රොබොට්ටන්ට අකරතැබ්බක්



‘රතු ග්‍රහයා’ හෙවත් අඟහරු ගවේෂණයට ඇමෙරිකාවේ නාසා ආයතනය, අඟහරු මතට රොබෝ රෝවර් යානා හතරක් යවා ඇත.

රෝවර් යානයක් යනු, අඟහරු මතුපිට එහෙමෙහෙ ගමන් කරමින් ඡායාරූප සහ සාම්පල ලබා ගනිමින් ගවේෂණයේ යෙදෙන රෝබෝ යානයකි. නාසා විද්‍යාඥයන් අඟහරු ගවේෂණයට යැවූ රෝවර් යානා වන්නේ ‘පාත්ෆයිනඩර්’, ‘ස්පිරිට්’, ‘කියුරියෝසිටි’ සහ ‘ඔපචුනිටි’ ය.

මේ වනතුරු හොඳින් ක්‍රියාත්මක වූයේ ‘කියුරියෝසිටි’ සහ ‘ඔපචුනිටි’ යන රොබෝ යානා පමණි. ‘පාත්ෆයිනඩර්’ සහ ‘ස්පිරිට්’ යානාවල මෙහෙයුම් කටයුතු අවසන් වී තිබුණි. කියුරියෝසිටි සහ ඔපචුනිටි යානා බොහොම සාර්ථක ලෙස අඟහරු මතුපිට එහෙමෙහෙ යමින්, ගවේෂණ කටයුතු සිදු කරන්න විය.

පසුගිය ජූනි 10 වැනිදා, ‘කියුරියෝසිටි’ යානය හිටිහැටියේ නිහඬ වුණු බවත්, අද වන තුරු එයින් කිසිදු සංඥාවක් තමන්ට නොලැබුණු බවත් නාසා විද්‍යාඥයෝ කියති. එපමණක් නොව, ‘ඔපචුනිටි’ යානය ද අනතුරකට මුහුණ දී ඇතැයි ද විද්‍යාඥයෝ වැඩිදුරටත් බිය පළ කරති.

පසුගිය 10 වැනිදා වෙද්දී, අති බිහිසුණු ප්‍රචණ්ඩකාරී වැලි කුණාටුවක් අඟහරු මතුපිට හමා යන්න පටන්ගෙන තිබුණි. ‘කියුරියෝසිටි’ යානයේ මෙහෙයුම් සිදු කරන, නාසා විද්‍යාඥයන් සැක පහළ කර ඇත්තේ වැලි කුණාටුව හේතුවෙන් ‘කියුරියෝසිටි’ රෝවර් යානය අක්‍රිය වී ඇති බවය.

අඟහරු මතුපිට රෝවර් යානා එහෙමෙහෙ යන්නේ එහි සූර්ය කෝෂ සූර්ය බලයෙන් පණ ගැන්වීමෙනි. වැලි කුණාටුව හේතුවෙන් එක්කෝ ‘කියුරියෝසිටි’ යානය වැලි තට්ටුවලින් වැසී ගොස් ඇති බවට හෝ එය පෙරැළී යන්න ඇති බවට හෝ අනුමාන කෙරේ.

කෙසේ නමුත්  වැලි කුණාටුව පහව යනකල් සිදුවුණේ කුමක්දැයි නිවැරදිව දැනගත නොහැකි බව ද විද්‍යාඥයෝ පෙන්වා දෙති. වැලි කුණාටුව දින ගණනාවක් තිස්සේ නොකඩවා අඟහරු මතුපිට හමා ගියේ දිවා කාලය රාත්‍රිය බවට පරිවර්තනය කරමිණි. එය කවදා අවසන් වේවිදැයි කිව නොහැකි බව නාසා කියයි.

බිහිසුණු වැලි කුණාටුව අවසන් වන බවක් තවමත් දකින්න නොලැබෙන බව නාසා විද්‍යාඥයෝ වැඩි දුරටත් කියති. මෑත කාලයේ අඟහරු මත සිදුවුණු බිහිසුණුතම වැලි කුණාටුව මෙය යැයි ඔවුහු පෙන්වා දෙති.

මේ වනවිට වැලි කුණාටුව හමා යමින් ඇත්තේ ඔපචුනිටි යානය ඇති ප්‍රදේශයේ බවත්, ඔපචුනිටි යානයට ද කුණාටුවේ බලපෑම් එල්ල විය හැකි බවත් නාසා විද්‍යාඥයෝ බිය පළ කරති. කියුරියෝසිටි පමණක් නොව, ඔපචුනිටි රෝවර් යානයට ද සවි කර ඇත්තේ න්‍යෂ්ටික බැටරියකි. එය ආරෝපණය වීම සිදුවන්නේ, හිරු එළියේ බලයෙනි.

ඔපචුනිටි සහ කියුරියෝසිටි යානා මේ අයුරින් අකරතැබ්බකට මුහුණදේවි යැයි තමන් කිසිදු අවස්ථාවක අනුමාන නොකළ බව ද නාසා විද්‍යාඥයෝ වැඩිදුරටත් කියා සිටිති.

කියුරියෝසිටි සහ ඔපචුනිටි රෝවර් යානා අඟහරු මතුපිට ගවේෂණයේ යෙදෙද්දී, අඟහරුගේ කක්ෂයේ රැඳී සිටිමින්, අඟහරුගේ වායුගෝලයේ වෙනස්කම් සෙවීමට රොබෝ යානා කිහිපයක් යෙදවීමට පෘථිවි අභ්‍යවකාශ ආයතන කටයුතු කර ඇත. අද වනවිට මෙවැනි කක්ෂීය ගවේෂණ යානා හයක් හොඳින් ක්‍රියාත්මක වෙයි.

වැලි කුණාටුව පිළිබඳ පළමු හෝඩුවාව විද්‍යාඥයන්ට ලැබුණේ මෙම යානා මගිනි. අඟහරුගේ වායුගෝලයේ වෙනස් වීම් හසුකර ගැනීමට එම යානා සමත් විය. වැලි කුණාටුව වර්ධනය වීමට පටන් ගෙන ඇත්තේ පසුගිය මැයි මාසයේ සිටය.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS