ලොකුම ඩයිනසෝරයා හමුවෙලා



ඩයිනසෝරයින් අතර සිටි දැවැන්තයා තමන්ට සොයා ගැනීමට හැකිවුණු බවත්, මෙම ඩයිනසරෝය යෝධයා සමඟ සන්සන්දනය කරද්දී, ඩයිනසෝර ලොවේ රජු ලෙස සැලකෙන ‘ටයිරැනොසෝරස් රෙකස්’ ක-ුරුමිට්ටකු බවත් පොසිල විද්‍යාඥයෝ අනාවරණය කළහ.

ටොන් 76 ක් බරැති, ශාක භක්ෂකයකු වන මෙම දැවැන්තයා බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයකටත් වඩා බරය. විද්‍යාඥයන් මෙම නව දැවැන්තයා නම් කර ඇත්තේ ‘පැටගෝටයිටන් මයෝරම්’ යන නමිනි. ඊට හේතුව මේ යෝධයාගේ පොසිල අස්ථි හමුවී ඇත්තේ පැටගෝනියා පළාතෙනි. ‘ටයිටන්’ යනු ග්‍රීක බසින් දැවැන්තයා යන්නය.

පැටගෝටයිටන් මයෝරම්ගේ අස්ථි පළමුවෙන්ම සොයා ගැනුනේ දකුණුදිග ආර්ජන්ටිනාවෙනි. ඒ, 2012 වසරේය. කෙසේ නමුත් පැටගෝටයිටන් මයෝරම් ඩයිනසෝරයන් අතර දැවැන්තයා යැයි තහවුරු කිරීම කර ගැනීම සිදුවූයේ වසර ගණනාවක තිස්සේ කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙසය. පැටගෝටයිටන් මයෝරම්, ‘ටයිටනසෝරස්’ පවුලට අයත් වෙයි.

ශාක භක්ෂක, දිග බෙල්ලක් ඇති ඩයිනසෝරයෝ රැසක් ‘ටයිටනසෝරස්’ පවුලට අයත් වෙති. “ටයිටනසෝරස් පවුලේ ඩයිනසෝරයන් සැවොම අති විශාලයි. ඒත් ඒ, පවුලට අයත් ඩයිනසෝරයන් අතරින් මෙතෙක් අපට හමුවුණු යෝධයා පැටගෝටයිටන් මයෝරම් බව සිදුකළ අධ්‍යනවලින් අපට තහවුරු වී තිබෙනවා” යැයි ආජන්ටිනාවේ එගිඩියෝ ෆරුග්ලියෝ පොසිල කෞතුකාගාරයේ මහාචාර්ය දියේගෝ පොල් කියයි. ඔහු මේ බව කියා සිටියේ සිටියේ පැටගෝටයිටන් මයෝරම් සම්බන්ධයෙන් නව අධ්‍යයන වාර්තාවක් ද ප්‍රකාශයට පත් කරමිනි.

පැටගෝටයිටන් මයෝරම් ඩයිනසෝරයන් හය දෙනකුගේ පොසිල අස්ථි කොටස් විද්‍යාඥයන්ට හමුවී ඇත. ඒවා අවුරුදු මිලියන 100 ක් පැරැණි යැයි පැවැසෙයි. ඒ, එම පොසිල අවට තිබූ අළු සහ දූවිලි අංශු පරීක්ෂා කිරීමෙන් යැයි පොල් පැහැදිලි කරයි. හොඳින් වැඩුණු පැටගෝටයිටන් මයෝරම් ඩයිනසෝරයකුගේ දිග මීටර් 37 කි. උස (උරහිස් අසලින්) මීටර් 6 කට වැඩිය. හිසේ සිට වල්ගය කෙළවර තෙක් දිග මීටර් 35 කි. මේවනවිට පැටගෝටයිටන් මයෝරම් දැවැන්තයකුගේ දැවැන්ත ඇටසැකිල්ලක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. ඇට සැකිල්ල කොතරම් විශාල ද කීවොත් මෙම ඩයිනසෝරයාගේ හිස ඇත්තේ ඇට සැකිල්ල තබා ඇති ශාලාවේ නොව ඉන් පිටතට වෙන්නටය. 

“ඩයිනසෝර ලොවේ රජු ලෙස සැලකෙන්නේ මාංශභක්ෂක ටයිරැනොසෝරස් රෙක්ස් හෙවත් ටී රෙක්ස්. ඒත් ටයිටනසෝරස් පවුලේ ඩයිනසෝරයන් සමඟ සැසැදීමේදී ටී රෙක්ස් පුංචි කුරුමිට්ටකු තරම්. හරියට අලියකු සහ පූසකු වැනියි” යැයි ද මහාචාර්ය දියේගෝ පොල් වැඩිදුරටත් පැහැදිලි කරයි. ටයිටනසෝරස් පවුලේ ඩයිනසෝරයන් ගැන විද්‍යාඥයන් වසර ගණනාවක් තිස්සේ දැන සිටි නමුත් පැටගෝටයිටන් මයෝරම් ඔවුන්ට අලුත් අත්දැකීමක් විය.

ටයිටනසෝරස් පවුලේ නව විශේෂයක් විදියට විද්‍යාඥයන් මෙම පැටගෝටයිටන් මයෝරම් හඳුන්වා දෙයි. මීට පෙර ඩයිනසෝර ලොවේ දැවැන්තයා විදියට සැලකුණේ ‘ආජන්ටිනෝසෝරස්’ නමැති ටයිටනසෝරස් ඩයිනසෝරයාය. ‘මේ දැවැන්තයන් බිහිසුණු අය නොවෙයි. ඔවුන් ශාක භක්ෂක අහිංසකයෝ. ඒ වගේමයි ගමන් කළේ බොහොම හෙමින්. උන් රෞද්‍රයි මම හිතන්නේ නැහැ’ යැයි දියේගෝ පොල් කියයි. ‘වැටුණොත් නැගිටීම, ඇවිදීම සහ දිවීම මේ දැවැන්තයන්ට අභියෝගයක් වන්න ඇතැයි ද මහාචාර්යවරයා පැහැදිලි කරයි.

“සමහරවිට මිහිමත ඇවිදගිය දැවැන්තම සත්වයා පැටගෝටයිටන් මයෝරම් වෙන්න බැරි නැහැ” යැයි ඇමෙරිකාවේ මේරිලන්ඞ් විශ්ව විද්‍යාලයේ පොසිල විද්‍යාඥවරයකු වන තෝමස් හෝල්ට්ස් කියයි. ඔහු මේ බව දන්වා ඇත්තේ නව අධ්‍යනය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඊ මේල් පණිවුඩයක් එවමින්ය. තෝමස් හෝල්ට්ස්, පැටගෝටයිටන් මයෝරම් සම්බන්ධයෙන් සිදු කළ නව අධ්‍යනයනට සම්බන්ධ වූ අයකු නොවන බව ද පැවැසෙයි. පැටගෝටයිටන් මයෝරම් ගැන විස්තර දැනගත් තවත් පොසිල විද්‍යාඥවරියක වන ක්‍රිස්ටි කරී රොජර්ස් පවසා ඇත්තේ මෙය ඩයිනසෝරයන් සම්බන්ධයෙන් ලොවට අනාවරණය වුණු ඉතා වැදගත් සොයා ගැනීමක් කියාය. ඇය පෙන්වා දී ඇත්තේ පැටගෝටයිටන් මයෝරම් තවත් විශාල ඩයිනසෝරයකු විය හැකි බවය. ඊට හේතුව, හමුවී ඇති පොසිල අස්ථි සම්පූර්ණයෙන් වැඩුණු අස්ථි නොවීමය. 2013 වසරේ ආජන්ටිනාවේ ලා ෆ්ලෙචා නමැති ගල් වලෙන් ද පැටගෝටයිටන් මයෝරම් ඩයිනසෝරයකුගේ කශේරුකා අස්ථි සහ ඉළ ඇට සොයා ගැණින.

ඩයිනොසෝරයන් අතර කුඩාම ඩයිනසෝරයා ලෙස සැලකෙන්නේ වසර මිලියන 120 කට පෙර චීනයේ ජීවත් වූ, ගේකුරුල්ලගේ ප්‍රමාණයෙන් යුත් ‘කිලියානියා’ නමැති ඩයිනොසෝර කුරුල්ලාය. ඌ ග්රෑම් 15 ක් බර යැයි පැවැසෙයි. දකුණු ඇමෙරිකාවෙන් හමුවුණු පැටගෝටයිටන් හා සැසදීමේදී පැටගෝටයිටන් මිලියන 6 ගුණයකින් බරින් වැඩි යැයි පැවැසෙයි. ප්‍රමාණයෙන් වෙනස් වුවත්, මෙම සත්වයින් දෙදෙනාම ඩයිනසෝර පවුලට අයත් වීම ගැන විද්‍යාඥයෝ මවිතය පළ කරති.

මාංශ භක්ෂක ඩයිනොසෝරසයන් අතරින් විශාලතමයා වන්නේ ටයිරැනෝසෝරස් රෙක්ස්ගේ බර ටොන් හතක් යැයි පැවැසෙයි. ටී රෙක්ස් හඳුනාගෙන ඇති විශාලතම විලෝපිකයා වෙයි. ටී. රෙක්ස් ට සමාන තවත් දැවැන්ත විලෝපිකයෙකු සිටින අතර ඌ හැඳින්වෙන්නේ ජයිජැන්ටෝසෝරස් යනුවෙනි. ජයිජැන්ටෝසෝරස් ජීවත් වුණැයි පැවැසෙන්නේ ද පැටගෝටයිටන් ජීවත්වුණු අවදියේ යැයි ද පැවැසෙයි. ඩයිනොසෝරයෝ බොහෝ කාලයක් මිහිමත රජකම් කළහ.

මුලින්ම ඩයිනසෝරයන් පහළ වූයේ මීට වසර මලියන 228 කට පෙරය. ඒ, ත්‍රියාසික යුගයේදිය. ජුරාසික යුගයේ දී ඔවුන් ඉතාමත් ඉහළින් කැපී පෙණුනු බව පැවැසෙයි. ඉන්පසු හදිසියේ ම ක්‍රීටේසීය යුගයෙන් පසු ඩයිනසෝරයෝ අතුරුදන් වූහ. ඒ වසර මිලියන 65 කට පෙරය. අද අපට දකින්න ලැබෙන්නේ ඉතිරි වුණේ ඔවුන්ට නෑකම් කියූ කුරුල්ලන් පමණි.

ඩයිනසෝරයන් සමූහ වශයෙන් වඳ වී ගියේ ග්‍රහකයක් පෘථිවියේ හැපීමෙන් යැයි මේ වනවිට තහවුරු වී ඇත. අද වනවිට ඩයිනොසෝර විශේෂ 1000 ක් සොයා ගැනීමට පොසිල විද්‍යාඥයෝ සමත් වී සිටිති. එසේ හමුවී ඇත්තේ අස්ථි කොටස් පමණි. ඒවා එකළැස් කරමින්, කුමන විදියේ ඩයිනසෝරයකුට ඒවා අයිතිදැයි තහවුරු කර ගැනීම වෙහෙසකර කටයුත්තකි.

ඬේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS