මී මැසි යෝධයා හමුවෙලා



මී මැස්සන් අතර සිටින යෝධයා ලෙස සැලකෙන්නේ ‘වොලන්ස් යෝධ මී මැස්සා’ය. වඳවී යන්න ඇතැයි විශ්වාස කළ මේ මී මැස්සන් වසර 38 කට පසු යළි සොයා ගැනීමට ගවේෂණ කණ්ඩායමකට හැකිවී තිබේ. ඒ, ඉන්දුනීසියාවේ වනාන්තරයකිනි.

සාමාන්‍ය යුරෝපියානු ‘හනි බී’ (අප මී පැණි ලබා ගැනීම සිදුකරන) මී මැස්සන් හා සන්සන්දනය කරද්දී, වොලන්ස්ගේ යෝධ මී මැස්සා සැබැවින්ම යෝධයෙකි. සාමාන්‍ය මී මැස්සකුට වඩා සිවු ගුණයකින් වොලන්ස්ගේ යෝධ මී මැස්සා විශාලය. වොලන්ස්ගේ යෝධ මී මැස්සා අනෙක් මී මැස්සන් මෙන් සිය ගණනින් විශාල ජනපදවල ජීවත් වන්නේ නැහැ. මොවුන්ගේ මී වදය ඉතා කුඩා වන අතර, මී මැස්සන් සිටින්නේ අතලොස්සකි. 1981 වසරෙන් පසු යළි වොලන්ස්ගේ යෝධ මී මැස්සන් හමුවුණේ වසර 38 ක විරාමයකින් පසුවය.

සොයා ගැනීමට විද්‍යාඥ කණ්ඩායමක් සම්බන්ධ වුවත් මුලින්ම මී මැස්සන් සිටින බවට හෝඩුවාවක් ලබා දුන්නේ වන ජීවී ඡායාරූප ශිල්පී ක්ලේ බෝල්ට් ය. බෝල්ට් සමඟ ඕස්ටේ්‍රලියානු, කැනඩා සහ ඉන්දුනීසියානු විද්‍යාඥයන් පිරිසක් ඉන්දුනීසියාවේ රහස් සැඟවුණු වනාන්තරවල ගවේෂණය කර ඇත්තේ වේයන් විශේෂ සොයමිනි. එසේ සොයමින් යද්දී පොළෙව මට්ටමේ සිට මීටර් දෙකක් ඉහළින් ගසක පිහිටි හුඹසක් කෙරෙහි බෝල්ට්ගේ අවධානය යොමු වී ඇත. එම හුඹසේ වේයන් නොව සිටින්නේ අමුතු යෝධ දෙඹරකු වැනි මී මැස්සකු බව ඇතුළු පිරිසට වැටහී ඇත. ඒ, වොලන්ස්ගේ මී මැස්සා බව පසුව හඳුනා ගන්නා ලදී. මී මැස්සන් හමුවුණු ඉන්දුනීසියා වනාන්තරය මුළුමනින්ම ගවේෂණය කර නැති බව පැවැසෙයි. වනාන්තරයේ ඇතැම් ප්‍රදේශවලට මිනිසුන් පය තබා නැත.

මේ යෝධයා වොලන්ස්ගේ මී මැස්සා යැයි කියන්නේ, මේ මී මැස්සන් මුලින්ම ලොවට හඳුන්වා දීම කළේ ඇල්ෆ්‍රඞ් රසල් වොලෙන්ස් විසිනි. ඇල්ෆ්‍රඞ් රසල් වොලෙන්ස් යනු බි්‍රතාන්‍ය ජාතික ස්වභාවවේදියෙකි. වොලෙන්ස් මේ යෝධ මී මැස්සා සොයා ගත්තේ 1859 වසරේදීය. ඊට පසු මේ මී මැස්සන් ලොවෙන් වඳවී යන්න ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කළහ. දෙඹරකු හා සමාන මේ යෝධ මී මැස්සා මුලින්ම සොයා ගත්තේ 1858 දීය. තමන්ට හමුවුණු යෝධ මී මැස්සිය, වොලන්ස් විස්තර කර ඇත්තේ මෙසේය. ‘මේ මී මැස්සා යෝධයෙක්. පෙනුමින් දෙඹරෙකු වගේ. ලොකු කුරුමිණියකුගේ මෙන් හකු පිහිටා තිබෙනවා’.

පියාපත් විදහා කළ වොලන්ස්ගේ යෝධ මී මැස්සාගේ ප්‍රමාණය අගල් 2 1/2 කි. කෙසේ නමුත් 1981 වෙද්දී, මී මැස්සන් වඳ වී ගියේ යැයි විද්‍යාඥයන්ගේ පිළිගැනීම විය. කෙසේ නමුත් වොලන්ස්ගේ යෝධ මී මැස්සන් යළි සොයා ගැනීමට ඇමෙරිකන් පර්යේෂක කෘමි විද්‍යාඥ ඇඩම් මේසර් සමත් විය. එදා, මේසර් ට යෝධ මී මැස්සන්ගේ මී වද හයක් සොයා ගැනීමට හැකි විය. ඒ, ඉන්දුනීසියාවට අයත් බේකන් දූපතෙනි. අවාසනාවකට එම වසරේම, යෝධ මී මැස්සන් යළි වඳවී ගොස් ඇත. වොලන්ස් සහ මේසර්ගෙන් පසු යළිත් වරක් මේ මී මැසි යෝධයා සොයා ගැනීමට හැකිවූයේ ක්ලේ බෝල්ට් ය.

වොලන්ස්ගේ යෝධ මී මැස්සා ගැන විද්‍යාඥයන් වැඩි විස්තර දන්නේ නැහැ. මී මැස්සන්ගේ ජීවන රටාව කොහොමදැයි කියන්න හරියටම දන්නේ නැහැ. 1984 දී, මී මැස්සන්ගේ ජීවන රටාව ගැන ලිපියක් ප්‍රසිද්ධියට පත් වුණත් ඉන්පසු කිසිදු විස්තරයක් පළ වී ඇත්තේ ද නැහැ. වනාන්තරවලින් මේ මී මැස්සන් හමු නොවුණත්, 1991 වසර තෙක් පෞද්ගලික මී මැසි එකතු කරන්නන් කිහිප දෙනකු ළඟ වොලන්ස් යෝධ මී මැස්සන්ගේ වද තිබුණි.

මී මැස්සන් ගැන කතා කරද්දී, අපට උන් මතක් වෙන්නේ උන්ගේ විස දෂ්ටනයත් සමඟයි. සොබාදහමට මී මැස්සන්ගෙන් කෙරෙන කාර්යය සුළුපටු නොවෙයි. මී මැස්සන් නිසා පරාගනය සිදුවෙයි. මල් පිපෙයි. ගෙඩි හට ගනී. මී මැස්සන් මිනිසාට අහිතකර පශූ සම්පත්වලට හානි කරන කෘමීන් (පළිබෝධ) මැඩලීම සිදු කරයි. සමනලයන් ආදී අනෙක් රොන් උරන සතුන් මෙන් නොව, පරාගනයට මල් පිපෙන්න මී මැස්සන්ගෙන් ඉටුවන මෙහෙවර අතිමහත්ය.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS