රහස් හංගන හමුදා කඳවුරු



ඇමෙරිකාවේ පිටසක්වළ අබිරහස් රඳවා ඇතැයි පැවැසෙන ‘ඒරියා 51’ (ඒරියා 51) රහස් කඳවුර ගැන පසුගිය දා ලොකු කසුකුසුවක් නිර්මාණය විය. ඒ, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ පළවුණු පුවතක් මුල්කොට ගනිමිනි.

මිලියන 1.5 ක පිරිසක්, එකවර ‘ඒරියා 51’ රහස් කඳවුරට කඩා වැදී, ඇතුළේ ඇති පිටසක්වළ රහස් මොනවාදැයි සොයා බැලීමට සූදානම් විය. ‘ඒරියා 51’ ඇමෙරිකා රජය සතු ඇමෙරිකා හමුදාව විසින් පාලනය කරනු ලබන රහස් කඳවුරකි.

පිටසක්වළ ජීවින් ගැන හෝ වෙන මොනයම් හෝ රහසක් හෝ සඟවා ගත් ලොව එකම රහස් කඳවුර, ‘ඒරියා 51’ නොවෙයි. ඇමෙරිකාවේත් ලොව වෙනත් රටවලත් මෙවැනි ‘රහස් කඳවුරු’ දකින්න ලැබේ. එයින් බොහොමයක් ඇත්තේ ද ඇමෙරිකාවේය.

එපමණක් නොව, අප ශ්‍රී ලංකාවට පහළින් ඉන්දීය සාගරය මැද දූපතක ද රහස් කඳවුරක් ඇත.

ඇමෙරිකාවේ මේරිලන්ඞ් ජනපදයේ පිහිටා ඇති ෆෝට් මේඞ් රහස් කඳවුර, ජාතික ඔත්තු නිරීක්ෂණ ඒජන්සියට අයත් අබිරහස් පිරි හමුදා කඳවුරකි. මෙම කඳවුරේ මෙහෙයුම් සිදුවන්නේ නාසා ආයතනයේ මැදිහත් වීමෙනි. එමෙන්ම, මෙම කඳවුරේ රහස් ආරක්ෂා කිරීම සිදුවන්නේ ද නාසා ආයතනයේ මැදිහත්වීමෙනි.

20 වැනි සියවසේ න්‍යෂ්ටික බෝම්බ පුපුරුවමින් අත්හදා බැලීම් කළේත් රොකට් ඇන්ජින් අත්හදා බැලීම සිදු කළේත් ඇමෙරිකාවේ නෙවාඩා ජනපදයේ පිහිටි ‘ඒරියා 25’ නමැති කඳවුරේය. අද ඇමෙරිකන් හමුදාව හමුදා මෙහෙයුම් සිදු කරන්නේත් නවීන අවි ආයුධ අත්හදා බැලීම කරන්නේත් මෙම කඳවුරේ යැයි පැවැසෙයි. ‘ඒරියා 51’ හමුදා කඳවුරට නුදුරින් මෙම කඳවුර පිහිටා ඇත. දශක ගණනාවක් තිස්සේ මෙම කඳවුර ජනතාවට තහනම්ය. 1984 මෙම කඳවුරට ආසන්නයේ මිග් 25 ප්‍රහාරක ජෙට් යානයක් පුහුණු සැසියකට එක්වෙද්දී කඩා වැටුණේය. මාධ්‍ය ඒ ගැන වාර්තා කිරීමට ගිය අවස්ථාවේ, හමුදාව වහා මැදිහත් වී ඔවුන් එතැනින් ඉවත් කළේ යැයි පැවැසෙයි. ඒරියා 25 කඳවුරට නුදුරින් තවත් කඳවුරක් ඇත. මෙය ‘ඒරියා 6’ යන නමින් හැඳින්වෙයි. මෙම කඳවුරේ සිදුවන්නේ කුමක්දැයි කිසිවෙක් නොදනී.

1965 වසරේ සිට බි‍්‍රතාන්‍යය පාලනයට නතු ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාවට පහළින් පිහිටා ඇති කුඩා දූපතකි. මේ දූපතේ සිදුවන්නේ කුමක්දැයි නොදනී. ඇමෙරිකාව සතු ඇමෙරිකාවට එපිටින් පිහිටි රහස් හමුදා කඳවුරක් මෙම දූපතේ ඇති බව ප්‍රකට කරුණකි.

