මාලදිවයිනට හරස් වුණු මිතුරෝ



ඇමෙරිකා එක්සත් ජනපදය මීට වසර හතකට පෙර මාලදිවයින සමඟ ආරක්ෂක ගිවිසුමකට එළැඹීමට උත්සාහ කළ අවස්ථාවේදී මිත්‍ර රටවල් දෙකකින් ඊට බාධා එල්ල විය.

ඒ මිත්‍ර රට අන් කිසිවකු නොව මාලදිවයිනේත් ශ්‍රී ලංකාවේත් අසල්වැසියා වන ඉන්දියාවයි. ඉන්දීය සාගරයේ බලපෑම් කිරීමට හැකියාව ඇත්තේත් බලය ඇත්තේත් තමන්ට යැයි ඉන්දියාව සිතයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ හෙට අනිද්දා මාලදිවයිනේ සංචාරයක නිරත වන අතර ඉන්දියාවේ ද සංචාරය කිරීමට නියමිත ය. එහිදි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන්දියාවේ බලධාරීන් සමඟ ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය සැප්තැම්බර් මාසයේදී මාලදිවයින සමඟ ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබූ අතර ඉන්දියාව මෙවර ඊට බාධා නොකර හිස වැනීය.

ඉන්දියාව එලෙස ඇමෙරිකාවට අවස්ථාව සැලසීමටත් ඉන්දියාවේ ස්ථාවරය වෙනස් වීමටත් එක් ප්‍රධාන කරුණක් බලපෑවේ යැයි විශ්ලේෂකයෝ පෙන්වාදෙති. එය නම් චීනයයි. ශ්‍රී ලංකා සහ මාලදිවයින ද ඇතුළුව දකුණු ආසියානු කලාපයට චීනය කරන බලපෑමත් පසුගිය සමයේදී ඉන්දියාව සහ චීනය අතර දේශසීමාවේ පැවැති උග්‍ර ගැටුමුත් ඊට හේතු වී තිබේ.

දකුණු හා අග්නිදිග ආසියානු සංචාරයේදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට ද පැමිණේ. චීනය ශ්‍රී ලංකාව ඩොලර් බිලියන ගණනින් ණය ලබා දී තිබෙන අතර මූල්‍ය ප්‍රදාන ද කර තිබේ. එපමණක් නොව මෙරට ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ යටිතල පහසුකම් ව්‍යාපෘති රැසකට ද දායකත්වය දක්වන්නේ චීනයයි.

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනට අමතරව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ඉන්දුනීසියාවේ ද සංචාරය කිරීමට නියමිත ය.

සාගර කේන්ද්‍ර කරගත් භූ දේශපාලනයේ තවත් මත්භේදාත්මක කේන්ද්‍රස්ථානයක් වන්නේ දකුණු චීන මුහුදයි. චීනය, දකුණු මුහුදට හිමිකම් කියන අතර ඒ ආසන්නයේ ඇති අනෙකුත් රටවල් ද ඊට හිමිකම් කියයි. චීනයේ හිමිකම් කීමට ඇමෙරිකා එක්සත් ජනපදය අභියෝග කරයි.

මයික් පොම්පෙඕ චීනය සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරන්නකු ලෙස ප්‍රසිද්ධය. ‘‘චීන කොමියුනිස්ට් පක්ෂයෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීම සඳහා නිදහස් ජාතීන් එක්ව වැඩ කරන්නේ කෙසේදැයි මම මේ සංචාරයේදී සාකච්ඡා කරනවා’’ යැයි ද මයික් පොම්පෙඕ මෙම සංචාරය ආරම්භ කිරීමට පැවැසීය.

වසර 2004 න් පසු මාලදිවයිනේ සංචාරයක නිරත වන පළමු ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වන්නේ ද මයික් පොම්පෙඕ ය. ඉහත සඳහන් කළ පරිදි මාලදිවයින සහ ඇමෙරිකාව අතර මේ වනවිටත් ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබා තිබෙන අතර ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙම සංචාරයේදී දෙරටේ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙන්ම ‘‘නිදහස් සහ විවෘත ඉන්දු-ශාන්තිකර’’ කලාපයකට සහයෝගය දීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරෙනු ඇත.

‘‘වෙන වෙලාවක නම් ඇමෙරිකාව ඉන්දීය සාගර කලාපයට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව දොස් නගාවී. එහෙත් අද ඉන්දියාවට, ඇමෙරිකාව නැතුව බැරි වෙලා’’ යැයි බෲකින්ස් ආයතනයේ ඉන්දීය ව්‍යාපෘතියේ තන්වි මදාන් ප්‍රකාශ කළාය.

‘‘චීනයේ මැදිහත් වීමට ඉතා හොඳ විකල්පයක් ලෙස ඉන්දියාව තමන්ගේ පැත්තට ඇමෙරිකාව අරගෙන. ඇමෙරිකාව මේ කලාපය තුළ පස්සා දොරෙන් විශාල බලපෑමක් කරනවා’’ යැයි ඇය කීවාය.

‘‘තමන්ට මේක තනියම කරන්න බැහැ කියලා ඉන්දියාව තේරුම් අරගෙන තියෙනවා. ඇතැම් විට තමන්ගේ තියෙන හැකියාව හෝ ධාරිතාව නැත්නම් ඒක කරන්න වෙන්නේන කාත් එක්කද කියන කරුණ මත තමන්ට මේක තනියම කරන්න බැහැ කියන දේ ඉන්දියාව තේරුම් අරගෙන තියෙනවා. උදාහරණයකට ඔවුන්ට මේක කරන්න වෙන්නේ එක්කෝ ජපානය එක්ක. නැත්නං ඇමෙරිකාව එක්ක’’ ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිටත් චීනයේ සහයෝගය වැළැඳගෙන තිබේ. කෙසේ නමුත් විවිධ බලවතුන් සතුටු කරමින් ඔවුන්ගේ සහාය ගැනීමට ශ්‍රී ලංකාව උත්සුක වනු ඇතැයි හඩ්සන් ආයතනයේ, ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ අනාගතය වැඩසටහනේ අධ්‍යක්ෂ ආචාර්ය අපර්ණා පාන්ඩේ සඳහන් කළාය.

ශ්‍රී ලංකාව ඇතැම් විටෙක පාකිස්තානයේ ක්‍රමය අනුගමනය කරනු ඇත්දැයි ඇය සැක පහළ කළාය. පාකිස්තානය යනු ඉන්දියාවේ පැරැණිතම මෙන්ම ඉතිහාසගත ප්‍රතිවාදියා ය. එමෙන්ම පාකිස්තානය චීනය සමඟ දැඩි මිත්‍ර සබඳතාවක් පවත්වාගෙන යයි.

ශ්‍රී ලංකාවේ කටයුතුවලට ඇමෙරිකාව දැනට වැඩියෙන් මැදිහත් විය යුතු යැයි ඉන්දියාව විශ්වාස කරයි. ‘‘ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත් වුණාම ඇමෙරිකා සහ ඉන්දියා දෙසට ශ්‍රී ලංකාවේ සබඳතා වැඩි වෙනවා. ඔවුන් චීනය දෙසට යෑම අඩුවෙනවා’’ යැයි පාන්ඩේ කීවාය.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ සහ ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ඊයේ (26) දිනයේදී ඉන්දියාවේ ඉහළ පෙළේ බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූහ. ඔවුහු අද ද (27) සාකච්ඡා පවත්වති.

ඇමෙරිකාව 2000 වසරේ ඉන්දියාවට අලෙවි කර ඇති ආයුධවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 20 ඉක්මවයි. කෙසේ නමුත් ඉන්දියාව රුසියාව, ප්‍රංශය සහ ඊශ්‍රායලයෙන් ආයුධ මිලදී ගනිමින් සිය ආරක්ෂක අංශ නවීකරණයට ලක් කර ඇත.

ඇමෙරිකාව සහ ඉන්දියාව අතර මෙම සාකච්ඡා ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ප්‍රමාද විය. නව කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් දෙක වන්නේ ද ඉන්දියාව සහ ඇමෙරිකාවයි.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙලෙස ආසියානු කලාපයේ සංචාරයක නියැළෙන්නේ ඇමෙරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට සතියකට ආසන්න කාලයක් තිබියදීය.

ඇමෙරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය ලබන සතියේ පැවැත්වේ. වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට තරග කරන අතර ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් ය.

දැනට කර ඇති මත විමසුම්වලට අනුව ජෝ බයිඩන් ඉදිරියෙන් පසුවන්නේ යැයි පැවසේ.

චීන විරෝධතා

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙම සංචාරයේ කාල නිශ්චය කිරීම අනුව ඇමෙරිකාව ඉන්දියාවට කොතරම් ප්‍රමුඛත්වයක් දෙන්නේදැයි පෙනී යන බව ද පාන්ඩේ පෙන්වාදුන්නාය.

ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජයට පත්ව බයිඩන් ජයග්‍රහණය කළ දෙරටට සම්බන්ධ ප්‍රතිපත්තිවල විශාල වෙනසක් සිදු නොවනු ඇතැයි ද ඇය කීවාය.

‘‘මං හිතන්නේ ඉන්දියාව කියන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ගැන වැඩි තැකීමක් නොකරන රටවල් කිහිපය අතරින් එකක්’’ යැයි ඇය පැවසුවාය.

හර්ෂණ තුෂාර සිල්වා
ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි 

RECOMMEND POSTS