මොකද වුණේ තුර්කි ජනපති කියයි



තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, පාර්ලිමේන්තුව අමතමින්, එරට ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේ දී ඇමෙරිකන් පුරවැසියකු මෙන්ම සෞදි ජාතික මාධ්‍යවේදියකු ද වන ජමාල් කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළේය.

කශොග්ජී කුරිරු අමානුෂික ලෙස ඝාතනයට ලක් වුණු බවත්, එය ඉතා සැලැසුම්සහගතව කළ දේශපාලනික ඝාතනයක් බවත් තුර්කිය සිදු කළ පරීක්ෂණවලින් පෙනී යන බවත් තුර්කි ජනාධිපතිවරයා කියා සිටියේය.

‘කශොග්ජී ඝාතනයට ලක්වී ඇති බව මේවනවිට සෞදිය නිල වශයෙන් පිළිගෙන තිබෙනවා. ඒක සෞදි අරාබිය ගත් බොහොම වැදගත් පියවරක්. කශෝග්ජී ඝාතනය සම්බන්ධයෙන් අපේ පරීක්ෂකයන් පරීක්ෂණ ආරම්භ කළා. එම පරීක්ෂණ කටයුතු දිගටම පරීක්ෂණ පවත්වනවා. ඝාතනයට ලක්වුණු කශොග්ජීගේ සිරුරු කොටස් තවමත් සොයා ගැනීමට හැකියාවක් ලැබිලා නැහැ. පරීක්ෂණවලින් දැනගත් කරුණු මම පැහැදිලි කරන්නම්’ යැයි කියමින් තුර්කි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ සිය කථාව ආරම්භ කළේය.

කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් සෞදි රජය ඉකුත් දා නිල නිවේදනයක් නිකුත් කළේය. සෞදි රජය කියා සිටියේ, ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේ දී කශොග්ජී රණ්ඩුවකට පැටැලී ඝාතනය වුණු බවත්, සිරුර කැබැලි කර, විනාශ කිරීමට, එම රණ්ඩුවට පැටැලුණු පිරිස උත්සාහ ගත් බවත්ය.

කශෝගජී මාධයවේදියකු ලෙස සෞදියේ සල්මාන් කුමරු දැඩි ලෙස විවේචනය කළ අයෙකි. කශොග්ජීගේ ඝාතනය සිදුවූයේ සෞදියේ සල්මාන් කුමරුන්ගේ අණ පරිදි යැයි චෝදනා එල්ල වී ඇත. කෙසේ නමුත් සෞදි රජය කළ නිවේදනයෙහි දැක්වෙන්නේ, සල්මාන් කුමරු එම ඝාතනය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවය.

තුර්කි ජනාධිපති පාර්ලිමේන්තුව අමතමින්, පළමුවෙන්ම කළේ කශෝග්ජී ඝාතනය සම්බන්ධයෙන් සිය කනාටුව පළ කිරීමය. ‘මුලින් මම කශොග්ජී වෙනුවෙන් සොව පළ කරනවා. ඔහුගේ පවුලේ අයට ඥාති මිත්‍රාදීන්ට,සෞදි වැසියන්ට පමණක් නොව ඔහුගේ මාධ්‍ය සගයන්ට මම කනගාටුව පළ කරනවා. සිදුවුණේ මොකක්දැයි අප කරුණු කාරණා පැහැදිලි කර ගනිමු.’

‘කශොග්ජී පළමු වරට සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වුණේ  සැප්තැම්බර් 28 වැනිදා. උදෑසන 11.50 ට. ඒ, ඔහුගේ නව කසාදය සම්බන්ධයෙන් අදාල ලියවිලි ලබා ගැනීම සඳහා විස්තර කතා කර ගන්නයි. මේ අවස්ථාවේදී තමයි, කශොග්ජී ඝාතනයට සියලු  සැලැසුම් සකස් කෙරුනේ. එදා කොන්සල් කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනකු ලහිලහියේ සෞදිය බලා ගිය බවට අපට සාක්ෂි ලැබී තිබෙනවා.’

