ලොව උසම කන්දේ අබිරහස



ලොව උසම ශිඛරය ලෙස පිළිගැනෙන්නේ හිමාල අඩවියේ පිහිටි ‘එවරස්ට්’ ශිඛරයයි.

ඒත් අලුත්ම ගවේෂණ අනුව ලොව උසින් වැඩිම ශිඛරය එවසර්ට් නොවන බවත්, උසින් වැඩිම ශිඛරය ඇත්තේ ලතින් ඇමෙරිකාවට අයත් ඉක්වදෝරයේ බවත් පැවැසෙයි. උසින් වැඩිම ශිඛරය ඉක්වදෝරයේ පිහිටි චිම්බොරාසෝ නමැති සක්‍රීය නොවන ගිනි කන්දය. ඒ අනුව, ලොව උසම ශිඛරය සැබැවින්ම කුමක්ද යන්නැයි මේ වනවිට අබිරහසක් වී ඇත.

1953 වසරේ, ශ්‍රීමත් එඞ්මන්ඞ් හිලරි සහ ටෙන්සින් නෝර්ගි, පළමුවෙන්ම එවසර්ට් ශිඛරය ජය ගැනීමෙන් එසේත් නැතිනම් මුදුනට යෑමෙන් පසු, එවරස්ට් ශිඛරය ලොව කඳුනගින්නන්ගේ අවධානය දිනා ගැනීමට සමත් විය. දිවි පරදුවට තබා එවරස්ට් තරණයට යන බොහෝ දෙනා යළි ආපසු පැමිණෙන්නේ නැත. එසේ එවරස්ට් තරණයට ගොස් අධික සීතල දරා ගත නොහැකිව, ගල් වී, මමීකරණයf ලක් වුණු ඇතැමුන්ගේ මළසිරුරු පවා හිමෙන් වැසී යන්නේ සොයා ගැනීමට නොහැකි ලෙසිනි. ඇතැමුන්ගේ මළසිරුරු වසර ගණනාවකට පසු හමුවන අවස්ථා පවා දැනගන්න ලැබී ඇත.

ලොව උසම ශිඛරය තරණය කරනවා යැයි සිතමින්, බොහෝ කඳු නගින්නන් එවරස්ට් තරණය කරන නමුත් එය වැරැදි බවත්, ලොව උසම ශිඛරය ඉක්වදෝරයේ චිම්බොරාසෝ යමහල එසේත් නැතිනම් ගිනි කන්ද බවත් භූගෝල විද්‍යාඥයෝ පැහැදිලි කරති. කන්දක උස මැනීම සිදුවන්නේ පෘථිවි කබොල්ලට යටින්, පාථිවියේ මධ්‍යයට වන්න එම කන්ද ආරම්භ වන ස්ථානයේ සිටය. ඒ අනුව, වඩා උස එවරස්ට් නොව චිම්බොරාසෝ ශිඛරයයි. පෘථිවිය ගෝලාකාර යැයි පෙනුනත්, පෘථිවයේ භූ පිහිටීම ගෝලාකාර නැත. මුහුදු මට්ටමේ සිට බලද්දී නම්, ඉක්වදෝරයේ චම්බොරාසෝ කන්දේ අඩි 20,500 ක් උසය. ඒ අනුව බලද්දී, එය එවරස්ට් කන්ද වඩා අඩි 8,529 ක් උස අඩුය. කෙසේ නමුත් පෘථිවි කබොල්ලටත් යට සිට උස බලද්දී උස වැඩි එවරස්ට් නොව චම්බොරාසෝ ය. චිම්බොරාසෝ ගිනි කන්ද පිහිටා ඇත්තේ සමකයට වඩාත් ළඟිනි. එවරස්ට් කන්ද ඇත්තේ සමකයට දුරින් උතුරු දෙසිනි. පෘථිවියේ මැද සිට උස මනිද්දී, එය කෙරෙන්නේ සමකයේ සිටය. ඒ අනුව, වඩා උස චිම්බොරාසෝ ගිනි කන්දය.

හිමාල අඩවියට, නේපාලයට සහ ටිබටයට අයත් එවරස්ට් ශිඛරය මුහුදු මට්ටමේ සිට උස අඩි 29,029 කි. පෘථිවි මධ්‍යයේ සිට උස සැතපුම් 3,965 කි. කන්ද මුදුනට යෑමට ගත වන කාලය දින 40 කි. (ඒ, අතර මැද පිහිටි ප්‍රධාන කඳවුරේ සිටය. මෙය හැඳින්වෙන්නේ බේස් කෑම්ප් යනුවෙනි.) පළමුවෙන් එවරස්ට් ශිඛර තරණය සිදුවූයේ 1953 වසරේදීය. චිම්බරාසෝ යමහල් ශිඛරය පිහිටා ඇත්තේ ඉක්වදෝරයට අයත් අන්දීස් කඳු කරය පිහිටි භූමි ප්‍රදේශයටය. මුහුදු මට්ටමේ සිට චිම්බරාසෝ යමහලේ උස අඩි 20,500 කි. පෘථිවි මධ්‍යයේ සිට උස සැතපුම් 3,967 කි. කන්ද තරණයට ගතවන කාලය දින 14 කි. (එවරස්ට් මෙන් නොව, දැඩි සීත කාලගුණයක් මෙම ගිනි කන්ද ආශ්‍රිතව නොතිබීම ගමන ඉක්මන් කරයි.) පළමුවෙන්ම මෙම කන්ද තරණය කළේ 1802 වසරේදීය. පළමුවෙන්ම කන්ද තරණය කළේ එඞ්වර්ඞ් වයිම්පර්, ලුවිස් කානෙල් සහ ජෝන් ඇන්ටෝන් කානෙල් ය.

මෙම කරුණු කාරණා පසුගිය දා අනාවරණය වූයේ, චාල්ස් මරී දෙ ලා කොන්ඩෙමීන්, චිම්බොරාසෝ ගිනි කන්ද තරණයට ගොස් මිය යෑමේ 208 වැනි සංවත්සරයට සමගාමීවය. එම අසාර්ථක වික්‍රමය සිහි ගන්වමින්, ප්‍රංශයේ ‘සංවර්ධනය සඳහා පර්යේෂණ’ නමැති ආයතනයට සම්බන්ධ කඳු නගින්නෝ කණ්ඩායමක් ඉතා සාර්ථකව ගිනි කන්දේ මුදුනට ගියහ. එම කඳු නගින්නන් චිම්බොරාසෝ තරණය කළේ ගවේෂණ චාරිකාවකට එක් වෙමින් මිස, වාර්තා තැබීමට නොවන බව පසුව වාර්තා විය. පිරිස චිම්බොරාසෝ මුදුනට ගියේ ඉකුත් පෙබරවාරි පස් වැනිදාය. ඔවුහු චන්ද්‍රිකා තාක්ෂණය සහ ගෝලීය ස්ථානගත පද්ධති යොසා ගෙන කන්ද තරණය කරමින් දත්ත එක් රැස් කර ගත්හ. ගිනි කන්දේ සැබෑ උස ඉතා නිවැරදිව ගණනය කෙරුණේ ඒ අනුවය.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS