මොකක්ද මේ නිරෝධායනය ?



චීනබේ වූහාන් වලින් අැරඹී මේ වන විට ලෝකයේ රටවල් 120 ක් පුරා පැතිරී ගොස් හමාර කොවිඩ් 19 හෙවත් නව කෙරෝනා වෛරසය ලංකාවටද බලපෑම් එල්ල කරමින් සිටින්නේය.

ලංකාවේද කෙරෝනා වෛරස් ආසාදිතයින් හය දෙනෙකු ඊයේ (13) රාත්‍රිය වන විට තහවුරු වූ අතර තවත් 60 ත් එම වෛරසය ආසාදන වී ඇතැයි සැකයෙන් රෝහල්ගතව සිටිති.

කෙරෝනා වෛරසය මැඩපැවැත්වීමට නිසි බෙහෙත් නොමැති අතර මේ හෙයින් කොරෝනා වෛරසය පැතිරීම බහුල  ඉතාලිය හා දකුණු කොරියාව වැනි රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි මගීන් නිරෝධායනය කිරීමත් සමඟ නිරෝධායන පිළිබඳ පුළුල් කතිකාවතක් සමාජය තුල දක්නට ලැබුණා.මේ නිරෝධානය කුමක්දැයි යන්න මෙමඟින් විමසා බැලේ.

ඇත්තටම මේ නිරෝධායනය කියන්නේ කුමක්ද?

නිරෝධායනය එහෙම නැත්නම් quarantine, කියන ක්‍රියාදාමයේදී සිද්ධවෙන්නේ යම් රෝගකාරකයකට යම් කිසි හෝ අවස්ථාවක නිරාවරණය වී තිබීමට ඉඩ ඇති පුද්ගලයින් සමාජයේ අනිත් පුද්ගලයන් අතර ගැවසීම හැකිතාක් දුරට අවම කිරීමේ ක්‍රියාවලියක්. 

කෙනෙක් යම්කිසි රෝග කාරකයට නිරාවරණය වී යම් කාලයක් ගතවනතුරු රෝග ලක්ෂණ පිටතට නොපෙනී රෝගකාරකය ශරීරයේ තිබෙන්නට පුළුවන්. මෙය ‘බීජෞෂණ’ (Incubation Period) කාලය ලෙස හැඳින්වෙනවා. Corona රෝග තත්ත්වය බීජෞෂණ කාලය තුළ ද අනෙක් අයට සම්ප්‍රේෂණය වීමට ඉඩ කඩ තියෙනවා.

රෝග ලක්ෂණ නොමැති වුවද රෝගකාරකයට නිරාවරණය වී තිබීමට ඉඩ ඇති පුද්ගලයින් නිරෝධායන කිරීමට හේතුව මෙයයි.

ලංකාවේ නිරෝධායන පනත ඉතාම බලසම්පන්න එකක්.  ඊට අනුව,  නිරෝධායනය ට යොමු කරන ලද පුද්ගලයෙක් එයට පරිබාහිරව කටයුතු කළහොත්,  දඬුවම් පැමිණවීමට බලතල ලැබී තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන් ලෙසට අප මෙම නිරෝධායන ක්‍රියාවලියට අපගේ පූර්ණ සහයෝගය ලබාදිය යුත්තේ අප ඒ සඳහා නීතියෙන් බැඳී සිටින නිසාම පමණක් නොව එය අපගේ ආදරණීයන්ගේ ආරක්ෂාවට ද ඉතාමත්ම වැදගත් නිසාය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඇසුරෙනි
සටහන - තිළිණි ද සිල්වා 

RECOMMEND POSTS