‘පසුගිය පළමු වැනිදා, සඳුදා, සවස 4.30ට, මරණය සිදුවීමට දිනකට පෙර, සෞදි ජාතිකයන් තුන්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉස්තාන්බුල් පැමිණියා. ඒ, සාමාන්‍ය මගී ගුවන් යානයකින්. මුලින් ඔවුන්හෝටලයට ගොස් නැවැතුණා. කොන්සල් කාර්යාලයට ගියේ ඊට පසුවයි.’

‘මේ අතරේ සෞදි කොන්සල් කාර්යාලයේ නිලධාරීන්ගෙන් සමන්විත තවත් කණ්ඩායමක්, ඉස්තාන්බුල් බෙල්ග්‍රේඞ් සහ යලෝවා වනාන්තර පරීක්ෂා කරමින් සුදුසු තැනක් සොයා බලා ඇති බවට අපට තොරතුරු ලැබී තිබෙනවා’
‘පසුගිය දෙවැනිදා දහවල් 1.45 ට, පුද්ගලයන් තිදෙනකුගෙන් සමන්විත දෙවැනි කණ්ඩායම සාමාන්‍ය මගී ගුවන් යානයකින් සෞදියේ සිට ඉස්තාන්බුල් බලා පැමිණියා. ඔවුන් ද මුලින් කළේ හෝටලය බලා යෑමයි.’

‘නව දෙනකුගෙන් සමන්විත තුන්වැනි කණ්ඩායම, ඉස්තාන්බුල් ආවේ ඉන්පසුවයි. මොවුන් පැමිණියේ විශේෂ පෞද්ගලික ජෙට් යානයකින්. ඔවුන් නවාතැන් ගැනීමට ගියේ වෙනත් හෝටලයකට. මේ අනුව, කශොග්ජීගේ ඝාතනය සම්බන්ධයෙන්, සෞදියේ සිටි පැමිණි සියලුම දෙනාගේ ගණන 15 ක්. මොවුන් ඉකුත් දෙවැනිදා, 9.50 ත් 11.00 ත් අතර කාලයේ අවස්ථා කිහිපයකදී ඉස්තාන්බුල් සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වුණා.’

‘ඔවුන් මුලින්ම කර ඇත්තේ කොන්සල් කාර්යාලය තුළ ආරක්ෂක කැමරා පද්ධතිය අක්‍රිය කර දැමීමයි. 11.50 වෙද්දී, කලින් කතා කරගත් පරිදි අදාල ලියකියවිල ගැනීමට කොන්සල් ජනරාල්වරයා හමුවන්න පැමිණෙන්නැයි කශොග්ජීට ඇමැතුමක් ලැබෙනවා. කශොග්ජී ලන්ඩන් නුවර සිට ඉස්තාන්බුල් බලා පැමිණෙන්නේ ඒ අනුව. ඔහු ඉස්තාන්බුල් සෞදි කොන්සල් කාර්යාලයට ගොඩ වෙන්නේ දහවල් 1.08 ට. ඔහු විවාහ වීමට සූදානමින් සිටින තරුණියත් ඔහු සමඟ පැමිණෙනවා. ඇය පිටත රැඳී සිටිනවා’

‘සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළුවීමෙන් පසු, ජමාල් කශොග්ජි ගැන කිසිදු හෝඩුවාවක් ලැබෙන්නේ නැහැ. ඔහු අතුරුදන් වෙනවා. සවස 5.50 වෙද්දී, කශොග්ජී සමඟ විවාහ වීමට සූදානමින් සිටි තරුණිය බලධාරීන්ට දන්වා සිටිනවා, කශොග්ජී පැහැර ගැනීමකට ලක් වුණු බව හෝ කොන්සල් කාර්යාලයේ දී මොකක් හෝ විපතකට ලක් වන්න ඇති බව. ඒ අනුව, ඉස්තාන්බුල් පොලිසිය සහ තුර්කි ආරක්ෂක අංශ එක් වී, කශොග්ජී සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරනවා’
‘අපේ පරීක්ෂණ කණ්ඩායම්, සිදුවුණේ කුමක්දැයි සොයමින්, කොන්සල් කාර්යාලයට පිටතින් ඇති ආරක්ෂක කැමරා දසුන් ලබා ගෙන ඒවා පරීක්ෂා කළා. පරීක්ෂණ කණ්ඩායම් දෙකක් අංශ දෙකකින් පරීක්ෂණ සිදු කළා. වැඩිදුර සොයා බලද්දී, කරුණු කාරණා රැසක් ඉස්මතු වුණා’

