මිනීකන කාපිරි දූපතක් ඉන්දීය සාගරයේ



උඩු ගුවනේ සිට බලද්දී එය පුංචි සුන්දර දූපතකි. සූදෝ සුදු වෙරළ තීරයක් ඇති මේ පුංචි දූපත පාරාදීයක් යැයි බැලූ බැල්මට සිතෙයි.

කෙසේ නමුත් සංචාරකයකු හෝ මෙම මුහුදු සීමාවේ ධීවර කටයුතුවල යෙදෙන ධීවරයකු හෝ වැරදීමකින්වත් මේ දූපතට යන්නේ නැත. ඒ, ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට බටහිර දෙසින් පිහිටා ඇති ‘නෝර්ත් සෙන්ටිනල්’ නමැති මෙම කුඩා දූවේ මිනීකන කාපිරියන් සිටින නිසාය.

නෝර්ත් සෙන්ටිනල් දූපතට පය තබන අයකුට යහතින් ආපසු ඒමට හැකියාවක් නැතැයි පැවැසෙයි. දූපතේ වාසය කරන බව කියන කාපිරයන් අයත් වන්නේ අබිරහස් ගෝත්‍රයකටය. ඔවුන් බාහිර ලොවෙන් හුදෙකලා වූ පිරිසකි. ඔවුන් බාහිර ලෝකය සමඟ කිසිදු සම්බන්ධයක් පත්වන්නේ ද නැත.

පිටස්තරයකු මෙම දූපත ආසන්නයට ගියහොත්, කාපිරියන්ගේ ඇසට ඒ අය ලක් වුවහොත්, ඊතල සහ කෙටි පොරෝ ප්‍රහාර එල්ල වෙයි. මෙම දූපත අසල නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට ගිය ධීවරයන් දෙදෙනකු මරා දැමීමට පවා මෙම නිරුවත් කළු මිනිසුන් කටයුතු කර ඇතැයි පුවත් සේවා වාර්තා කරයි.

අවුරුදු 60,000 ක කාලයක පටන් කාපිරි ගෝත්‍රිකයන් මෙම දූපතේ වාසය කරන බව සැක කෙරේ. ගුවන් යානයක් දූපතට පහළින් ගමන් කරන්නේ නම්, මොවුහු ඊට ගල් ප්‍රහාර ද එල්ල කරති. 2006 වසරේ දී දූපතට ආසන්නයෙන් පියාසර කළ සැහැල්ලු ගුවන් යානයකට ගිනි දැල්වුණු ඊ තල ප්‍රහාරයක් ද එල්ල වී ඇත.

‘නෝර්ත් සෙන්ටිනල්’ පුංචි දූපත පිහිටා ඇත්තේ ඉන්දීය සාගරයේ බෙංගාල බොක්ක ආශ්‍රිවය. ‘නෝර්ත් සෙන්ටිනල්’ දූපත අයත් වන්නේ ඉන්දියාවටය. අවුරුදු 60,000 ක් තිස්සේ ගෝත්‍රිකයන් වාසය කළත් මෙම දූපත අද නූතන ලෝකයට අබිරහසක් වී ඇත. දූපත පිහිටා ඇත්තේ අන්දමන් දූපත් සමූහය අසලය. ඉන්දීය රජය පසුගිය වසරවලදී මේ දූපත් වාසීන් සමඟ සබඳතා ඇති කර ගැනීමට උත්සහ කළ නමුත් එය අසාර්ථක වී ඇත. 2004 වසරේ සුනාමි ව්‍යසනයට ද මේ දූපත හසුවී ඇත. කෙසේ නමුත් එහි වැසියන් සුනාමි ව්‍යසනයෙන් දිවි ගලවා ගෙන ඇත.

‘නෝර්ත් සෙන්ටිනල්’ දූපත්වාසීන් ගැන කිසිවක් කිසිවකු දන්නේ නැත. ඔවුන්ගේ භාෂාව, ඔවුන්ගේ චාරිත්‍ර, ජීවන රටාව ආදී කිසිවක් ගැන බාහිර ලෝකයා දන්නේ නැත. 2004 සුනාමි ව්‍යසනයෙන් පසු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ හෙලිකොප්ටර් යානයක් දූපත නිරීක්ෂණය කිරීමට ගොස් ඇති බවත් එම හෙලිකොප්ටරයට ද ගෝත්‍රිකයන්ගෙන් ඊතල ප්‍රහාරයක් එල්ල වුණු බවත් වාර්තා වේ.

බාහිර ලෝකයේ අප මෙම ‘නෝර්ත් සෙන්ටිනල්’ දූපතට ගොස් දූපත්වාසීන් සමඟ සබඳතා ඇති කර ගැනීමට උත්සහ ගැනීම එම දූපත්වාසීන්ගේ ජීවිත අනතුරේ වනු ඇතැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. ඊට හේතුව වර්තමානයේ අපට මුහුණ දෙන්න සිදුවී ඇති බෝවන රෝගවලට මොවුන් ඔරොත්තු නොදීමය. මොවුන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් ලැබී නැතිවීම ඊට හේතුව යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති.

ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS