මෝදි හෙට එනවා



පස් වසරක දෙවැනි ධුර කාලය සඳහා අතිවිශිෂ්ට ජනවරමක් හිමිවුණු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හෙට (9) උදෑසන කෙටි සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි. ඒ, දෙවැනි ධුර කාලය සඳහා, මෝදි දිවුරුම් දුන් අවස්ථාවේදී, ඊට සහභාගී වූ කලාපීය රාජ්‍ය නායකයන් අතර සිටි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ඇරැයුම පිළිගනිමිනි. මේ සටහන ඒ නිමිත්තෙනි.

නරේන්ද්‍ර දමෝදර්දාස් මෝදි යනු ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ රාජ්‍ය නායකයාය. මෝදි සිය දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දුන්නේ ඉන්දියාවේ 14 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙසය. 1950 සැප්තැම්බර් 17 වැනිදා උපත ලැබූ මෝදිගේ පියා දමෝදර්දාස් මුල්චාන්ද්ය. මව හීර්නාබෙන් මෝදිය. මෝදිගේ පවුලේ 6 දෙනෙකි. මෝදි පවුලේ තෙවැනියාය.

දේශපාලනයට පිවිසි මෝදිගේ පවුල් පසුබිමේ දේශපාලනයක් ගැවී නැත. කුඩා කාලයේ මෝදිට තිබුණේ එක සිහිනයකි. ඒ ඉන්දීය හමුදාවට බැඳීමටය. සයිනික් හමුදා පාසලේ අධ්‍යාපනය ලබන්න මුදල් නොතිබුණු බැවින් ඒ සිහිනය බොඳ වී ගියේය.
මෝදිගේ පියාට ගුජරාටයේ වද්නගර් දුම්රිය ස්ථානයේ කුඩා තේ කඩයක් තිබුණි. කුඩා කාලයේ මෝදි දුම්රිය ස්ථානය තුළ තේ විකුණුවේය. තමන් දුම්රිය වේදිකාවේත් දුම්රිය ඇතුළේත් තේ විකුණු බව මෝදි දේශපාලන වේදිකාවේ පවසා තිබේ. කුඩා කළ මෝදි ඉන්දියාව පුරා සංචාරය කළේය. ඇවිද්දේය. එහිදී ඔහුට ඉන්දියාව කෙතරම් විශාලදැයි පමණක් නොව, කෙතරම් විවිධාකාරදැයි දැනගන්න ලැබුණි. විවිධ ජනකොටස් ඇසුරු කරන්න ලැබුණි. හිමාල අඩවියට ගිය අවස්ථාවේදී යෝගී ආශ්‍රමයක යෝගීවරයකු ලෙස කාලය ගත කළේය.

ගුජරාටයේ විශාලතම නගරය ලෙස ද සැලකෙන අහ්මදාබාද් නුවරදී මෝදිට සිය පළමු රැකියාව ලැබුණි. ඒ, රාෂ්ත්‍රීය ස්වයම්සේවාක් සංග් පක්ෂ කාර්යාලයේ බිම සෝදා පිරිසිදු කිරීමය. මෝදි දේශපාලනයට අවතීර්ණ වෙමින් භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ වෙන්නේ 1987 දීය. මෝදි විවාහක ද යන්න බොහෝ දෙනා අසන පැනයකි. මෝදි විවාහ ගිවිසගත් අයෙකි. විවාහය සිදුවී ඇත්තේ සම්ප්‍රදායට අනුවය. මෝදිගේ මා පියන් ඔහු විවාහ කරවා ඇත්තේ ඔහුගේ ළමා කාලයේදීය. ඒ, ඔහු උපන් පළාතේ දැරියක සමඟය. ඇගේ නම ජශෝදාබෙන්ය. ජශෝදාබෙන් උපත ලබා ඇත්තේ 1952 වසරේදීය. විවාහය සිදුවී ඇත්තේ 1968 දීය. තමන් ළමා කාලයේ විවාහ වූ බව මෝදි ප්‍රසිද්ධියට පත් කළේ 2014 දී පැවැති මැතිවරණ රැලියකදීය. එකට වාසය නොකළත්, තමන් මෝදිගේ බිරිඳ බව ජශෝදාබෙන් ද පවසා ඇත. ජශෝදාබෙන් ගුරුවරියක ලෙස කටයුතු කර මේ වනවිට විශ්‍රාම සුවයෙන් පසුවන්නීය.

ඉන්දීය අගමැති ධුරයට පත් වීමට මෝදිට හැකි වූයේ වසර 13 ක් ගුජරාට ප්‍රාන්තයේ මහ ඇමැති ලෙස කටයුතු කරමින් ජනතා ප්‍රසාදයට පත් වුණු නිසාය. මහ ඇමැති ලෙස කටයුතු කළ වසර 13 පුරාවට මෝදි කිසිදු දිනෙක නිවාඩු ලබා ගෙන නැත. ඔහු ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කළ අයෙකි.

අගමැති මෝදිට ඉංග්‍රීසි බස හොඳින් හැසිරවිය හැකිය. එහෙත්, ඔහු ජාතික භාෂාව වන හින්දියෙන් කතා කරයි. ලියයි. අත්සන යොදන්නේ ද හින්දියෙනි. නව තාක්ෂණය සමඟ ඉන්දියාව ඉදිරියට ගෙන යෑමට අගමැති මෝදි කටයුතු කර තිබේ. තම දෙවැනි ධුර කාලයේදී ඉන්දියාව අභ්‍යවකාශයේ පෙරැළි කරනු ඇතැයි මෝදි පවසා තිබේ. ට්විටර් සමාජ ජාලය භාවිත කරන ලෝක නායකයන් අතර අගමැති මෝදි ද සිටී. ට්විටර් පමණක් නොව, සෙසු සමාජ ජාලා මාධ්‍ය හරහා ද මෝදි ඉන්දියානුවන්ට පමණක් නොව සමස්ත ලෝකයට සමීප වී සිටී. ඉන්දියාව පිරිසිදු සුන්දර තැනක් බවට පත් කිරීමට අගමැති මෝදි කැපවූයේ 2014 වසරේ පළමු වරට අගමැති ධුරයේ දිවුරුම් දීමෙන් පසුවය. ‘ස්වාච් භාරත්’ යනුයෙන් එම මෙහෙයුම ඉන්දියාව සිදු කෙරේ.

පසුගිය ලෝක්සභා මැතිවරණයෙන් මෝදි ප්‍රමුඛ ඔහුගේ භාරතීය ජනතා පක්ෂය අතිවිශිෂ්ට ජයක් හිමිවිය. එය 2014 වසරේ ලැබූ ජයග්‍රහණය අභිබවා යෑමක් විය. නේරු ගාන්ධි පරපුරේ උරුමය ලෙස සැලකෙන ප්‍රතිවාදී කොංග්‍රස් පක්ෂය 2014 දී මෙන් යළිත් වරක් දරුණු ලෙස පරාජයට පත්විය. ඉන්දීය ලෝක් සභා මැතිවරණය පසුගිය අප්‍රේල් 11 වැනිදා සිට මැයි 19 වැනිදා තෙක් පැවැත්වූයේ අදියර 7 කිනි. මැතිවරණයට මුහුණ දෙද්දී, ඉන්දියාවේ ආර්ථිකය කඩා වැටීමට ලක් වී තිබුණි. විරැකියාව ඉහළ ගොස් තිබුණි. ණය ගෙවා ගැනීමට නොහැකි වී ඉන්දීය ගොවීහු දිවි නසා ගන්න වූහ. ඉන්දීය ජනතාව මේ අයුරින් අර්බුද රැසකට මුහුණ පා සිටියත්, මැතිවරණයේදී ඔවුන්ට වැදගත් වූයේ එක් දෙයක් පමණි. ඒ, ජාතික ආරක්ෂාවය.

පසුගිය පෙබරවාරියේ, ඉන්දු කාශ්මීරයේ පුල්වාමා පළාතේ ඉන්දීය දේශසීමා පොලිස් භටයන් ඉලක්ක කර ගනිමින් පාකිස්තානයේ ක්‍රියාත්මක පාකිස්තානයේ අනුග්‍රහය ලැබෙනවා යැයි පැවැසෙන ඉස්ලාමීට බෙදුමාවාදී ත්‍රස්තයන් කළ ප්‍රහාරය, අගමැති මෝදි සහ ඔහුගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයට මැතිවරණය ජයග්‍රහණය කිරීමට හේතුවක් විය. පාස්කු දා සිදුවුණු ප්‍රහාරය අපට පමණක් නොව, ඉන්දියාව ඇතුළු කලාපීය සැම රටකටම ලොකු බලපෑමක් කළේය. එම ප්‍රහාරය ද මෝදි සහ භාරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහණයට හේතුවක් වූ බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.
දෙවැනි ධුරයේ දිවුරුම් දෙමින් අගමැති මෝදි කියා සිටියේ, කලාපීය රටවල් සමඟ සමීප සබඳතා පැවැත්වීමට තමන් කටයුතු කරන බවය. කලාපීය වශයෙන් ආරක්ෂාව තහවුරු කිරීමට තමන් පියවර ගන්නා බව මෝදි පවසා තිබේ. කෙසේ නමුත් සාම සාකච්ඡා පවත්වමු යැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කළ ඇරැයුමට අගමැති මෝදිගෙන් පිළිතුරු ලැබී නැත. ඒ, පුල්වාමා ප්‍රහාරය මුල්කොට ගනිමින් ඉන්දියාවත් පාකිස්තානයත් අතර පවතින එදිරිවාදිකම් මුල්කොට ගනිමිනි.

මෝදිගේ නව කැබිනට් මණ්ඩලය සාමාජිකයන් 58 දෙනකුගෙන් සමන්විත වෙයි. ඉන්දීය විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති, පරිනත රාජතාන්ත්‍රිකයකු ලෙස දෙස් විදෙස් කීර්තියට පත් සුබ්‍රමන්යම් ජයිශංකර්ට ඉන්දීය විදේශ ඇමැති ධුරය ලබා දීමට අගමැති මෝදි පියවර ගෙන ඇත. මෙය ඉන්දීය දේශපාලනයේ කැපී පෙනෙන සිදුවීමකි. ඉන්දීය දේශපාලන සම්ප්‍රදායට අනුව, ප්‍රධාන පෙලේ කැබිනට් අමාත්‍ය ධුර හිමිවන්නේ පක්ෂයේ කැපී පෙනෙන හිතවාදීන්ට සහ සන්ධානගතවන පක්ෂවල විශේෂ කාර්යභාරයක් ඉටුකරන සාමාජිකයන්ටය. විශ්‍රාමික රාජ්‍ය නිලධාරියකු වන සුබ්‍රමන්යම් ජයිශංකර් ට ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශ ලබා දීමට මෝදි කටයුතු කිරීම සම්ප්‍රදාය බිඳීමකි.

අගමැති මෝදිගේ නව රජයට සම්බන්ධ වී සිටින්නේ එක් මුස්ලිම් ඇමැතිවරයකු පමණි. ඒ, සුළු ජාතීන්ගේ කටයුතු පිළිබඳ අමත්‍යාංශය හිමිවුණු භාරතීය ජනතා පක්ෂ සාමාජික මුක්තාර් අබ්බාස් නක්වීය.  අබ්බාස් ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරයෙකි.  


RECOMMEND POSTS