රජීව් ඝාතනයට සම්බන්ධ නාලිනීගෙන් ස්වයංචරිතාපදානයක්




එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනය කිරීම සම්බන්ධයෙන් චූදිතයෙකුව ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් විඳිමින් සිටින නලිනි ශ්‍රීහරන් නැමැත්තිය විසින් සිය ජීවිත කතාව ඇතුළත්ව ලියන ලද  ස්වයං චරිතාපදාන ග්‍රන්ථයක්  ලබන බ්‍රහස්පතින්දා (24) චෙන්නායි නුවරදී  එළිදැක්වීමට නියමිතව ඇතැයි “ටයිම්ස් ඔෆ් ඉන්දියා” පුවත්සේවය වාර්තා කරයි.

දෙමළ භාෂාවෙන් ලියැවී ඇති මෙම ග්‍රන්ථය පිටු 500 කින් සමන්විතවන අතර මෙම ජීවිත කතාව පොතක් වශයෙන් එළිදැක්වීමට ඇයට වසරකට වැඩි කාලයක් ගතවී ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

බන්ධනාගාරයේ රැඳවියන් අමුත්තන් හමුවන ස්ථානයේ සිට ඇය කියූ කථාව ඇයගේ නීතීඥවරයා වන පූග සෙන්ති විසින් සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙය ග්‍රන්ථයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම විශේෂත්වයකි.

රජීව් ඝාතන සිද්ධියට අදාළව එරට අධිකරණයෙන් දඬුවම් නියමව වසර 25කට වැඩි කාලයක් ඉන්දියාවේ වෙල්ලෝර් බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටියදී ඇය ලත් අමිහිරි අත්දැකීම්, වද හිංසා ,දේශපාලන අතපෙවීම් සහ විවිධ තමිල්නාඩු දේශපාලනඥයින්ගේ ප්‍රතිචාර හා බලපෑම් යනාදිය පිළිබඳව මෙම ග්‍රන්ථයෙන් වැඩි ඉඩක් වෙන් කර ඇතැයිද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

සිය ජීවිත කතාව ගැන හෙළිදරව් කරමින් නලිනි ඇයගේ ළමා කාලය , මුරුගන් සමඟ පැවති සබඟතාව ,රජීව් ගාන්ධි ඝාතනයේ අත්දැකීම් ,නීතියෙන් පලායෑම ,අත්අඩංගුවට පත්වීම , බන්ධනාගාරයේදී දරුවෙකු බිහිකිරීම , මෙන්ම ඝාතනයට ලක්වූ රජීව් ගාන්ධි ගේ දියණිය වන ප්‍රියංකා ගාන්ධි සමඟ 2008 වසරේදී බන්ධනාගාරයේදී විනාඩි 90 කාලයක් පැවැත්වූ රහස් සාකච්ඡාව පිළිබඳවද මෙම ග්‍රන්ථයේ දීර්ඝ වශයෙන් කරුණු දැක්වෙන බවද සඳහන් වේ.

සිර ගතව සිටි විසි පස් වසරක කාලය තුළ  තමිල්නාඩු ප්‍රාන්තයේ බලය පත් එම්.කරුණානිධි ගේ නායකත්වයෙන් යුතු ඩී.එම්.කේ පක්ෂය හා ජයලලිතාගේ නායකත්වයෙන් යුතු අන්නා ද්‍රවිඪ මුන්නේත්‍ර කළහම් පක්ෂ ප්‍රාන්ත රජයන් විසින් තමාට හා සිය දියණියට කළ අරියාදුකම් ගැනද මෙම ග්‍රන්ථයේ ඇතුළත්වේ.වරෙක මෙම ප්‍රාන්ත රජයන් සිය දියණිය අත්අඩංගුවට ගන්නා බව තර්ජන කළ බැවින් ඇයව තමාගෙන් ඈත් කොට ශ්‍රී ලංකාවට යැවීම සිදුවූ අයුරුද මෙම සදහන්ය.

විශේෂයෙන්ම නලිනි පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව අඛණ්ඩව දින 50ක් තිස්සේ  එරට විශේෂ විමර්ශන කණ්ඩායමක් බාරයේ සිටි කාලයේ සිය සැමියා වූ මුරුගන්ට කළ වද හිංසා, සමූහ දූෂණයකට ලක් කරන බවට පොලිස් නිලධාරීන් කළ ලිංගික බලපෑම්,වර්ග අඩි විසි පහක් පමණ වූ සිර කුටියක් තුළ අත් මාංචු දමා සතියක් රැඳවීම , අත් අඩංගුවට පත්වන විට දෙමස් හැවිරිදි ගැබිණියක සිටි ඇයව ගබ්සාවට ලක් කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ කිරීම  ආදි වද හිංසා ගණානාවකටම ඇය මුහුණදී ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තාවේ සඳහන් වේ.

නලිනි සිරගතව විවිධ දුෂ්කරතා මධ්‍යයේ සිය සැමියා වූ චූදිත මුරුගන්ට දාව අරිත්‍රා නමින් දැරියක් බිහිකළ අතර එවකට පැවති වාතාවරණය තුළ එම දැරියට පුරවැසි භාවය ලබා දීමට ඉන්දීය රජය ප්‍රතික්ෂේප කළේය.පසුව ශ්‍රී ලංකාවට පිටත් කර ඇති නලිනි ගේ දියණිය  මේ වන විට බි්‍රතාන්‍යයේ සරණාගතභාවය ලබා එරට වෛද්‍යවරියක ලෙස සේවය කරමින් සිටින්නීය. සිය දියණියගේ අයිතිවාසිකම් වෙනුවෙන් නලිනි මෙන්ම ඇයගේ සැමියා වන මුරුගන් වසරකට ආසන්න කාලයේ උපවාසයේ නිරත වූහ.

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වූ  ශ්‍රී හරන් හෙවත් මුරුගන් සමඟ 1991 අප්‍රේල් 21 වැනිදා විවාහයට පත්වූ නලිනි ,එම වසරේම තමිල්නාඩුවේ ශ්‍රී පෙරුම්බුදූර් හිදී එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනය සැලසුම් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත්වූවාය.මේ සම්බන්ධයෙන් ඇයටද මුලින්ම හිමිවූයේ මරණ දඬුවම වන අතර 2000 වසරේදී නලිනිගේ දියණිය ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බලමින් පැනවූ එම මරණ දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් වශයෙන් ලිහිල් කරනු ලැබීය.

ඇයට අමතරව මෙම ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වූ ඇගේ සැමියා වන මුරුගන් ,ශාන්තන් සහ පෙරිරිවාලන් නැමැත්තන්ට එරෙහිව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මරණ දඩුවම නියම කළේය.

යහපත් පුද්ගලයෙකු වූ තම පියා ඝාතනය කළේ ඇයිදැයි 2008 වසරේදී ප්‍රියංකා ගාන්ධි විසින් නලිනිගෙන් විමසා ඇති අතර එහිදී නලිනි ප්‍රකාශ කර ඇත්තේ තමන් ලේ පිපාසිති වෘකයින් රැළකට හසුවූවා මිස රජීව් ගාන්ධි ඝාතන සැලසුම පිළිබඳ කිසිවක් නොදැන සිටි බවය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS