මිහිකත සිපගන්න ග්‍රහකයක් එනවා



වසර 2046 වැලන්ටයින් දිනය දා පෘථිවියේ හැපෙන්න අලුත් ග්‍රහකයක් එනවා! ඒ නිසා 2046 වැලන්ටයින් දිනයට සැලසුම් කිසිවක් කරන්නට එපා යැයි ඇමරිකන් නාසා ආයතනය පසුගියා නිවේදනයක් නිකුත් කළේ අනතුරු ඇඟවූයේ පුංචි උපහාසයකිනි. නාසා විද්‍යාඥයන් මේ වනවිට මෙම ග්‍රහකයේ ප්‍රමාණයත්, එන එල්ලයත්, වේගයත් නිර්ණය කර තිබේ. ඒත් ග්‍රහකය පෘථිවියේ හැපෙන ස්ථානය කුමක්දැයි කීමට ඔවුන්ට හැකියාවක් ලැබී නැහැ. 2023 DW කියා නම් කර ඇති මේ ග්‍රහකය දිගින් අඩි 165 කි.

කෙසේ නමුත් බොරුවට කලබල වෙන්න හෝ බය වෙන්න හෝ හේතුවක් නැත. 2023 DW ග්‍රහකය 2046 පෙබරවාරි 14 වැනිදා පෘථිවිය හා ගැටෙන්නට ඇති ඉඩකඩ ඇත්තේ 560කට එකක් වශයෙනි. විදයාඥයන් විශ්වාස කරන විධියට එය වැටෙන්නට ඉඩ ඇත්තේ ලොස් ඇන්ජලීස් නගරයට හෝ වොෂින්ටන් ඩීසීවලට හෝ හවායි දූපතටය. නාසා ආයතනය මේ අනතුරුදායක ග්‍රහකය පිළිබඳව හෙළිදරවු කළේ පසුගිය සතියේය.

2023 DW ග්‍රහකය වැටෙතැයි විශ්වාස කරන කලාපය වැටී ඇත්තේ ඉන්දියන් හා පැසිපික් සාගරය හරහාය. එය පෘථිවිය හා හැපෙන විට එය මීට වසර 144කට පෙර, රුසියන් සයිබීරියාවේ තුන්ගුස්කාවට පතිතවුණු අඩි 160ක් දිග උල්කාපාතය ඇති කළ, මහා පිපිරුමට වඩා 10 ගුණයක් ප්‍රබල පිපිරීමක් සහ කම්පනයක් නිර්මාණය කරනු ඇත. සයිබීරියාවේ තුන්ගුස්කාවට කඩා වැටුණු උල්කාපාතයෙන් හටගත් න්‍යෂ්ටික පිපිරුමෙන් මිලියන 80ක් පමණ ගස්වලින් සමන්විත විශාල බිම් ප්‍රදේශයක වනාන්තරයක් පොළොවට සමතලා විය.

2023 DW ග්‍රහකය පෘථිවියෙහි හැපෙන්නට ඇති සම්භාවිතාව ටිකෙන් ටික වෙනස් වෙමින් පවතී ඒ, එක එක තරකා විද්‍යාඥයන්ගේ ගණනය කිරීම් අනුවය. පසුගිය මාර්තු 1 වැනිදා එක් ඉතාලි තාරකා විද්‍යාඥයකු පෙන්වා දුන්නේ එය පෘථිවියෙහි ගැටෙන්නට ඇති සම්භාවිතාව 12,000කට එකක් ලෙසය. එය පසුව 710ට එකක් ලෙස වෙනස් විය. දැන් කියන්නේ ඒ සම්භාවිතාව 560කට එකක් ඇති බවය.

2023 මාර්තු 4 වැනිදා හා 7 වැනිදා අතර කාලයෙහි එහි කක්ෂය නිරීක්ෂණය කළ විද්‍යාඥයන් 62 දෙනකුගේ නිරීක්ෂණ අනුව හෙළි වූයේ, එය කක්ෂයක් සම්පූර්ණ කිරීමට දින 6.8487ක් ගත වන බවය. 2023 DW ග්‍රහකය නාසා ආයතනයේ අවදානම් ලැයිස්තුවේ ටොරිනා මානයේ අංක 1හි පසු වෙතත්, ඒ ගැන මහජනයා අනියත බියක් ඇති කරගත යුත් නැතැයි නාසා ආයතනය පැහැදිලි කර තිබේ. මේ 2023 DW ග්‍රහකයේ කක්ෂගත වෙනස්වීම් නිරන්තරව අවේක්ෂණය කරනු ලබනු අතර ඒ පිළිබඳ නවතම දත්ත ලැබුණු විට ඒවා ප්‍රසිද්ධියට පත් කරන බව නාසා ආයතනය පවසයි. 2023 DW ග්‍රහකය ටොරිනා මානයේ තවමත් අංක එකෙහි පසුවන අතර එය 10 දක්වා ගිය විට ‘ස්ථිරවම ගැටෙන’ තත්වයක් ඇති වන බව කිවහැකි යැයි නාසා ආයතනය තවදුරටත් සඳහන් කර තිබේ.

ස්ථිරවම ගැටෙන තත්වයක් ඇති වූ විට එය බිය විය යුතු කරුණක් වනු ඇතැයි ද එවැනි ගැටීමකින් ගෝලීය කාලගුණික ව්‍යසනයක් ඇති වීමේ හැකියාවක් පවතින බවත්, එයින් අනාගත ශිෂ්ටාචාරයක් වුවත් විනාශ වී යා හැකි බවත් නාසා ආයතනයේ මතයයි. ‘ඒත් එවැන්නක් සිදු වන්නේ වසර ලක්ෂයකට වරක් හෝ ඊටත් වැඩි කාලයකට වතාවක් විතරයි.’ නාසා ආයතනය කියයි. නාසා ආයතනය වැඩිදුරටත් කියන්නේ 2023 DW ග්‍රහකය අංක 3 ට ළඟා වූ විට අනතුරු ඇඟවීම් කඩිනමින් ආරම්භ කරන බවය.

පෘථිවියට තර්ජනයක් විය හැකි ආකාරයේ, දැවැන්ත ග්‍රහක රැසක් විශ්වයේ සැරිසරයි. ඒවායින් බොහොමයක් හඳුනා ගෙන ඒවායේ ගමන් මඟ ගණනය කිරීමට නාසා ආයතනය සමත් වී සිටී. මෙම ග්‍රහක ගැන නාසා විද්‍යාඥයන් පමණක් නොව, සෙසු තාරකා විද්‍යාඥයන් ද විමසිල්ලෙන් පසුවෙයි.

ග්‍රහක යනු විශ්වයේ පාවෙන ප්‍රමාණයෙන් විශාල ග්‍රහලෝක සහ චන්ද්‍රයන්ගේ කැබලිය. මේවා මෙසේ කැබැලි වී ඇත්තේ විශ්වය ආරම්භයේ දී සිදුවුණු ඝට්ටන සහ පිපිරීම් නිසාය. පෘථිවියේ හැපී අනතුරක විය හැකි යෝධ ග්‍රහක 8,000 කට වඩා හඳුනාගෙන ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති.

අවුරුදු මිලියන 65 කට පෙර ඩයිනසෝරයන් වඳවී ගිය අයුරින් ග්‍රහකයක් පෘථිවියේ ගැටී අපගේ විනාශය සිදුවීමට ඉඩ ඇත. එසේ නම්, පෘථිවිය බේරා ගැනීමට කළ යුත්තේ කුමක්ද? නාසා ආයතනය, ‘ඩාර්ට්’ යන නමින් නම් කළ මෙහෙයුම් අභ්‍යාසය ආරම්භ කළේ මේ නිසාය. ‘ඩාර්ට්’ මෙහෙයුම සාර්ථකව අත්හදා බලා ඇත. ‘ඩාර්ට්’ යන්නෙහි අර්ථය ‘ග්‍රහක මඟ වෙනස් කිරීමේ පරීක්ෂණය’ යන්නය.

ඩාර්ට්’ මෙහෙයුමේ අරමුණ වූයේ රොබෝ අභ්‍යවකාශ යානයක්, ග්‍රහකයක හැප්පීමට සලස්වා, එම ග්‍රහකයේ ගමන් මග වෙනත් අතකට යොමු කිරීමය. ඩාර්ට අනාගතයේ දිනෙක පෘථිවියේ හැපීමට යෝධ ග්‍රහකයක් පැමිණෙන්නේ නම්, එම ග්‍රහකයට යානයක් යවා එම යානය එහි ගැටෙන්නට සලස්වා, (එහිදී රොබෝ යානව විනාශ වෙයි) ග්‍රහකයේ ගමන් මග වෙනස් කර, එය පෘථිවිය මග හැර යෑමට සැලැස්විය හැකි බව ‘ඩාර්ට්’ මෙහෙයුම සාර්ථක වීමත් සමඟ නාසා විද්‍යාඥයෝ පවසති.

නාසා ආයතනය විශ්වය ගවේෂණයට රොබෝ යානා යවා ඇත. ග්‍රහලෝක ගවේෂණයට පමණක් නොව ග්‍රහක ගවේෂණයට ද රොබෝ යානා යවා ඇත. ඇතැම් යානා සාර්ථකව නියමිත මෙහෙයුම් සම්පූර්ණ කළේය. ඇතැම් යානා අසාර්ථක වී ග්‍රහලෝක මතට කඩා වැටුණි. ‘ඩාර්ට්’ යනු නාසා ආයතනය හිතාමතා ග්‍රහකයකට හැප්පී විනාශ වීමට නිපදවූ පළමු රොබෝ යානයයි. මෙය නාසා ආයතනය හිතාමතා රොබෝ යානයක් ග්‍රහකයක හැපීමට සැලැස්වූ පළමු අවස්ථාව ද වන්නේය.

වසර ගණනක් සැලැසුම් කිරීමෙන් පසු, නාසා විද්‍යාඥයන්, ‘ඩාර්ට්’ මෙහෙයුම ආරම්භ කළේ පසුගිය 2021 වසරේ නොවැම්බරයේය. ඩාර්ට්’ මෙහෙයුමට අදාළ ‘ඩාර්ට්’ රොබෝ යානය, පසුගිය නොවැම්බර් 24 වැනිදා 'ෆෝල්කන් 9' රොකට්ටුවක ආධාරයෙන් පෘථිවි කක්ෂයට තල්ලු කෙරුණි. ‘ඩාර්ට්’ මෙහෙයුම සඳහා නාසා ආයතනය 'ස්පේස් එක්ස්' පෞද්ගලික අභ්‍යවකාශ සමාගම සමඟ එක් වී කටයුතු කළේය. ‘ඩාර්ට්’ මෙහෙයුමට වැය වුණු මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 325 කි. නාසා ආයතනය 'ඩාර්ට්' මෙහෙයුම සැලැසුම් කළේ 2017 වසරේදීය. 'ඩාර්ට්' යානය නිපදවීමට නාසා ආයතනය මූලිකත්වය ගෙන කටයුතු කළත්, යුරෝපා සහ ජපන් අභ්‍යවකාශ ආයතනවල ද තාක්ෂණික සහාය ද ඊට හිමිවිය. 'ෆෝල්කන් 9' යනු 'ස්පේස් එක්ස්' සමාගම නිපදවා ඇති අධිබලැති රොකට්ටුවය.

රොකට්ටුවෙන් මිදුණු යානය, විශ්වයේ ඈතට ගමන් ආරම්භ කළේය. 'ඩාර්ට්' යානය රැගත් 'ෆෝල්කන් 9' රොකට්ටුව අභ්‍යවකාශය බලා යෑම සිදුවූයේ කැලිෆෝනියාවේ 'වැන්ඩෙන්බර්ග් ස්පේස්ෆෝස්' අභ්‍යවකාශ කඳවුරෙනි. පෘථිවි කක්ෂයට ගිය පසු 'ඩාර්ට්' ග්‍රහකය බලා ගමන් ඇරැඹුවේ, පළමුවෙන් පෘථිවියේ ගුරුත්වාකර්ශණ බලය යොදා ගනිමින් හිරු වටා යමිනි. 'ඩාර්ට්' යානය වසරක පමණ කාලයක් තිස්සේ විශ්වයේ ඈතට ඈතට ගමන් කරමින් දැන් අදාල ඉලක්කය බලා පැමිණියේය. ‘ඩාර්ට්’ රොබෝ යානයේ ඉලක්කය ග්‍රහක දෙකකි. ‘ඩයිමෝෆස්’ සහ ‘ඩිඩිමොස්’ යනු එම ග්‍රහක දෙකය. ‘ඩයිමෝෆස්’ කුඩාය. ‘ඩිඩිමොස්’ විශාලය. එකිනෙකට සමීප ලෙස පිහිටි මෙම ග්‍රහක යුගල හිරු වටා ගමන් කරන අතර, පසුගිය 26 වැනිදා සිට ඔක්තෝබර් පළමු වැනිදා තෙක්, පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 6.8 ක් දුරින් පිහිටයි. ‘ඩාර්ට්’ යානයට උපදෙස් ලබා දී ඇත්තේ ‘ඩයිමෝෆස්’ ග්‍රහකයේ හැපීමටය.

 

ඒ අනුව, රොබෝ යානය, ‘ඩයිමෝෆස්’ ග්‍රහකයේ හැපීම සිදුවූයේ පසුගිය 26 වැනිදාය. මෙහෙයුම් අභ්‍යාසය සාර්ථක විය. ‘ඩයිමෝෆස්’ ග්‍රහකයේ ගමන් මග වෙනස් කිරීම ‘ඩාර්ට්’යානය සමත් විය. ඝට්ටනයෙන් පසු ග්‍රහකයේ ගමන් මඟ තත්පරයකට මිලිමීටර් ගණනකින් වෙනස් වූ බව නාසා විද්‍යාඥයන් පැවැසුවේ මහත් ආඩම්බරයෙනි. ‘මේක ඇත්තටම ලෝකයට ඉතාමත් වැදගත් පෙරහුරු මෙහෙයුමක්. මෙහෙයුම සාර්ථකයි. මිනිස් වර්ගයාගේ පැවැත්ම තීරණය කරන්න මේ මෙහෙයුමට අනාගතයේ හැකිවේවි. සැකයක් නැහැ. අනාගතයේ ග්‍රහක අනතුරකින් පෘථිවිය බේරා ගැනීමට ඇති එකම විසඳුම මෙයයි’ යැයි නාසා විද්‍යාඥයෝ පැහැදිලි කළහ.

දකුණු අප්‍රිකාවේ, ස්ථාපිත කර ඇති විශ්වය නිරීක්ෂණය කරන දුරේක්ෂ සහ ඉතාලියේ රෝමය කේන්ද්‍රකොට ගත් ‘වර්චුවල් ටෙලස්කෝප් ප්‍රෙජෙක්ට් ව්‍යාපෘතිය එක් වී, ග්‍රහක ඝට්ටනය පෘථිවි අපට දකින්න සැලැස්වූ අතර, එය සජීවීව නාසා ආයතනයේ නිල වෙබ් අඩවිය හා සම්බන්ධ ‘නාසා ටීවී’ යූ ටියුබ් නාළිකාව ඔස්සේ නැරුඹීමට අවස්ථාවක් ලැබුණි. ඝට්ටනයේ දී ග්‍රහකයේ දීප්තිය වෙනස්වීම, පසුව එහි ගමන් මග වෙනස් වීම ‘නාසා ටීවී’ හරහා ඕනෑම කෙනකුට නැරුඹිය හැකි විය. ‘ඩයිමෝෆස්’ ග්‍රහකය මෙම මෙහෙයුම සඳහා තෝරා ගැණුනත්, ‘ඩයිමෝෆස්’ ග්‍රහකයයෙන් හෝ ‘ඩයිමෝෆස්’ ග්‍රහකයෙන් හෝ පෘථිවියට අනතුරක් නොමැති බව ද නාසා විද්‍යාඥයන් පවසා තිබුණි. ‘ඩයිමෝෆස්’ ග්‍රහකය, ‘ඩිඩිමොස්’ ග්‍රහකය වටා එක් වටයක් යෑම සිදුවන්නේ පැය 11 ක් සහ මිනිත්තු 55 කට වරකි. එය ඉතා නිවැරදිව, දශමයක් හෝ ප්‍රමාද නොවී සිදුවන්නකි. ‘ඩාර්ට්’ යානය. ‘ඩයිමෝෆස්’ ග්‍රහකයේ හැපීමෙන් පසු, ග්‍රහකයේ ගමන් මග මිනිත්තු 10 කින් වෙනස් විය. පෘථිවි දුරේක්ෂවලට එම වෙනස පැහැදිලිව දකින්න ලැබුණු බව පැවැසිණි.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS