ගන්ධයකි. ඒ, එම චීස්වල ඇති විශේෂ බැක්ටීරියාව නිසාය. අපේ පාදයේ ඇගිලි අතරේ ජීවත් වන බැක්ටීරියාවලට මේ බැක්ටීරියා බෙහෙවින් සමානය. කකුල් ගඳ ගසනවා නම්, ඒ අය වැඩියෙන් මදුරු දෂ්ටනයට ගොදුරු වෙයි. ඊට අමතරව, දීප්තිමත් වර්ණවලට වඩා අඳුරු වර්ණවලට මදුරුවන් වැඩියෙන් ඇදී එයි. නිවුන්නුන්ට ඇත්තේ සුවිශේෂී ජානමය සැකැසුමකි. මෙම සුවිශේෂී ජාන සැකසුම අනුව, ඇතැම් නිවුන්නුන්ට මදුරුවන් ආකර්ෂණය වන්නේ නැත. සමහරුන්ට වැඩියෙන් ආකර්ෂණය වෙයි.

සැමවිටම පුද්ගලයන් 10 දෙනකුගෙන් එක් අයකුට මදුරුවන් ළං වන ප්‍රතිශතය වැඩිය. සියයට 20 ක ප්‍රතිශතයකට මදුරුවන්ගෙන් බේරීමට හැකියාව නැත. අනෙක් අයට වඩා මෙම සියයට 20 වැඩියෙන් මදුරු දෂ්ටනයන්ට ලක්වෙයි. සමහරුන්ට ස්වභාවිකව මදුරු විකර්ෂණ සිරුරේ ඇත. ඔබේ සිරුරේ කොලස්ට්‍රෝල් මට්ටම යහමින් පවතින්නේ නම්, ස්ටෙරොයිඞ් හෝමෝන හොඳින් ක්‍රියාකාරී වෙනවා නම්, සමට යටින් ස්වභාවික ආකාරයට මදුරු විකර්ෂණයක් නිර්මාණය වෙයි.

ලුසිත ජයමාන්න
‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS