යෝධ ධවල මෝරා එක්ක පිනලා



හවායි දූපත්වලට ඔබ්බෙන් මුහුදේ කිමිඳුම්කරුවන් කණ්ඩායමක් පසුගිය දා අපූරු අත්දැකීමකට මුහුණ දුන්නේය. ඒ, ඔවුන්ට අති දැවැන්ත ධවල මෝරකු සමඟ කිමිඳීමටත්, මෝරාට ළං වී ඡායාරූප ගැනීමටත් හැකිවුණු නිසාය.

එය තම ජීවිතයේ අමතක නොවන සිදුවීමක් බවත්, සැබැවින්ම අපූරු අත්දැකීමක් බවත්, කිමිඳුම්කාරියක මෙන්ම ඡායාරූප ශිල්පිනියක ද වන කිම්බර්ලි ජෙෆ්රීස් කියයි.

කිම්බර්ලි ජෙෆ්රීස් ඇතුළු කිමිඳුම් කණ්ඩායම, හවායි හි ‘ඔආහු’ වෙරළට ඔබ්බෙන් මුහුදේ ඈතට ගියේ, මියගිය කිරි තල්මසකු (ස්පර්ම් වේල්) ගේ මළකුණක් ආහාරයට ගැනීමට රොක් වී සිටි ටයිගර් ෂාර්ක් (කොටි මෝරා) වර්ගය් මෝරුන් රංචුවක් රූගත කිරීමට සහ ඡායාරූප ගත කිරීමටය.

‘තල්මස් මළකුණ ටයිගර් ෂාක් මෝරුන් ආහාරයට ගනිමින් සිටිනවා බලන්න අපි අපේ කුඩා බෝට්ටුවෙන් එතැනට ළං වුණා. බෝට්ටුවේ සිටිද්දී අපට මෝරුන් රංචුව පැහැදිලිව දකින්න ලැබුණා. ආපු වැඬේ සාර්ථකව කරන්න පුළුවන් බව කල්පනා වුණු නිසා මමත් කණ්ඩායමත් කැමරා උපකරණ අරන් මුහුදට බැස්සා. පුදුම වැඬේ කියන්නේ, එතකොට ටයිගර් ෂාර්ක් රංචුව අතුරුදන්වෙලා. මොකක් හරි දේකට බය වෙලා එතැනින් පිහිනා ගිහිල්ලා වගේ කියලා මට තේරුණා.’ යැයි කිම්බර්ලි සිය අත්දැකීම් විස්තර කරයි.

‘තත්පර 30 ක් පමණ ගත වෙද්දී, මෝරුන් රංචුව බය වුණු හේතුව දකින්න ලැබුණා. උන් බය වී එතැනින් ගොස් තිබුණේ දැවැන්තයකු නිසයි. ඒ දැවැන්තයා සෙමින් සෙමින් එතැනට ඇදී ආවා. ඒක අපූරු මෙන්ම බිහිසුණු අත්දැකීමක්’ යැයි කිම්බර්ලි පැහැදිලි කරයි.

මේ දැවැන්තයා ධවල මෝරා ගැහැනු සතෙකි. කෙසේ නමුත් කිමිඳුම්කරුවන්ට පමණක් නොව, සාගර ජීව විද්‍යාඥයන්ට මේ දැවැන්තයා අමුත්තකු නොවෙයි. ටොන් 2.5 ක් බර, මීටර් හයක් දිග මේ දැවැන්තයා ‘ඩීප් බ්ලූ’ යනුවෙන් නම් කර තිබේ.

මැයගේ වයස අවුරුදු 50 කි. එපමණක් නොව, තල්මස් මළකුණ ආහාරයට ගැනීමට පැමිණි ‘ඩීප් බ්ලූ’ ගැබ්බරව සිටියේ යැයි ද පැවැසෙයි. ‘ඩීප් බ්ලූ’ වෙනුවෙන් සාගර ජීව විද්‍යාඥයන් සහ කිමිඳුම්කරුවන් එක් වී ට්විටර් සමාජ ජාල ගිණුමක් ද පවත්වාගෙන යයි.

කිම්බර්ලි ඇතුළු කණ්ඩායම, ‘ඩීප් බ්ලූ’ අසලට ගොස් ඇය සමඟ ඡායාරූප ගැනීම පමණක් නොව ඇය ස්පර්ශ කිරීම ද කළේ යැයි පැවැසෙයි. කිම්බර්ලි ඇතුළු පිරිස පවසන්නේ, ඩීප් බ්ලූ කිසිම අවස්ථාවක තමන්ට තර්ජනයක් හෝ අනතුරක් කිරීමට උත්සාහ නොකළ බවය.

එපමණක් නොව, ‘ඩීප් බ්ලූ’, කිම්බර්ලි සහ ඇගේ කණ්ඩායම පැමිණ සිටි බෝට්ටුවේ ඇතිල්ලෙමින්, පිට කසා ගත් බව ද පැවැසෙයි. මෝරා සමඟ බොහෝ වේලාවක් කිමිඳෙමින් කාලය ගත කරන්න කණ්ඩායමට හැකිවුණු අතර, ආහාර ගැනීමෙන් පසු මෝරා ඈතට කිමිඳී අතුරුදන් වී ගිය බව කිම්බර්ලි වැඩි දුරටත් කියා සිටී.

මහ මුහුදේ බිහිසුණු දඩයක්කරුවා ලෙස සැලකෙන්නේ ධවල මෝරාය. අනෙක් මෝරුන් පවා ධවල මෝරාට බියක් දක්වයි. හොලිවුඞ් සිනමාකරුවන්ගේ චිත්‍රපටවල ඝාතකයන් වන්නේ ධවල මෝරුන්ය. කෙසේ නමුත් සත්‍යය එය නොවෙයි.

මිනිසුන් මෝරුන්ගේ ප්‍රහාරවලට ලක්වන අවස්ථා වාර්තා වෙයි. කෙසේ නමුත් සාර ජීව විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට නම්, ධවල මෝරුන් මිනිසුන්ට පහර දෙන්නේ නැත.

ධවල මෝරුන් මිනිසුන්ට පහර දෙන්නේ මිනිසුන්ගෙන් තර්ජනයක් එල්ල අවස්ථාවක හෝ කිමිඳුම්කරුවකු වෙනත් සතකු යැයි වරදවා වටහා ගත් අවස්ථාවක පමණයි.

ලුසිත ජයමාන්න
බී.බී.සී. සහ රොයිටර් ඇසුරිනි

 


RECOMMEND POSTS