‘ඝාතනය සිදුවූ දාට කලින් දා තුර්කියට පැමිණ කණ්ඩායමේ සෞදි ආරක්ෂක අංශ නිලධාරීන් පමණක් නොවෙයි, අධිකරණ වෛද්‍ය (වෝහාරක වෛද්‍ය) විශේෂඥයන් ද සිටියා. ඔවුන් කණ්ඩායම් දෙකක් වශයෙන්, ඝාතනය සිදුවුණු දා, පසුගිය දෙවැනිදා, සවස 6.20 ට සහ රාත්‍රී 10.55 ට පෞද්ගලික ගුවන් යානාවලන් යන්න ගියා.’

‘මැදියම් රැය පසුවෙද්දී, කශොග්ජී ජීවතුන් අතරු සිටින බව පෙන්වීමට, කශොග්ජීගේ උපැස් යුවළ පැළැඳි, රැවුලක් ඇති, ඔහුගේ ඇඳුම්වලින් සැරැසි අයෙක් තවත් අයකු සමඟ සෞදියේ රියාද් බලා ගුවන්ගත වී තිබෙනවා. ඒ, සාමාන්‍ය ගුවන් යානයකින්.’

‘ඝාතනය සිදුවුණු දා කොන්සල් කාර්යාලයේ නිලධාරීන් එක් කාමරයකට දැමීමට කටයුතු කර තිබෙනවා. ඒ, ඔවුන්ගේ රාජකාරි අධීක්ෂණය කරන බව පවසමින්. නේවාසිකව රැඳී සිටින කොන්සල් නිලධාරීන්ට ඒ දින කිහිපයේ ගන්නැයි දන්වා තිබුණා. පසුගිය 4 වැනිදා, කශොග්ජී ඝාතනය ලක් වුණැයි එල්ල කළ චෝදනා සෞදි රජය තරයේ ප්‍රතික්ෂේප කළා.’
‘පසුගිය 6 වැනිදා, කොන්සල් ජනරාල්වරයා, රොයිටර්ස් පුවත් සේවයේ මාධ්‍යවේදියකු කොන්සල් කාර්යාලයට ආරාධනා කර, බොහොම කලබලයෙන්, වටපිට බලන්න ඉඩ දුන්නා. ඔහු එසේ කර ඇත්තේ ඔහුගේ හොඳ නම රැක ගන්නයි. මේ අතර අපේ පරීක්ෂකයන් දිගටම ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු කළා. විදේශ කටයුතු අමත්‍යාංශය සෞදි තානාපති සහ එරට විදේශ කටයුතු අමත්‍යාංශය සමඟ සම්බන්ධ වී තොරතුරු හුවමාරු කර ගත්තා.’

‘විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට 11 දෙනකුගෙන් සමන්විත සෞදි පරීක්ෂණ කණ්ඩායමක් තුර්කියට පැමිණියේ පසුගිය 11 වැනිදායි. ඔවුන් අපේ පරීක්ෂකයන්ට සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමට අවසර ලබා දුන්නා.’
‘මුලින් අප තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. මේ සිද්ධිය වුණේ ඉස්තාන්බුල් නුවර. අපේ රටේ, මේ සිද්ධියට සම්බන්ධ පාර්ශ්ව පමණක් නොවෙයි, මේ සිද්ධිය සම්බන්ධයෙන් අපත් වගකියන්න ඕනෑ. සිදුවුණේ කුමක්දැයි ප්‍රශ්න කරමින්, ඒ පිළිබඳ සොයා බැලීම අපේ වගකීමක්. අප එය කළ යුතුයි. සිදුවුණු ඝාතනයට විරෝධය පාමින් අනෙක් රටවල් පවා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව මට පෙනෙනවා. සිදුවුණේ කුමක්දැයි සත්‍යය හෙළි නොකර සිටින්න අපට විදියක් නැහැ. හිතට එකඟව නිහඬව සිටින්න අපට බැහැ. පරීක්ෂණ කටයුතු දිගටම සිදු කරනවා’

‘අපේ පරීක්ෂණවල අරමුණ සත්‍යය දැන ගැනීම මිසක්, කිසිවකුට අපහාස කිරීම හෝ චරිත ඝාතන කිරීම හෝ නොවෙයි. මේ සම්බන්ධයෙන් පළමුවෙන් මම සෞදියේ සල්මාන් රජු සමඟ දුරකතනයෙන් කතා කළේ පසුගිය 14 වැනිදායි. ලැබුණු තොරතුරු සියල්ල පිළිවෙළින් ඔහුට ඉදිරිපත් කළා. සෞදි පරීක්ෂකයන් සමඟ එක් වී හවුලේ වැඩ කරන්න අපි එකඟත්වය පළ කළා. කොන්සල් කාර්යාලයට ඇතුළු වෙන්න අපේ පරීක්ෂණ කණ්ඩායම්වලට ඒ අනුව අවසර ලැබුණා.’

‘මේ අවසරය කොන්සල් ජනරාල්වරයා අපට කලින් ලබා දුන්නේ නැහැ. ඔහු විරෝධය පළ කළ ආකාරය අනුමත කළ නොහැකියි. මම ඒ බව සෞදියෙන් ආ පරීක්ෂණ කණ්ඩායමට පමණක් නොවෙයි සෞදි රජුටත් දැනුම් දුන්නා. එම කතාබහ සිදුවී දිනක් ගත වෙද්දී, කොන්සල් ජනරාල්වරයා සේවයෙන් ඉවත් කිරීම සිදුවුණා. ඔහු ආපසු රියාද් බලා ගියා. කොන්සල් කාර්යාලය තුළ පරීක්ෂණ ආරම්භ කෙරුණේ 18 වැනිදායි.’

‘ඝාතනය සිදුවී දින 17 ක් ගත වෙද්දී, පසුගිය 19 වැනිදා, සෞදි අරාබිය නිල වශයෙන් පිළිගත්තා කශොග්ජී ඝාතනයට ලක් වුණු බව. එදා රාත්‍රියේ සල්මාන් රජු මට ඇමැතුමක් දුන්නා. සෞදිය සිදු කළ පරීක්ෂණවලින් පසු, සිද්ධියට අදාල 18 දෙනකු අත්අඩංගුවට ගත් බව ඔහු මට කීවා. අත්අඩංගුවට ගත් පිරිස අතරේ, අපේ පරීක්ෂකයන් විසින් ඝාතනයට සම්බන්ධ යැයි හඳුනාගත් අය සිටිනවා. පසුගිය 21 වැනිදා, මම ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට දුරකතනයෙන් කතා කළා. පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් පමණක් නොව, අනාවරණය කරගත් සියලු තොරතුරු මම ඔහුට දැනුම් දුන්නා.’

‘කපා කොටා අමානුෂික ආකාරයට මරා දැමුණු කශෝගීගේ සිරුරු කොටස් මෙතෙක් හමුවෙලා නැහැ. ඒවා විනාශ කරන්න තුර්කි ජාතිකයන්ගේ සහාය හිමිවුණු බවට සෞදිය චෝදනා නනා තිබෙනවා. ඒක සත්‍යයක් වෙන්න බැහැ. ඒක සත්‍යයක් නම්, ඊට අදාල තුර්කි ජාතිකයන් කවුරුන්දැයි සෞදි රජය අපට කියන්න ඕනෑ.’ යැයි ද තුර්කි ජනාධිපතිවරයා අවසන් වශයෙන් කියා සිටියේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS