රොබෝ යානා 3 ක් අඟහරු යයි



අඟහරු හෙවත් රතු ග්‍රහයාගේ රහස් සෙවීමට, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය ජූලි මාසයේ ගවේෂණ යානා පිටත් කර යැවීය. දින 11 ක් ඇතුළත අඟහරු ගවේෂණයටපෘථිවියෙන් යානා තුනක් යැවුණු පළමු අවස්ථාව මෙයයි. මෙම යානා ලබන 2021 වසරේ පෙබරවාරි මාසය වනවිට අඟහරු වෙත ළඟා වනු ඇත.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අඟහරු යැවූ යානය ‘අමල්’ ය. ‘අමල්’ යනු බලාපොරොත්තුවයි. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් පමණක් නොව, අරාබි රාජ්‍යයකින් ගවේෂණ යානයක් අඟහරු යැවුණු පළමු අවස්ථාව මෙය වෙයි. කිලෝ ග්‍රෑම් 1,350 ක් බර ‘අමල්’ කක්ෂීය රොබෝ යානයකි. යානය අඟහරු මතට පතිත කෙරෙන්නේ නැත. අඟහරුගේ කක්ෂයට පිවිස, චන්ද්‍රිකාවක් මෙන් කක්ෂයේ රැඳී, අඟහරු වටා යමින් ගවේෂණ කටයුතු සිදු කරනු ඇත.

අමල් ගවේෂණ චන්ද්‍රිකාව

‘අමල්’ රොබෝ යානය එමිරේට්ස් විද්‍යාඥයන්ගේ නිර්මාණයකි. යානයේ ඇති සුවිශේෂී කැමරා පද්ධතිය, ඇමෙරිකාවේ සහාය ඇතිව නිර්මාණය කර තිබේ. ‘අමල්’ අඟහරුගේ වායු ගෝලය පරීක්ෂාවට ලක් කරනු ඇත. ඒ, අතීතයේ ජීවය පැවැතියේදැයි සොයමිනි. ‘අමල්’ අඟහරුගේ ඕසෝන් ස්ථරය පරීක්ෂා කරමින් දත්ත රැස් කිරීම පමණක් නොව, ඡායාරූප ගැනීම ද සිදු සිදු කරනු ඇත.

එමිරේට්ස් ඉන්ජිනේරුවන් සහ විද්‍යාඥයන් ‘අමල්’ නිර්මාණය කළත්, එය උඩු ගුවනට තල්ලු කර හැරීමට අරාබි එමීරේට්ස් රාජ්‍යය සතුව ප්‍රබල රොකට්ටු නැත. ඒ අනුව, එමිරේට්ස් අභ්‍යවකාශ ගවේෂණ ආයතනය ජපාන අභ්‍යවකාශ ආයතනයේ සහාය ලබා ගත්තේය. ‘අමල්’ ගවේෂණ යානය පසුගිය ජූලි 19 වැනිදා පෘථිවි කක්ෂයට රැගෙන යෑම සිදුවූයේ ජපන් රොකට්ටුවක ආධාරයෙනි.

චීනයේ අභ්‍යවකාශ මෙහෙයුම් සිදුවන්නේ ‘චීන අභ්‍යවකාශ ගවේෂණ අධිකාරිය’ යටතේය. ඔවුන්ගේ පළමු අඟහරු ගවේෂණ රොබෝ යානය ‘ටියැංවෙන් 1’ ය. ‘ටියැංවෙන් 1’ පෘථිවියෙන් පිටත් වී ගියේ, පසුගිය ජූලි 23 වැනිදා ය. ‘ටියැංවෙන් 1’ යානය සංකීර්ණ එකකි. උස මීටර් 1.85 කි. බර කිලෝ ග්‍රෑම් 240 කි. ‘ටියැංවෙන් 1’ යනු රොබෝ ගවේෂණ යානා තුනකි. එකක්, ‘අමල්’ යානය මෙන්, කක්ෂීය ගවේෂණ චන්ද්‍රිකාවකි. දෙවැන්න, අඟහරු මතට පතිත කර, පස් සාම්පල සහ දත්ත රැස් කරන ‘පතිත කරවන’ යානයකි. මෙම යානය තුළ තෙවැනි යානය ඇත. තෙවැනි යානය රෝවරයකි.

චීනය යැවූ රෝවර් යානය

රෝවර් යනු රෝදවලින් සමන්විත කුඩා යානා ය. මේවා එහෙ මෙහෙ යමින් ගවේෂණයේ යෙදෙයි. සූර්ය බලයෙන් පණ ගැන්වෙන මෙම යානා ම අඟහරුගේ මාස 3 ක් (පෘථිවි දින 92 ක්) ගවේෂණ කටයුතුවල නියැලෙනු ඇත. චීනය, මෙම ගවේෂණ යානා පද්ධතිය ‘ටියැංවෙන් 1’ යනුවෙන් නම් කර ඇත්තේ පුරාණ කාව්‍යයක් මුල්කොට ගනිමිනි.

මෙම කාව්‍යය රචනා කර ඇත්තේ මීට වසර 2,000 කට පෙර, චීන සාහිත්‍යවේදියකු මෙන්ම දේශපාලනඥයකු ද වන කූ යූවාන් ය. මොහු ජීවත් වූයේ ක්‍රි.පූ. 770-223 තෙක් කාලයේ ය. පුදුමය නම්, වසර 2,000 කට පෙර, කූ යූවාන් රචනා කළ ‘ටියැංවෙන් 1’ කාව්‍යයෙන් කියැවෙන්නේ ග්‍රහලෝක ගවේෂණ ගැනය. ‘ටියැංවෙන් 1’ යානා ත්‍රිත්වය එක් වී, අඟහරුගේ ඡායාරූප ගැනීමටත්, කාලගුණය සහ චුම්බක ක්ෂේත්‍රය අධ්‍යයනය කිරීමටත් නියමිතය.

ඇමෙරිකාවේ නාසා ආයතනය අඟහරු බලා පිටත් කර හැරීයේ අති නවීන තාක්ෂණයෙන් නිර්මාණය කළ රොබෝ රෝවර් යානයකි. මෙම රෝවරය නම් කර ඇත්තේ ‘පර්සෙවියරන්ස්’ යනුවෙනි. නාසා ආයතනය මීට පෙර ද අඟහරු මතුපිටට සාර්ථකව රොබෝ රෝවර් යානා යවා ඇත. එහෙත්, ‘පර්සෙවියරන්ස්’ ඒ සියල්ලටම වඩා වෙනස් එකකි. නාසා ආයතනය රතු ග්‍රහයාට නාසා යැවූ බරින් වැඩිම රෝවරය වන්නේ ද ‘පර්සෙවියරන්ස්’ ය. ‘පර්සෙවියරන්ස්’ රෝවරයේ බර කිලෝ ග්‍රෑම් 1,025 කි.

නාසා ප්‍රධානී ජිම් බ්‍රයිඩන්ස්ටයින්, පර්සෙවියරන්ස් යානයේ අනුරුවක් සමග

‘පර්සෙවියරන්ස්’ රෝවරය බැලූ බැල්මට, නාසා ආයතනය මීට පෙර අඟහරු මතුපිටට යැවූ ‘කියුරියෝසිටි’ රොබෝ යානය හා සමානය. නාසා විද්‍යාඥයන් ‘ඔපර්චුනිටි’ යැව්වේ අඟහරුගේ ‘ගේල්’ නමැති ආවාටය ගවේෂණයටය. ‘පර්සෙවියරන්ස්’ රෝවරයට තවත් කුඩා යානයක් ඇතුළත් ය. මෙය කුඩා හෙලිකොප්ටරයකි. මෙම හෙලිකොප්ටරය නම් කර තිබෙන්නේ ‘ඉන්ජිනියුටි’ යනුවෙනි. ‘පර්සෙවියරන්ස්’ සහ ‘ඉන්ජිනියුටි’ යානා ගවේෂණය සඳහා ඉලක්ක කර ගෙන ඇත්තේ ‘ජෙසිරෝ’ නමැති කිලෝ මීටර් 40 ක් පළල ආවාටය යැයි නාසා පැහැදිලි කර තිබේ.

‘ජෙසිරෝ’ ආවාටය පාෂාණ ස්ථර කීපයකින් සමන්විතය. නාසා විද්‍යාඥයන් ඒ බව දැනගත්තේ පෙර මෙහෙයුම්වලදීය. එම පාෂාණ ස්ථර ගවේෂණය මගින්, අතීතයේ අඟහරු මත ජීවය පැවැතියේ ද යන්නත්, මේ වනවිට අඟහරු මතුපිට ක්ෂුද්‍ර ජීවීන් සිටිනවා ද යන්නත් සොයා බැලීම ‘පර්සෙවියරන්ස්’ සහ ‘ඉන්ජිනියුටි’ යානාවලට පැවැරී තිබේ. ‘පර්සෙවියරන්ස්’ සහ ‘ඉන්ජිනියුටි’ කැමරා 23 කින් සහ මයික්‍රෝෆෝනවලින් ද සමන්විතය. අඟහරු මතුපිට දසුන් පමණක් නොව, අඟහරු මතුපිට ශබ්ද ඇති නම් ඒවා ද පටිගත කිරීම සිදු කෙරෙනු ඇත.

පර්සෙවියරන්ස් සහ ඉන්ජිනියුටි යානා පරිගණක සිතුවමකින් ...

පස් සාම්පල සහ ගල් එක් රැස් කිරීමට ද රෝද හයකින් සමන්විත රෝවරයට උපදෙස් ලැබී ඇත. එපමණක් නොව, ‘පර්සෙවියරන්ස්’ රෝවරය මෙහෙයුම අවසන් කිරීමෙන් පසු, එය අඟහරු බලා රැගෙන යන අභ්‍යවකාශ යානයෙන් ම ආපසු පෘථිවියට පැමිණීමටත් නියමිතය. ‘පර්සෙවියරන්ස්’ රෝවරය ඇතුළත් යානය, අභ්‍යවකාශයට රැගෙන යෑම සිදුවූයේ පසුගිය ජූලි 31 වැනිදාය. ඒ, ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. නාසා ආයතනය, ‘පර්සෙවියරන්ස්’ උඩු ගුවනට තල්ලු කර හැරියේ ඔවුන්ගේ ‘ඇට්ලස්’ රොකට්ටුවෙනි.

‘පර්සෙවියරන්ස්’ නිර්මාණය කළේ නාසා ජෙට් ප්‍රචාලන ආයතනයේ විද්‍යාඥ කණ්ඩායමය. මෙම කණ්ඩායමට සම්බන්ධ වී සිටි එක් ඉන්ජිනේරුවරියක වූයේ මෙලනි නිලන්ති මහආරච්චිය. විවාහ වී, 2003 දී, ඇමෙරිකාවට සංක්‍රමණය වූ මෙලනි, නාසා ආයතනයට සම්බන්ධ වී සිටියාය. ‘පර්සෙවියරන්ස්’ රෝවරයේ විද්‍යුත් පරිපථ යාන්ත්‍රික සැලැස්ම සකස් කිරීමට දායක වූයේ ඇයයි. එය ශ්‍රී ලාංකික අපට ආඩම්බරයකි. ‘පර්සෙවියරන්ස්’ රෝවරය නිපදවා අවසන් කිරීමෙන් පසු, 2019 දී මෙලනි නාසා ආයතනයට සමුදුන් බව පැවැසෙයි.

ලුසිත ජයමාන්න
ද සන් ඇසුරිනි

RECOMMEND POSTS