මහා බාධක පරයට එන රෝස පාට අමුත්තා



‘මහා බාධක පරය’ (ග්‍රේට් බැරියර් රීෆ්) යනු ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඔබ්බෙන් මුහුදේ විශාල ප්‍රදේශවක් පුරා පැතිරුණු මහා කොරල් පද්ධතියයි. මෙය ලොව ස්වාභාවික පුදුමයක් ලෙස ද සැලෙකයි.

මේ සටහන වෙන්වන්නේ මහා බාධක පරයට සෑම වසරකම, දින කීපයකට පැමිණෙන අමුත්​තකු ගැනය. මේ අමුත්තා යෝධ මඩුවෙකි. මෙවැනි මඩුවන් ඉංග්‍රීසියෙන් ​හැඳින්වෙන්නේ ‘මැන්ටා රේ’ යනුවෙනි. මේ මඩුවා සාමාන්‍ය මඩුවකු සේම විශාලය. මීටර් 3 ක් පමණ විශාලය. පිරිමි සත්වයෙකි.

විශේෂත්වය මේ මඩුවාගේ වර්ණයයි.  සාමාන්‍යයෙන් මැන්ටා රේ මඩුවන් කළු හෝ අළු පැහැතිය. පහළ කොටස සුදුය. ඒත් මේ මඩුවාගේ පහළ කොටස තද රෝස පැහැතිය.

සාගර ජීව විද්‍යාඥයන්ට පළමුවෙන් මේ මඩුවා සොයා ගැනීමට හැකිවූයේ 2015 දීය.

එදා සිට මේ දක්වා මේ මඩුවා දකින්න ලැබී ඇත්තේ අවස්ථා 7 කදී පමණි.

රෝස පැහැති පෙනුම නිසා විද්‍යාඥයන් මේ මඩුවා නම් කර ඇත්තේ ‘ඉන්ස්පෙක්ටර් ක්ලූසෝ’ යනුවෙනි.

‘ඉන්ස්පෙක්ටර් ක්ලූසෝ’ යනු ප්‍රංශ පොලිසියේ රහස් පරීක්ෂකවරයෙකි. ඉන්පෙක්ටර් ක්ලූසෝගේ චරිතය හමුවන්නේ ‘පින්ක් පැන්තර්’ චිත්‍රපටවලය. ඇබැද්දි රැසකට මුහුණ දෙමින් අවසානයේ අපරාධකරුවන් අල්ලා ගන්නා විකට චරිතයක් ලෙස ‘ඉන්ස්පෙක්ටර් ක්ලූසෝ’ ප්‍රකටය.

සෑම වසරකටම එක් වරක්  ‘ඉන්ස්පෙක්ටර් ක්ලූසෝ’ මහා බාධක පරයට අයත් ‘ලේඩි එලියොට්’ දූපත අසල මුහුදට පැමිණෙයි. පසුගිය දා සාගර ජීව විද්‍යාඥයන්ට ‘ඉන්ස්පෙක්ටර් ක්ලූසෝ’ දකින්න ලැබී ඇත්තේ එසේ පැමිණ සිටිද්දීය.

‘මේ මඩුඩා ලේසියෙන් දකින්න ලැබෙන්නේ නැහැ. ​ගැඹුරු මුහුදේ සිටින මෙයා දකින්න ලැබෙන්නේ කලාතුරකින්.’ මෙසේ පවසන්නේ, මඩුවන් සුරැකීම වෙනුවෙන් පිහිටවූ ‘ප්‍රොජෙක්ට් මැන්ටා’ ව්‍යාපෘතියේ ප්‍රධාන විද්‍යාඥවරිය ආචාර්ය කැතී ටවුන්සේන්ඩ් ය.

කැතී ටවුන්සේන්ඩ් පෙන්වා දෙන අන්දමට, ලොව එකම රෝස පැහැති මඩුවා වන්නේ ‘ඉන්ස්පෙක්ටර් ක්ලූසෝ’ ය.

මහා බාධක පරයේ, ලේඩි එලියට් දූපත අසල මුහුද මඩුවන් රැස්වන ස්ථානයක් ලෙස ප්‍රකටය. ‘ඉන්ස්පෙක්ටර් ක්ලූසෝ’ මෙම මුහුදු සීමාවට පැමිණෙන්නේ කලාතුරකිනි. ඒ, ගැහැනු මඩුවකුගේ ආදරය සොයමිනි.

මෙම මුහුදු සීමාවෙන් ඔබ්බට ගිය පසු ‘ඉන්ස්පෙක්ටර් ක්ලූසෝ’ වසරේ ඉතිරි කාලය ගත කරන්නේ කොතැනදැයි විද්‍යාඥයන්ට අබිරහසකි.

‘පසුගිය දා අපට ආයෙත් ඉන්පෙක්ටර් ක්​ලූසෝ දකින්න ලැබුණා. ඒක සතුටට කරුණක්. අපට එයා දකින්න ලැබුණේ හුග කාලයකින්. අප සිතුවා එයාට කරදරයක් වෙන්න ඇතැයි කියලා. එයාගේ දීප්තිමත්  රෝස පැහැය නිසා සතුරන්ගෙන් සැගවීම අපහසුයි. අසාමාන්‍ය වර්ණ්‍ය නිසා එයා රෝගී තත්ත්වයකින් සිටිනවා වෙන්න පුළුවන්. ඒත් එහෙම නැහැ. එයා නිරෝගීයි. එයා හොඳ‌ින් සිටිනවා. නැවතත් එයා දකින්න ලැබීම සතුටක්.’ යැයි කැතී ටවුන්සේන්ඩ් පවසා ඇත.

ලුසිත ජයමාන්න
ඕස්ට්‍රේලියානු පුවත් ඇසුරිනි


RECOMMEND POSTS