මුල්ම රෝගියා ගැන හෝඩුවාවක්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය, කොරෝනා නමින් හැඳින්වෙන වයිරස පවුලේ අලුත්ම සාමාජිකයා ය. කොරෝනා යනු සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන වයිරසයකි.

‘කොවිඞ් 19’ නව කොරෝනා වයිරසය වවුලන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන්න ඇත්තේ අතරමැදි සත්වයකු හරහා බව අනුමාන කෙරේ. එම අතරමැදියා කබල්ලෑවා යැයි ද සැකයක් පවතී. සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වීමෙන් පසු වයිරසය ඉවක් බවක් නොමැතිව මිනිසුන් අතරේ පැතිරෙන්නේ විකෘති වීමෙනි.

චීනයේ වයිරස ආසාදිතයන් සංඛ්‍යාව කෙමෙන් පහළ යද්දී, ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ වයිරසය දරුණු ලෙස පැතිරෙයි. අද චීනයෙන් පිට වැඩිම ආසාදිතයන් හමුවී ඇත්තේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාව තව දුරටත් ලෝක බලවතා නොවන බව චීන වයිරසය අපට ඒත්තු ගන්වා ඇත. වයිරසයට තවමත් ප්‍රතිකර්මයක් සොයාගෙන නැත. එයි සුලමුල සොයා දිගටම විමර්ශන පැවැත්වෙයි. වයිරසය ආසාදනය වූ පළමු ආසාදිතයා (ඉංග්‍රීසියෙන් මෙම ආසාදිතයා හැඳින්වෙන්නේ පේෂන්ට් සීරෝ යනුවෙනි) සොයා ගතහොත් වයිරසයට ප්‍රතිකර්මයක් සෙවීම පහසුවක් වෙයි.

වයිරයේ ආරම්භය සහ ව්‍යාප්තිය ඇරැඹුණේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් සත්ව හා මත්ස්‍ය වෙළෙඳපොළෙන් බව තහවුරු වී ඇත. මුල්ම රෝගීන් සහ මෙම වෙළෙඳපොළ අතරේ සම්බන්ධයක් පවතින බව ද තහවුරු වී ඇත. ‘පේෂන්ට් සීරෝ’ ලෙස මෙම වෙළෙඳපොළේ වෙළෙන්ඳියක හඳුනා ගැනීමට වූහාන් සෞඛ්‍ය බලධාරීන් සමත් වී ඇති බව චීන පුවත් සේවා පමණක් නොවෙයි, ඇමෙරිකන් පුවත් සේවා ද වාර්තා කර තිබේ. ‘පේෂන්ට් සීරෝ’ ලෙස හඳුනා ගත් මෙම තැනැත්තිය 57 හැවිරිදි වෙයි ගුවිසියන් ය. මැය වූහාන් නුවර මාළු වෙළෙඳසැලේ කූනිස්සන් වෙළෙන්ඳියකි. කාන්තාව වෙළෙඳපොළේ කූනිස්සන් අලෙවි කරමින් සිටිද්දී රෝගී වී ඇත.

ඇය සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර, ඇය භාවිත කර ඇත්තේ ද වෙළෙඳපොළේ පොදු වැසිකිළියයි. වෙළෙඳපොළේ වෙළෙන්ඳන් අතරේත්, වෙළෙඳපොළෙට පැමිණෙන වෙනත් පුද්ගලයන් අතරේත් රෝගය ව්‍යාප්ත වන්න ඇත්තේ ඒ අනුව යැයි සැක කෙරේ. දෙසැම්බර් 31 දා වූහාන් නාගරික සෞඛ්‍ය කොමිෂන් සභාව මෙම කාන්තාව වයිරස ආසාදිතයකු බව තහවුරු කර ඇත.

කාන්තාව රෝගී වූ අයුරින්ම රෝගී වී රෝහල්ගත කළ 27 දෙනකුගෙන් 24 දෙනකුට කාන්තාව කූනිස්සන් විකිණීම කර ඇති බව විමර්ශනයේදී තහවුරු විය. වූහාන් සෞඛ්‍ය බලධාරීන් මෙසේ පැවැසුවත් වෙයි ගුවිසියන්, ‘පේෂන්ට් සීරෝ’ යැයි චීන සෞඛ්‍ය බලධාරීන් නිල වශයෙන් අනාවරණය කර නැත. ඔවුන් වූවාන් සෞඛ්‍ය බලධාරීන්ට පවසා ඇත්තේ වයිරසයේ සුලමුල සොයමින් දිගටම විමර්ශන කටයුතු සිදු කරන ලෙසටය. රෝගී වූ වෙයි ගුවිසියන් මාසයක් යද්දී සම්පුර්ණයෙන් සුවය ලැබුවාය.

“පසුගිය දෙසැම්බර් 10 වැනිදා, මට මහන්සි ගතියක් දැණුනා. මෙම වසරේත් දෙසැම්බරයේ සීතල කාලගුණයක් තිබුණා. ඒත් වෙනදාට වඩා මට මහන්සියක් දැනෙන්න වුණා. අසනීප ගතියක් දැනෙන්න වුණා. මා සායනයට ගියා බෙහෙත් ගන්න. බෙහෙත් ගත්තට පස්සේ මා සුපුරුදු පරිදි වෙළෙඳාමේ ගියා. මාගේ රෝගී තත්ත්වය උත්සන්න වුණා. මා වූහාන් ප්‍රාදේශීය රෝහලට ගියා ප්‍රතිකාර ගන්න. මගේ අසනීප තත්ත්වය හඳුනා ගන්න බැහැ වෛද්‍යවරුන් කීවා. ඒත් ඔවුන් මට බෙහෙත් දුන්නා.” යැයි වෙයි ගුවිසියන් ඇගේ අත්දැකීම් විස්තර කර තිබේ.

“දින පහක් යද්දී මට සිහිය නැතිවුණා. දෙසැම්බර් 16 වැනිදා වූහාන් යූනියන් රෝහලේ දී මා ඇතුළත් කෙරුණා. එහිදී මා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබෙනවා. මගේ රෝගයට සමාන රෝග ලක්ෂණ ඇති රෝගීන් කිහිප දෙනකු වාර්තා වී ඇති බව වෛද්‍යවරුන් මට පැවැසුවා.” යැයි වෙයි ගුවිසියන් පැහැදිලි කරයි. වෙයි ගුවිසියන් රෝගී වුවත්, ඇගේ සැමියා, දියණිය, පුතා සහ ලේලිය රෝගී වී නැත. පැතිර යන හඳුනා නොගත් වයිරසය සමඟ වූහාන් සත්ව හා මුහුදු ආහාර වෙළෙඳපොළේ සම්බන්ධයක් ඇති බව අනාවරණය වෙද්දී, එම වෙළෙඳපොළ කඩිනමින් සීල් තැබුණි. පැතිර යන්නේ කෙරෝනා වයිරස පවුලේ මෙතෙක් හඳුනා නොගත් වයිරසයක් බව තහවුරු වූයේ දෙසැම්බර් 31 වැනිදා ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවදානය ඊට යොමු වූයේ ඉන්පසුවය. දෙසැම්බර් 31 වනවිට වූහාන් කේන්ද්‍රකොට ගනිමින් වාර්තා වූ වයිරස ආසාදිතයන් ගණන 266 ක් විය. එය කෙමෙන් කෙමෙන් වැඩිවෙමින් වසංගත තත්ත්වයක් දක්වා දුරදිග ගියේ ඉන්පසුවය.

වෝල් ස්ට්‍රීට් ජර්නල් ඇසුරිනි


RECOMMEND POSTS