රෝගී සතුන් සුව කරන ‍සොඳුරු වෙදැදුරා



රෝගී සතුන්ට ප්‍රතිකාර කිරීම ගැන අප ඉතිහාසයේ සිටම අසා ඇත. බුද්ධදාස රජතුමා නාගයෙකුගේ ශරීරයේ ඇතිවූ ගෙඩියක් සඳහා සැත්කමක් කර එම සත්වයා සුවපත් කළ බව අප අසා ඇත්තෙමු.

නිවසක ජීවත්වන මිනිසුන් මෙන්ම සුරතල් සතුන්ද ඒ නිවසේ සාමාජිකයින්ය. සුරතල් සතා රෝගීවීම ද එම හාම්පුතුන්ට දැනෙන්නේ දරුවකු ලෙඩවීම හා සමානවමය. සතුන්ගේ සමහර අනතුරුවලින් සිදු වූ තුවාල සහිත අවස්ථාවලදී කරන්නට දෙයක් නැතැයි කියා අත හරින අවස්ථා බොහෝය. ඒ කළ හැකි පිළියම් ගැන අත්දැකීම් නොමැති නිසාවෙනි. නමුත් එවන් සතුන් සුවපත් කරනා ඉසිවර වෙදැදුරන් වර්තමානයේ ද සිටී.

මේ කතාබහ එවැනි බුද්ධදාස පරපුරේ වත්මන් පුරුකක් පිළිබඳවය. සතුන්ට ආදරය කරන බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔහු  'ඩොක්ටර් කනිෂ්ක' ය. සුමේධ කනිෂ්ක කොලොන්නගේ නම් මෙම පශු වෛද්‍යවරයා සම්බන්ධයෙන් මේ දිනවල කතාබහට ලක්වන්නේ වාහනයකට හසුවී දැඩි ලෙස හානි සිදුවූ ඉබ්බෙකුට ප්‍රතිකාර කර සුවපත් කිරීම හේතුවෙනි.

ඉබ්බෙක් යනු වසර ‍200ක් පමණ ජීවත්වන දීර්ඝායුෂ ඇති සත්වයෙකි. ‍වාහනයකට හසුව ඇති මෙම ඉබ්බාගේ මතුපිට කටුව මෙන්ම ශරීරයේ යටි පැත්තට ද දරුණු ලෙස හානි වී තිබියදී කවුරුන් හෝ පශු වෛද්‍ය කනිෂ්ක වෙත යොමු කර තිබිණි. ඉබ්බාගේ ශරීරයේ හානි වී තිබූ කොටස් සියල්ල යථා තත්ත්වයට පත්කර සුවපත් කරන්නට ‍මෙම වෛද්‍යවරයා සමත් විය.

පශු වෛද්‍ය කනිෂ්ක මහතා වේයන්ගොඩ, දෙවලපොල ප්‍රදේශයේ 'යුනිවර්සල් වෙට්ස්' නමින් සතුන් වෙනුවෙන් රෝහලක් පවත්වාගෙන යන අතර එය සතුන් වෙනුවෙන් දැඩි සත්කාර ඒකකයකින් පවා සමන්විතය.

 තම සුරතල් සතුන් මෙන්ම හදිසි අනතුරුවලට ලක්ව තුවාල ලබන සතුන් රැගෙන මෙම වෛද්‍යවරයා සොයා දිවයින පුරා විවිධ ප්‍රදේශවල සිට පැමිණෙන්නෝ වෙති. ඒ අසනීප සත්වයකු දකින අය 'අර දෙවලපොල ඩොක්ටර්' ‍එසේක් නැතිනම් 'ඩොක්ටර් කනිශ්ක ලගට අරං ගිහිං බලන්න' කියා එම සතුන්ගේ හිමිකරුවන්ට පවසන නිසා විය යුතුය.

අනුරාධපුර, මොණරාගල, මහනුවර, මාතර වැනි ප්‍රදේශ වල සිට සුරතල් සතුන් රැගෙන පුද්ගලයින් වෛද්‍ය කනිෂ්ක සොයා පැමිණෙන්නේ ඔහු මෙතෙක් කර ඇති විශ්වකර්ම ක්‍රියාවන් නිසාවෙන්මය.

 අනතුරුවලට ලක්වී හොම්බ කට කැඩී ගිය බල්ලන්, වාහන වලට යටවෙලා මුත්‍රා නාල පුපුරා යාම වැනි මාරාන්තික අවස්ථාවලට මුහුණ පෑ සතුන් පවා මෙම වෛද්‍යවරයා විසින් සුවපත් කර තිබේ. කකුල කැපිය යුතු බව කී සතුන්ගේ කකුල් බේරා දී තිබේ. සතුන් සම්බන්ධ ගැටලුවකදී දුරකතනයෙන් උපදෙස්දීමට පවා ඔහු සැදී පැහැදී සිටින්නේ සතුන්ට ඇති ආදරය නිසාවෙන්මය.

 ඔහු මෙම සේවය සිදුකරන්නේ මිල මුදල් ගැන තැකීමෙන් නොවීමද විශේෂත්වයකි. අසරණ අයකු තම සතෙකුට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන අවස්ථාවල ඔහු ඔවුන් පිටත් කර හරින්නේ ෆාමසියකින් ගත යුතු ඖෂධ සඳහා මුදල් ද ලබාදෙමිනි. මෙම රෝහලේ විකීණීමට ඇති සතුන්ගේ කෑම පැකට් කඩා බඩගින්නේ පැමිණෙන සතුනට කෑමට දෙන අවස්ථා ද එමටය.

මෙවන් වෛද්‍යවරුන් රටට සම්පතකි. ඔහුට චිරාත් කාලයක් මෙම මෙහෙවර ඉටුකරන්නට ලැබේවා යන්න අපේ පැතුමයි.

සටහන - ඩයනා උදයංගනී


RECOMMEND POSTS