රුසියන් විදේශ ඇමැති ජනපති ට්‍රම්ප් හමුවෙයි



රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර විශේෂ හමුවක් පසුගිය 11 වැනිදා ධවල මන්දිරියේ දී පැවැත්විණි.

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ පැවැත්වුණු මෙම හමුවට මාධ්‍යවේදීන් කැඳවා තිබුණේ නැත. රුසියන් විදේශ ඇමැතිවරයා ඇමෙරිකාවට පැමිණි බව දැනුම් දී තිබුණ ද ඔහු ධවල මන්දිරයට පැමිණෙන බව හෝ ජනපති ට්‍රම්ප් හමුවී සාකච්ඡා කරන බව හෝ ධවල මන්දිරය ඇමෙරිකන් මාධ්‍යවලින් වසං කර තිබුණි. රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් සහ ජනපති ට්‍රම්ප් හමුවී සාකච්ඡා කළ දේ ගැන ද මෙතෙක් අනාවරණය වී නැත.

රුසියන් නියෝජිත කණ්ඩායම සමඟ පැමිණි එරට ඡායාරූප ශිල්පීහු ඇමෙරිකන් ජනපති සහ සර්ගේ ලැව්රෝව් හමුවන අයුරු ඡායාරූපයට නැගූහ. ධවල මන්දිර මාධ්‍ය අංශය ඔවුන් විසින් ගනු ලැබූ ඡායාරූප සහ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට පෙර, රුසියන් නියෝජිත කණ්ඩායම එම ඡායාරූප ප්‍රසිද්ධ කළේය.

මෙය ඇමෙරිකානුවන්ගේ දැඩි විරෝධයට හේතුවක් විය. ධවල මන්දිර කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවට පත් විය. ජනපති ට්‍රම්ප් සහ ලැව්රෝව් අතර හමුව සම්බන්ධයෙන් දෝෂාරෝපණ එල්ල වෙද්දී, ධවල මන්දිර ප්‍රකාශිකා සේරා සැන්ඩර්ස් කියා සිටියේ ඇමෙරිකන් ජනපතිවරයාට ඕනෑම අවස්ථාවක වෙනත් රාජ්‍ය නියෝජිතයකු හමුවීමට අවසර ඇති බවය.

ජනපති ට්‍රම්ප් සහ රුසියන් විදේශ ඇමැතිවරයා අතර පැවැති රහසේ පැවැති එම හමුව මුල්කොට ගනිමින්, ජනපති ට්‍රම්ප් ඇමෙරිකන් ජනතාවගේ විශ්වාසය කඩ කළේ යැයි මොස්කව් නුවර හිටපු ඇමෙරිකන් තානාපති වූ මයිකල් මැක්ෆවුල් පවසා ඇත.

කෝටිපති ව්‍යාපාරිකයකු වන ඩොනල්ඞ් ට්‍රම්ප් බලයට පත් වූයේ පසුගිය වසරේ නොවැම්බරයේ පැවැති ජනපතිවරණයෙනි. ජනපතිවරණයේ දී ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූයේ ඩිමොක්‍රටික් පාක්ෂික හිලරි ක්ලින්ටන්ය. කවුරුත් විශ්වාස කළේ හිලරි ඇමෙරිකාවේ ජනාධිපතිවරිය වනු ඇතැයි කියාය. කෙසේ නමුත් ඊ මේල් අවභාවිතයක් සම්බන්ධයෙන් එල්ල වුණු චෝදනා ඇයට ලොකු අවාසියක් වූ අතර ට්‍රම්ප් ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළේය.
ට්‍රම්ප්ට රුසියානු ජනපති පුටින්ගේ සහාය ලැබුණු බවටත්, පුටින්ගේ මෙහෙයවීමෙන්, රුසියන් හැකර්වරුන් (පරිගණක දත්ත වෙනස් කරන්නන් සහ සොරකම්කරන්නන්) ඇමෙරිකන් ජනපතිවරණයේ ප්‍රතිපල වෙනස් කළ බවටත් චෝදනා එල්ල විය.

තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ යහපත් සබඳතා ඇතිකර ගන්නා බව පුටින් පවසා ඇත. මෙය ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන්ගේ පමණක් නොව ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂ නියෝජිතයන්ගේ පවා පවා දැඩි විරෝධයට හේතුවක් විය.

ඇමෙරිකන් ජනපතිවරණයේදී, රුසියාවේ මැදිහත් වීමක් සිදුවුණේ ද නැද්ද යන්න සොයා බැලීමට ඇමෙරිකානු එෆ්.බී.අයි. කාර්යාංශය විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත. මූලික පරීක්ෂණවලදී සනාථ වී ඇත්තේ එසේ බලපෑමක් සිදුවුණු බවය.

(රොයිටර්/එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS