මොකක්ද මේ කටාර් අර්බුදය?



තෙල් සහ වායුවලින් පෝෂිත කුඩා ගල්ෆ් කලාපීය රාජ්‍යයක් වන කටාරය ‘හුදෙකලා’ කිීමට ගල්ෆ් කලාපීය සෙසු බලවත් රටවල් මේ වනවිට පියවර ගෙන ඇත. ඒ, ත්‍රස්ත සංවිධානවලට අනුග්‍රහය දක්වනවා යැයි කටාර් රාජ්‍යයට චෝදනා නගමිනි.

මෙය හිටිහැටියේ ඇති වූ තත්ත්වයක් නොවෙයි. කටාර් රාජ්‍යය සහ අසල්වැසි ගල්ෆ් රටවල් අතරේ වසර ගණනාවක් තිස්සේ මත ගැටුම් පැවැතිණි. වාද විවාද පැවැතිණි. ගල්ෆ් කලාපීය බලවතා සෞදිය, කටාරයට නිරන්තරයෙන් ප්‍රශ්න මතු කළේය. වසර ගණනාවක් තිස්සේ සෞදිය සහ කටාරය අතර සීතල යුද්ධයක් පැවැතිණි.

කටාරය හුදෙකලා කිරීමට සෞදිය ප්‍රමුඛ සෙසු ගල්ෆ් කලාපීය රටවල් කටයුතු කිරීමත් සමඟ කටාරයට එහි බලපෑම දැනෙන්න පටන් ගෙන ඇත. කටාරයේ වෙළෙඳසැල්වල භාණ්ඩ හිඟයක්, ආහාර හිඟයක් නිර්මාණය වෙමින් පවතී. කටාරයට ලැබෙන ආහාර ද්‍රව්‍යවලින් සියයට 40 ක් ලැබෙන්නේ සෞදියේ සිට දේශසීමා හරහාය. මේ වනවිට එම දේශසීමා මුළුමනින්ම වසා දමා තිබේ. ගුවන් මගින් හෝ මුහුදු මාර්ග ඔස්සේ ද කටාරයට කිසිදු භාණ්ඩයක් පැමිණෙන්නේ නැත.

2022 වසරේ දී ලෝක කුසලාන පා පන්දු තරගාවලිය කටාර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතය. මෙම අර්බුදය උත්සන්න වන විට, කටාරය ඒ සඳහා ලහිලහියේ සූදානම් වෙමින් සිටියේය. ක්‍රීඩාංගන 8 ක් ඉදි කරමින් සිටියේය. සෞදි කටාර් දේශසීමා වසා දැමීමෙන් එම ඉදිකිරීම් කටයුතු මේ වනවිට නැවැතී ඇත. ඒ අවශ්‍ය අමුද්‍රව්‍ය නොලැබීමෙනි. මේ හේතුව නිසා, 2022 ලෝක කුසලාන පා පන්දු තරගාවලියට ද මෙයින් බාධා එල්ල වී ඇත.

කටාර් රාජ්‍ය ගුවන් සේවය තහනම් කිරීමත් සමඟ ජාත්‍යන්තර ගුවන් ගමන් සම්බන්ධයෙන් පමණක් නොව, මුළු ලොවටම බලපෑමක් වන තෙල්  මිල සම්බන්ධයෙන් ද අර්බුදයක් නිර්මාණය වී ඇත. තෙල් මිල මේ වනවිට ඉහළ යමින් පවතින බව ද වාර්තා වේ.

සෙසු ගල්ෆ් කලාපීය රටවල් මෙන් නොව, කටාරයේ විදෙස් ප්‍රතිපත්ති සැමවිටම වෙනස් ස්වරූපයක් ගෙන තිබුණි. එම ප්‍රතිපත්ති සෙසු ගල්ෆ් කලාපීය රටවල් අතර මත ගැටුම් නිර්මාණය කිරීමට සමත් වී තිබුණ ද කටාරය සහ සෙසු ගල්ෆ් රටවල් සමඟ නොහොඳ නෝක්කඩු නිර්මාණය වී, කටාරය හුදෙකලා කිරීමට මඟ පාදා දුන්නේ ප්‍රධාන කාරණා දෙකක් නිසා යැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
පළමු වැන්න කලාපීය ඉස්ලාමීය අන්තවාදී සංවිධානවලට කටාර් රජයේ සහාය හිමිවිය. ගල්ෆ් රටවල් රැසක තහනමට ලක්ව ඇති ‘මුස්ලිම් සහෝදරත්වය’ දේශපාලන කණ්ඩායමට පවා කටාර් රාජ්‍යයේ අනුග්‍රහය හිමිවෙයි. දෙවැනි කාරණාව, කටාරය ෂියා මුස්ලිම් බහුතරයක් වෙසන ඉරානය සමඟත් සුන්නි මුස්ලිම් බහුතරයක් වෙසෙන සෞදි අරාබිය සමඟත් සමසමව සබඳතා පැවැත්වීමය. සෞදිය මෙයට එක හෙළා විරෝධය පළ කර සිටී.

මෙම කරුණු දෙක පසුගිය මාසයේ ඉතා උණුසුම් අයුරින් කරළියට පැමිණියේය. ඒ, කටාර් වෙබ් අඩවියක පළ වුණු කටාර් රජය සම්බන්ධ පුවතක් මුල්කොට ගනිමිනි. එම පුවතෙහි සදහන් වූයේ කටාර් එමීර්වරයා දැඩි ලෙස ඇමෙරිකාව විවේචනය කිරීමකි. පුවතට අනුව කටාර් එමීර්වරයා ඇමෙරිකාවට දොස් පැවැරුවේ ඇමෙරිකාව ඉරානයට කරන කෙණෙහිලිකම් සම්බන්ධයෙනි. ඒ වනවිට ඉරානය ගල්ෆ් කලාපීය ස්ථාවරත්වයට හානියක් යැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පමණක් නොව ජනපති ට්‍රම්ප් ද පවසා තිබුණි.

වෙබ් අඩවියේ වූ පුවත සත්‍යයක් නොවන බවත්, කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී එවැනි ප්‍රකාශයක් සිදුනොකළ බවත්, එය පරිගණක හැකර්වරුන් පිරිසක් කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් කටාර් රජය එක හෙළා පැවැසීය. හැකර්වරුන්ගෙන් කටාර් පුවත් වෙබ් අඩවිවලට එල්ල වුණු එම ප්‍රහාර සම්බන්ධයෙන් කටාර් ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කළ අතර ඇමෙරිකාව කියා සිටියේ එෆ්.බී.අයි. පරීක්ෂකයන්ගේ සහාය ද කටාර් බලධාරීන්ට ලබා දුන් බවය. සෞදිය සහ සෙසු ගල්ෆ් කලාපීය රටවල් කටාරයට එරෙහිව නැගී සිටියේ මෙම අවස්ථාවේදීය. කටාරය කියා සිටියේ තමන්ට එරෙහිව පදනම් විරහිත චෝදනා එල්ල වෙන බවය.

කටාරය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමට සෞදිය තීරණය කරද්දී, ඊජිප්තුව ද එක පයින් කටාරය කපා හැරියේය. ඒ, මුස්ලිම් සහෝදරත්වය දේශපාලන පක්ෂය වත්මන් ඊජිප්තු රජයට ‘හිසරදයක්’ වුණු බැවිනි. අද වනවිට මෙම පක්ෂය ඊජිප්තුවේ තහනම් කර ඇත්තේ එය ත්‍රස්ත සංවිධානයක් ලෙස ‘හංවඩු’ ගසා දමාය. පක්ෂයේ නායකයන් සැමටම පාහේ මරණ දඬුවම ලබා දී ඇත.