පයින් ගැප් කඳවුර පිහිටා ඇත්තේ ඔස්ටේලියාවේ, ‘ඔවුට්බැක්’ කාන්තාර ප්‍රදේශයේය. ඕස්ටේ්‍රලියාවේ ‘ඒරියා 51’ යනුවෙන් මෙය හැඳින්වෙයි. ඇමෙරිකා ඕස්ටේ්‍රලියා රජය සහ හමුදාවේ එකමුතුවෙන් පයින් ගැප් කඳවුර ක්‍රියාත්මක වෙයි.

මෙය පිහිටුවන ලද්දේ 1970 වසරේ, නිරවි යුද සමය උත්සන්න වූ අවස්ථාවේදීය. ඇමෙරිකන් පවුල් 400 ක් මේ කඳවුරට නුදුරින් ඇලිස් ස්ප්‍රිංග්ස් නගරයේ පදිංචිය තෝරා ගත් බව පැවැසෙයි. රහස් ඔත්තු නිරීක්ෂණ සිදුකරන්නේ මෙම පයින් ගැප් කඳවුරේ සිට යැයි ද පැවැසෙයි. ඇමෙරිකාවේ නාසා ආයතනය ද මෙම කඳවුර හා සම්බන්ධ යැයි පැවැසෙයි.

ගූගල් චන්ද්‍රිකා සේවා හරහා අනාවරණය වුණු රහස් කඳවුරක් සෞදි අරාබියේ පිහිටා ඇත. මෙම කඳවුරට නමක් නැත. මෙය ඇමෙරිකාවට අයත් රහස් කඳවුරක් බවට සැක කෙරේ. කෙසේ නමුත් ඒ බව තහවුරු වී නැත. සෞදි කාන්තාරයේ පිහිටි මෙම කඳවුරට දිගු ගුවන් පථයකි. ඇමෙරිකාවේ ප්‍රෙඬේටර් සහ රීපර් නමැති ඔත්තු බලන සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා ක්‍රියාත්මක වන්නේ මෙම කඳවුරේ සිටය. ඇමෙරිකාව ලොව පුරා ඔවුන්ගේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා මෙහෙයවන්නේ මෙම නිල නොවන කඳවුරේ සිටය.

පිටසක්වළ ජීවීන් සහ පියාඹන පීරිසි ගැන දැනගන්න නම්, පියාඹන පීරිසි දැකගන්න ඕනෑ නම් යා යුත්තේ ඇමෙරිකාවේ නෙවාඩා ජනපදයේ නෙවාඩා කාන්තාරය මැදින් වැටී තිබෙන ‘එක්ස්ට්‍රාටෙරස්ටි්‍රයල් හයිවේ’ නමින් හැඳින්වෙන අධිවේගී පාළු මාර්ගය දිගේ යැයි කතාවට කියයි. ‘එක්ස්ට්‍රාටෙරස්ටියල්’ යන්නෙහි අර්ථය ‘පිටසක්වළ ජීවීන්’ යන්නය. වියළි කලාපයට අයිති නෙවාඩා කාන්තාර ප්‍රදේශය, සහරා කාන්තාරය වගේ වැලිවලින් පමණක් පිරුණු තැනක් නොවෙයි. මේ කාන්තාර ප්‍රදේශය හුඟක් වියළිය. හැබැයි ගස්කොළන් කටු පඳුරු ආදිය පිරී පවතී. මේ අධිවේගී මාර්ගය ඇත්තේ ලස් වේගාස් නුවර සිට සැතපුම් සියයක් උතුරටය.

‘එක්ස්ට්‍රාටෙරස්ටියල් හයිවේ’ මාර්ගයේ යද්දී කුසගින්නක් දැනුනොත්, බර්ගර් රසබලා පැණිබීම වීදුරුවක් බී වෙහෙස නිවා ගැනීමට නම් රේචල් නගරයේ ‘ලිට්ල් ඒලියන් ඩයිනර්’ නමින් පුංචි අවන්හලක් ඇත. අවහන්හල ඇත්තේ මාර්ගය අසලමය. ඔබ ‘ලිට්ල් ඒලියන් ඩයිනර්’ ගොඩ වැදුණොත්, එයින් අදහස් වන්නේ, ඔබ දැන් ඇවිත් සිටින්නේ ඇමෙරිකා රජය, ඇමෙරිකා ගුවන් හමුදාව අතිශය රහස් වැඩ සිදු කරන කලාපයකටය. අවන්හල අසලින් විහිදී පැතිරී ඇති විශාල පාළු භූමි ප්‍රදේශයේ අයිතිය ඇත්තේ ඇමෙරිකන් ෆෙඩරල් රජයටය.

