මාරක අනතුරින් සිරුර වෙනස් කළ තරුණිය



මේ විද්‍යා ප්‍රබන්ධයක් නොවෙයි. විද්‍යා ප්‍රබන්ධ කතාවක් යථාර්ථයක් බවට පත් වුණු අවස්ථාවකි. වින්ටර් ම්රේස් අවුරුදු 31 ක් වයසැති ඇමෙරිකානු තරුණියකි.

ඉන්ජිනේරුවරියකි. මීට වසර කීපයකට පෙර ඇය මාරක රිය අනතුරකට ලක් වූවාය. ඇගේ කොඳු ඇට පෙළ, දණිස්, වැලමිට කුඩු පට්ටම් විය. හානි වුණු සිරුර යළි ‘එකලැස් කිරීම’ ට දක්ෂ වෛද්‍යවරු රැසක් සම්බන්ධ වූහ. පැය ගණනාවක සැත්කම් සිදු කෙරුණි.

‘සිරුර එකලැස්’ කිරීමේදී, වින්ටර්ගේ සිරුරට බද්ධ කළ ලෝහමය තහඩු, ඇණ, ආධාරක බොහොමයකි. මේ වනවිට වින්ටර් ජීවත් වන්නේ ඇමෙරිකාවේ නොව, එංගලන්තයේ ලිවර්පූල් නුවරය. අනතුරින් පසු යළි එකලැස් කෙරුණු සිරුර නවීන තාක්ෂණය යොදා ගනිමින් වෙනස් කර ගැනීමට වින්ටර් සමත් වී සිටින්නීය. ඒ ඇගේ එදිනෙදා ජීවිතය පහසු කර ගනිමින් නවීන තාක්ෂණය සමඟ බද්ධ වෙමිනි.

‘අනතුරින් පසු මා නිරන්තරයෙන් සැත්කම්වලට ලක්වුණා. තවමත් එම සැත්කම් අවසන් නැහැ. ඒ නිසයි මා කල්පනා කළේ ජීවිතේ පහසු කර ගැනීමට, ප්‍රතිකාර සඳහා කෙරන බද්ධ කිරීම්වලට අමතරව, තවත් අමතර බද්ධ කිරීම් කරගන්න. මගේ එක් දණිස් කටුවක් අනතුරින් කැබලි වී තිබුණා. දැන් මට බද්ධ කරලා තිබෙන්නේ ත්‍රීඩී තාක්ෂණයෙන් නිර්මාණය කළ මගේ දණිස්සට සියයට සියයක්ම නිවැරදිව ගැලපෙන දණිස් කටුවක්. අනතුර හේතුවෙන් මට කවදාවත් අම්මා කෙනකු වෙන්න බැහැ. අනතුරින් පස්සේ මගේ ජීවිතේ කඩා වැටුණා. මා හුඟක් දුක් වුණා. ඒත් මා හිත හදාගත්තා. සිරුර වෙනස් කරමින් අලුත් ජීවිතයක් කරා යන්න මා හිත හදාගත්තා. සැත්කම්වලට භාජනය වෙන අතරතුරේ, අමතර බද්ධ කිරීම්වලට මා යොමු වුණේ ඒ නිසයි’ යැයි වින්ටර් පැහැදිලි කර තිබේ.

වින්ටර්ගේ නිවස නවීන පන්නයේ පරිගණක ගත කළ එකකි. වර්තමානයේ බොහෝ රටවල නිවාස පරිගණක ගත කර ඇත. ආරක්ෂක කැමරා සහ සන්වේදකවලින් සමන්විතය. බොහෝ නිවෙස්වල මෙන් වින්ටර්ගේ නිවසට ඇත්තේ විද්‍යුත් අගුලකි.

යතුරු භාවිතයක් නොමැතිව අගුල විවිර කිරීමටත් වැසීමටත්, වින්ටර් ඇගේ එක් අතක අත්ලේ මයික්‍රෝචිපයක් බද්ධ කරගෙන සිටී. නිවසේ යතුර වන්නේ ඇගේ අතය. ඇතට කරන්න තිබෙන්නේ දොරේ අගුල මිරිකීම පමණි. දොර විවර වෙයි. වින්ටර්ගේ අනෙක් අත්ලේ ඇත්තේ වින්ටර්ගේ විද්‍යුත් හැඳුනුම්පතකි.

අද ලොව බොහෝ බටහිර රටවල විද්‍යුත් හැඳුනුම්පත් ක්‍රියාත්මක වෙයි. ගනුදෙනුවලදී මෙය පහසුවක් වෙයි. වින්ටර් ඇගේ හැඳුනුම්පතේ විස්තර අඩංගු චිපයක් අත්ලට බද්ධ කරගෙන සිටී. අවශ්‍ය ඕනෑම විටෙක එක ස්කෑන් කිරීමෙන් වින්ටර් ගැන සියලු විස්තර ලබා ගැනීමට හැකියාව ඇත. එය හරියට සුපිරි වෙළෙඳ සැලක ‘බාර් කෝඞ්’ ස්කෑන් කරනවා වැනිය. වින්ටර්ගේ එක් අතක වැලමිටේ එල්ඊඩී විදුලි බුබුළු තැම්පත් කර ඇත.

විදුලිය විසන්ධිවීමකදී ඇයට එම විදුලි බුබුළු දල්වා ගැනීමට හැකිය. සාමාන්‍ය ජංගම දුරකතනයක මෙන් ආලෝකයක් සමට යටින් විනිවිද පෙනෙයි. ඊට අමතරව, ඇගේ ඇඟිලි 10 චුම්බක සවි කර ඇත. අවශ්‍ය විටදී ඕනෑම ලෝහමය දෙයක් තමන් ළඟට ඇද ගැනීමට වින්ටර් ට හැකිවෙයි. කාසියක් වැනි යමක් බිම වැටුණොත්, නැමෙන්නේ නැතිව එය අහුලා ගැනීමට වින්ටර්ට පහසුවකි.

ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS