රෑ අහසේ රටා මවපු චීනයේ ඩ්‍රෝන් සංදර්ශනය



ඩ්‍රෝන කියව්වාම අපේ සමාජයේ දැන් ඇති වන්නේ නොපහන් හැඟීමක්.ඒ ඉකුත් කාලය පුරාම ඩ්‍රෝන යානා නිසා සිදුවූ විවිධ අකරතැබ්බයන් නිසා.

නමුත් ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ දෙයක් පසුගියදා චීනයේ ගුවැන්ශෝ නුවරින් වාර්තා වුණි.ඒ විවිධ වර්ණයේ ආලෝක විහිදුවන කුඩා ඩ්‍රෝන් යානා 1,000ක් රාත්‍රී අහසට මුදාහරිමින් චීනයේ සම්ප්‍රදායික පහන්කූඩු උත්සවය නව ආකාරයකින් සැමරීමට දකුණු චීනයේ ගුවන්ශෝ නගර වාසීහු කටයුතු කීරමත් සමඟය.

මෙහිදී එකවර ගුවන්ගත කළ වැඩිම ඩ්‍රෝන් යානා සංඛ්‍යාව සඳහා වූ නව ගිනස් වාර්තාවක් ද පිහිටවනු ලැබුණි. මීට පෙර වාර්තාව තැබූ ඉන්ටෙල් සමාගම එකවර ගුවන්ගත කර තිබුණේ ඩ්‍රෝන් යානා 500ක් පමණි.

ගුවැන්ශෝ කුළුණ අසල චතුරස්‍රයේදී මෙම ඩ්‍රෝන් සංදර්ශණය විනාඩි 15ක් පමණ කාලයක් පුරාවට පැවැත්වුණු අතර, ඒවා සියල්ලම පාලනය කර තිබුණේ එක් පරිඝණකයක් මගිනි.

පසුබිමේ වාදනය කරනු ලැබූ සංගීතයත් සමග මීටර 120ක් පමණ ඉහළට නැගුණු මෙම  ඩ්‍රෝන යානා චීනයේ සිතියමක්, අංක 1000 (ඩ්‍රෝන් ගණන), චීන බසින් ආශිර්වාද යන තේරුම ඇති  චීන අක්ෂරය, 2017 වැනි රටා කිහිපයක් රාත්‍රී අහසේ මවා තිබේ.
රාත්‍රී අහසේ දිලෙන පහන්කූඩු ලෙස දිස් වූ මෙම අපූරු සංදර්ශණයේ දසුන් කිහිපයකි මේ.

 

( තිළිණි ද සිල්වා )
ඩේලිමේල් ඇසුරෙනි.....

 


RECOMMEND POSTS