වර්ග සැතපුම් 8,000 ක් පුරුති මේ විශාල පාළු කාන්තාර භූමි ප්‍රදේශය මැද ගුවන් හමුදාවේ රහස් මූලස්ථානය එසේත් නැතිනම් හමුදා කඳවුර පිහිටයි. ඇමෙරිකා රජයේ ඉහළ නිලධාරීන් හැර, මේ රහස් කඳවුරේ සිදුවන්නේ කුමක්ද ? හෝ එය මොන පාටදැයි කියා හෝ කිසිදු ඇමෙරිකානුවෙක් දන්නේ නැත. මේ කඳවුර අයත් ප්‍රදේශය ‘ඒරියා 51’ ය. මෙම කඳවුරට හෝ එය අයත් පළාතට නිල වශයෙන් නමක්වත් නැත. එය ඒ තරමට රහසකි.

රේචල් නගරයේ ‘ලිට්ල් ඒලියන් ඩයිනර්’ අවන්හලට ගොස් විඩා නිවාගත් පසු කාන්තාර ප්‍රදේශයේ සිරි නරඹන්න හැකියාව ලැබේවි. එහෙත්, ‘ඒරියා 51’ කලාපයට එක අඩියක්වත් තියන්න ලැබෙන්නේ නම් නැහැ. ඇමෙරිකානුවන් බොහෝ දෙනකුගේ විශ්වසය වන්නේ, ඇමෙරිකන් රජය සහ හමුදාව පිටසක්වළයන් සමඟ ගනුදෙනු කරන්නේත්, පිටසක්වළ ජිවීන් ඇතුළු පියාඹන පීරිසි රඳවා තබනු ලැබ ඇත්තේත් ‘ඒරියා 51’ කඳවුරේ බවටය.

1974 දී ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝහි රොස්වෙල් හි හඳුනා නොගත් ආකාශ වස්තුවක් කඩා වැටී අනතුරක් සිදුවිය. මෙම හඳුනා නොගත් ආකාශ වස්තුව පිටසක්වළ යානයක්, එසේත් නැතිනම් පියාඹන පීරිසියක් යැයි සැක කෙරේ. යානයේ සිට මියගිය සහ තුවාල ලැබූ පිටසක්වළ ජීවීන් රැගෙන යනු ලැබුවේ ‘ඒරියා 51’ කඳවුරට බවත් අදටත් ඒ පිටසක්වළයන්ගේ සිරුරු මෙම කඳවුරේ ඇති බවත් පැවැසෙයි. පිටසක්වළයන්ගේ තාක්ෂණය යොදා ගනිමින් ඇමෙරිකන් රජය විවිධ ආයුධ, යානා ආදිය නිර්මාණය කරන්නේත් ඒවා අත්හදා බලන්නේත් ‘ඒරියා 51’ කඳවුරේදී යැයි සැක කෙරේ.

මතුපිටින් කිසිවක් හරිහැටි නොපෙනුනත් බොහෝ දෙනා විශ්වාස කරන්නේ ‘ඒරියා 51’ හි රහස් හමුදා කඳවුර පොළොව යට විශාල ප්‍රදේශයක් පුරා පිහිටා ඇති බවය. පරීක්ෂණ සියල්ල සිදු කෙරෙන්නේ භූ ගතව පිහිටා ඇති මේ විශාල ගොඩනැගිල්ලේය. නාසා ආයතනයේ විද්‍යාඥයන් සහ ඇමෙරිකා හමුදාව එකතු වී මේ පර්යේෂණ කටයුතු සිදු කරන බවය පැවැසෙයි. හමුවූ පිටසක්වළ යානාවල තාක්ෂණය අවබෝධ කර ගනිමින්, ඒ තාක්ෂණය ලබා ගැනීමට ඉන්ජිනේරුවන් කටයුතු කරන බව පැවැසෙයි. ‘ඒරියා 51’ කලාපයේ ගුවන් පථයක් ද ඇත. ‘චෙෂියර් ගුවන් පථය’ යනුවෙන් නම් කර ඇති මෙය, යොදා ගැනෙන්නේ පියසක්වළ යානා ගොඩබෑමට යැයි අනුමාන කෙරේ.

මේ ගුවන් පථය දර්ශනය වෙන්නේ ඊට වතුර ඉසීමක් කළ විට පමණක් වීම ද පුදුමය ගෙනදෙන කරුණකි. අනෙක් වේලාවට මේ ගුවන් පථය සැඟවී පවතී. මීට පනස් වසරකට පෙර, ඇපලෝ 11 මෙහෙයුම් යටතේ සිදු වුණු සඳ ගමන් බොරුවක් යැයි කියන පිරිස් පෙන්වා දෙන්නේ, මෙම ඒරියා 51 කඳවුර ආශ්‍රිතව එම සඳ ගමන රඟ දක්වන්න ඇති බවය. ඇත්තම කීවොත්, බැලූ බැල්මට ඒරියා 51 කඳවුර අවට භූමිය සඳේ මතුපිට හා සමානය.
පිටසක්වළ ජීවීන් හෝ පියාඹන පීරිසි කෙසේ වෙතත් ‘ඒරියා 51’ කලාපයේ මොකක් නමුත් රහස් දේවල් සිදුවෙයි. සැකයක් නැත. ‘ඒරියා 51’ සැබෑම අබිරහසකි.

ඇමෙරිකන් ගුවන් හමුදාව මෙම ගුවන් කඳවුර භාවිතයට ගනී. පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් එහි රඳවාගෙන සිටිනවා යැයි කියන කටකතා ඔප්පු කරන්න කාටවත් හැකියාවක් ලැබී නැත. ඒවා ලොකුවට උලුප්පා දක්වන්නේ විද්‍යා ප්‍රබන්ධ කතා නිර්මාණකරුවන් සහ සිනමාකරුවන් පමණි. ඇමෙරිකා ගුවන් හමුදාව ඔවුන්ගේ අති නවීන ගුවන් යානා අත්හදා බැලීම් සිදු කරන්නේ මේ ස්ථානයේ විය හැකිය.

ඇමෙරිකානු රජයට අයිති මේ භූමිය දෙවැනි ලෝක යුද සමයේදී බෝම්බ අත්හදා බැලීම් සඳහා යොදා ගැනුනේය. ‘පරමාණුක බලශක්ති කොමිසම’ යටතේ, බෝම්බ අත්හදා බැලීම් සිදුවිය. 1955 දී ඇමෙරිකාවේ මධ්‍යම බුද්ධි අංශය එසේත් නැතිනම් සී.අයි.ඒ. සංවිධානය මැදිහත් වී කඳවුරට ගුවන් පථයක් ඉදි කළේය. උඩු ගුවනේ සිට ඔත්තු බලන ‘යූ2’ රහස් ඔත්තු ගුවන් යානා පරීක්ෂණ කටයුතු සිදු කළේ මෙම ස්ථානයේ යැයි නිල වාර්තාවල සඳහන් වෙයි.

ඇමෙරිකාවේ යුද කටයුතු හා සම්බන්ධ කොන්ත්‍රාත්කරුවකු වන ‘ලොක්හීඞ්’ පෞද්ගලික සමාගම ඔවුන්ගේ අත්හදා බැලීම් කටයුතු සඳහා මේ කඳවුර යොදා ගනී. ‘යූ2’ යානයේ සාර්ථකත්වය මත ‘එස් ආර් 71 බ්ලැක්බර්ඞ්’ ගුවන් යානය නිර්මාණය කෙරුණි. 1960 හා 70 දශකවල දී 1,000 ක් පමණ සේවක පිරිසක් මෙම රහස් කඳවුරේ සේවය කළේ යැයි පැවැසෙයි. ඉන්ජිනේරුවන් මෙම අබිරහස් ස්ථානය හඳුන්වන්නේ ‘ඩී්‍රම්ලෑන්ඞ්’ (සිහින දේශය), ‘පැරඩයිස් ලෑන්ඞ්’ (පාරාදීසය) සහ ‘ගෲම් ලේක්’ යන නම්වලිනි. ‘ගෲම් ලේක්’ යනුවෙන් හැඳින්වෙන්නේ, සිඳී ගිය විල් පතුලක් මේ ස්ථානයේ ඇති නිසයි.

1977 දී සතුරු රේඩාර්වලින් බේරී නිහඬව යා හැකි ප්‍රථම ගුවන් යානය ‘ලොක්හීඞ් එෆ් 117 ඒ නයිට්හෝක්’ ගුවන් යානය නිර්මාණය කෙරුණේ ද මෙම ගුවන් කඳවුරේදී යැයි නිල වාර්තාවල සඳහන්ය. මේ ගුවන් යානය 1988 වසර තෙක් රහසක් ලෙස තබා ගැනීමට ඇමෙරිකානු රජය කටයුතු කළේය.

‘ද සන්’ ඇසුරිනි

 


RECOMMEND POSTS