සෞදි අරාබියට සහ ඊජිප්තුවට අමතරව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය කටාරයේ පිහිටා ඇති ඔවුන්ගේ තානාපති නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ආපසු ගෙන්වා ඇත. ඊට අමතරව, එම රටවල කටාර් තානාපති නිලධාරීන්ට රටින් පිටවෙන්නැයි සති තුනක කාලයක් ලබා දී තිබේ. සෞදිය, එක්සත් අරාබි එමීරය සහ බහරේනය ඔවුන්ගේ රට වැසියන්ට කටාර් යෑම පවා තහනම් කළේය. සෞදිය ගත් තීරණයට සහාය දැක්වීමක් ලෙස යේමනය සහ ලිබියාව ද කටාර් රාජ්‍යය සමඟ සම්බන්ධකම් අත්හිටුවා දැමීමට තීරණය කළේය. ඊට අමතරව, ආසියාවට අයත් මාලදිවයින පවා තීරණය කළේ කටාර් රාජ්‍යය සමඟ පවතින සබඳතා නවතා දැමීමටය.

ත්‍රස්තවාදයට උඩගෙඩි දෙනවැයි චෝදනා එල්ල වුවත් අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයට එරෙහි සටනේදී ඇමෙරිකාව සමඟ සමීපව කටයුතු කරන ගල්ෆ් කලාපීය රාජ්‍යයක් ලෙස ද කටාර් හැඳින්විය හැකිය. ජිහාද් සංවිධාන (අල් කයිඩා සහ අයි.එස්. වැනි) සඳහා කටාරය මුදල් ආධාර ලබා දෙනවා යැයි ඉරාකයේ ෂියා නායකයින් අවස්ථා ගණනාවකදී කටාර් රජයට චෝදනා කර තිබුණ ද කටාර් රජය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි. තවත් ප්‍රසිද්ධ රහසක් නම්, සිරියාවේ බෂාර් අල් අසාද්ට එරෙහිව සටන් වදින කැරැලිකාර කණ්ඩායම්වලට අවි ආයුද දී ශක්තිමත් කරන ගල්ෆ් කලාපීය රටවල් දෙක කටාර් සහ සෞදි අරාබියයි. අල් කයිඩා සංවිධානයේම කොටසක් වන ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සංවිධානය සමඟ සම්බන්ධකම් පවත්වනවා යැයි කටාරයට දිගින් දිගටම චෝදනා එල්ල වන අතර, කටාරය එය තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

මීට අමතරව ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානය, ඔවුන්ගේ ජාත්‍යන්තර ශාඛා කාර්යාලය පිහිටුවා ඇත්තේ ද කටාරයේ දෝහා නුවරය. මෙම කාර්යාලය පිහිටුවනු ලැබුවේ 2013 වසරේදීය. ඒ, කටාර් රජයේ අනුග්‍රහය මැදය. ජාත්‍යන්තරය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමේ අරමුණ ඇතිව යැයි කියමින් මෙම කාර්යාලය පිහිටුවනු ලැබුණි. තලේබාන් සංවිධානය ඔවුන්ට අවශ්‍ය මූල්‍ය ආධාර ලබා ගැනීම සිදු කරන්නේ මෙම කාර්යාලය හරහා යැයි ද පැවැසෙයි.

පසුගිය වසර පුරාවට දස දහස් ගණනින් පිරිස් කටාරයට පැමිණෙන්න වූයේ රැකියා අපේක්ෂාවෙනි. 2003 වෙද්දී, එම පිරිස ද ඇතුළත්ව කටාර් රාජ්‍යයේ ජනගහනය 7,00,000 සිට මිලියන 2.7 තෙක් ඉහළ ගියේය. කටාරයට තහනම් පැනැවූ ඊජිප්තුව පවසන්නේ ඔවුන්ගේ වැසියන් 1,80,000 ක් කටාර් රාජ්‍යයේ වාසය කරන බවය. එයින් බොහෝ දෙනා ඉන්ජිනෙරුවන්, වෛද්‍යවරුන්, නීතීඥයන් සහ ඉදිකිරීම් සේවකයන් යැයි ද පැවැසෙයි.

පිලිපීන ජාතික ශ්‍රමිකයන් 2,00,000 ක පිරිසක් කටාරයේ සේවය කරන බව පැවැසෙයි. කටාර් අර්බුදය විසඳෙන තුරු කටාරයට ශ්‍රමිකයන් යැවීම නැවැත්වීමට තීරණය කළේ යැයි පිලිපීන රජය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

ලුසිත ජයමාන්න

 


RECOMMEND POSTS