යේමනයේ මී පැණි අර්බුදයක්



ලොව හොඳම මී පැණි නිෂ්පාදනය කරන රටක් වන යේමනයේ මී පැණි කර්මාන්තය මේ වනවිට අර්බුද රැසකට මුහුණ පා ඇත.

ගුවන් ප්‍රහාර හා බිම් බෝම්බ හේතුවෙන් කර්මාන්තය පමණක් නොව මී මැසි පාලකයන්ගේ ජීවිත ද අවදානමට ලක්ව ඇත.

වසර තුනක් තිස්සේ මුළුල්ලේ පවතින සිවිල් යුද්ධය යේමනය ආර්ථික අර්බුදයකට හා සාගතයට තල්ලු කර තිබෙන අතර ඉතා ඉහළ මිලක් සහ වටිනාකමක් සහිත ගුණාත්මකභාවයෙන් ඉහළ මී පැණි නිෂ්පාදනය කෙරෙන යේමනයේ මී පැණි කර්මාන්තය ද අඩපණ කර ඇත.

ලොව ගුණාත්මකභාවයෙන් ඉහළම මී පැණි විශේෂයක් ලෙසින් හැඳින්වෙන යේමනයේ මී පැණි ‘සිද්ර්’ යනුවෙන් හඳුන්වයි.

“යුද්ධයට කලින් අපි විශාල වශයෙන් මී පැණි නිෂ්පාදනය කළා. එහෙත් අද එයින් අඩක්වත් නිෂ්පාදනය කරන්න හැකියාවක් නැහැ. රාත්‍රියේදී පෞද්ගලික ගොවිපොළ තැනින් තැනට ගෙන යනවා. මොකද ගුවන් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් තිබෙනවා” යේමනයේ සානා අගනුවර තිබෙන ප්‍රධානතම මී පැණි ගබඩාවකට හිමිකම් කයන ෆාරිස් අල් හව්රි කීය.

“අපි දන්න ගොවියන් දෙතුන් දෙනෙකුගේ ගොවිපොළවලට ගුවන් ප්‍රහාර එල්ල වුණ. එම බෝම්බ ප්‍රහාරවලින් ඔවුන්ගේ ගොවිපොළවල් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. අපි නොදන්න අයත් ඉන්නවා” ඔහු කීවේය.

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආණ්ඩුව යළි ස්ථාපිත කිරීම සඳහා සෞදි අරාබිය ප්‍රමුඛ ඔවුන්ගේ මිත්‍ර රටවල් 2015 වසරේදී යේමන අර්බුදයට මැදිහත් විය. එතැන් පටන් මේ දක්වා කාලයේදී සෞදි ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා ඉරානයේ සහාය ලබන හූති කැරැලිකරුවන් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර දහසකට වැඩි ප්‍රමාණයක් එල්ල කර තිබේ.

ඉන් බොහෝමයක් ප්‍රහාර ජනාකීර්ණ ප්‍රදේශවලට එල්ල වූ අතර සානා අගනුවර ප්‍රදේශවලට ද ගුවන් ප්‍රහාර එල්ල විය.

හූති කැරැලිකරුවෝ ආණ්ඩුවට විරුද්ධව සටන් වදින අතර විපක්ෂ කණ්ඩායම් සමඟ ද එක්ව සිටිති.

සිවිල් වැසියන් සිටින ප්‍රදේශවලට ද ගුවන් ප්‍රහාර එල්ල වී තිබෙන අතර පසුගිය සතියේදී සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා එල්ල කළ ප්‍රහාරයකින් කුඩා දරුවෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තමන් වුවමනාවෙන් සිවිල් වැසියන්ට පහර නොදෙන බවත් ප්‍රහාර එල්ල කරන්නේ හූති කැරැලිකරුවන්ගේ ඉලක්කවලට බවත් සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා සඳහන් කරයි. හූති සටන්කාමීන් ද තමන්ගේ භූමි ප්‍රදේශ ආරක්ෂා කරගැනීම සඳහා බිම් බෝම්බක වළලා ඇත.

යුද්ධයට පෙර යේමනය වසරකට මී පැණි ටොන් 50,0000කට වැඩි ප්‍රමාණයක් අපනයනය කළ නමුත් යුද්ධයෙන් පසු එම ප්‍රමාණය සියයට 50කට වැඩි ප්‍රතිශතයකින් පහත වැටී තිබේ.

ලක්ෂයකට ආසන්න යේමන වැසියන් පිරිසක් මී මැසි කර්මාන්තයේ යෙදී සිටින බව එරට මී මැසි පාලකයන්ගේ සම්මේලනය සඳහන් කළේය.  

“බොහෝ ගොවීන් තැනින් තැනට මාරු වෙනවා. ඔවුන් ප්‍රහාරයක ඉලක්කයක් වෙන්න පුළුවන්. වැරැදීමකින් හෝ බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ” යැයි යේමනයේ මී පැණි සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ සංවිධානයේ ප්‍රධානී අබ්දුල්ලා අබ්දුල්ලා යරීම් පැවැසීය.

හූති කැරැලිකරුවන් ආයුද ජාවාරමේ යෙදෙන බවටත් ඉරානයේ නිෂ්පාදිත අවි ආයුද ඊට යොදාගන්නා බවටත් චෝදනා කරමින් සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය මුහුදු මාර්ග අවහිර කර තිබෙන අතර දැඩි පියවර ද ගෙන තිබේ. ඉරානය සහ හූති කැරැලිකරුවන් යන පාර්ශව දෙකම එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

කෙසේ නමුත් එම ක්‍රියාමාර්ග නිසා ද මී පැණි අපනයනකරුවන්ට දුෂ්කරතා රැසකට මුහුණ දී තිබෙන අතර ඔවුන්ගේ මී පැණි අපනයන කිරීම ද වියදම අධික කටයුත්තක් බවට පත්ව ඇත. මී පැණි අපනයනය කිරීමට සිදුව ඇත්තේ සෞදි අරාබියේ තිබෙන එක් පිටවුම් ස්ථානයකිනි. සියපු අපනයන ගලා යන්නේ එම ස්ථානය හරහාය.

“මේ නිසා අර්බුද රැසක් ඇති වී තිබෙනවා. ප්‍රවාහන වියදම් වැඩි වී තිබෙනවා. ඒ නිසා මී පැණිවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවෙලා. ඒ නිසා අපි වගේම පාරිභෝගිකයොත් අමාරුවේ වැටිලා” යැයි යරීම් කීය.

යේමනය තුළ ඉහළම ගුණාත්මකභාවයෙන් යුතු සිද්ර් මී පැණි කිලෝවක මිල එක්සත් ජනපද ඩොලර් 100ක් වේ. ඉන් අනතුරුව තත්ත්වය අනුව එහි මිල ගණන් ඩොලර් 100ත් 68ත් අතර මිල ගණන්වලට අලෙවි වේ. යේමනයෙන් පිටත මී පැණි කිලෝවක් අලෙවි වන්නේ එක්සත් ජනපද ඩොලර් 180ක මිලකටය.

හර්ෂණ තුෂාර සිල්වා

(රොයිටර්)


RECOMMEND POSTS