මලාලා යූසොෆ්සායි දැරිය දැන් කැනඩාවේ පුරවැසියෙක්



පාකිස්තාන බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගුවැයි තලේබාන් ත්‍රස්තයන්ගේ වෙඩි පහරට ලක් වී, දිවි ගලවා ගැනීමට සමත් මලාලා යූසොෆ්සායි දැරියට කැනඩාවේ පුරවැසිභාවය හිමි විය.

පුරවැසි භාවය හිමිවීමෙන් පසු මලාලා ඊයේ (අප්‍රේල් 13) කැනඩා පාර්ලිමේන්තුව ඇමැතුවාය. 2012 දී තලේබාන් ත්‍රස්තවාදියකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලැබූ 15 හැවිරිදි මලාලාට බි්‍රතාන්‍ය රජයේ අනුග්‍රහයෙන් ප්‍රතිකාර ලැබුණි.

අද වනවිට 19 හැවිරිදි වියෙහි පසුවන මලාලා ඇගේ පියා, මව සහ බාල සොහොයුරා සමඟ බි්‍රතාන්‍යයේ ජීවත් වන්නීය. මලාලා ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ සිසුවියකි.

බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් දිවි කැප කළ මලාලාට නොබෙල් සාම ත්‍යාගය ද හිමිවිය. මලාලා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියක ද වන්නීය.

මලාලා දැරිය කැනඩා පාර්ලිමේන්තුව අමතමින් බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය ගැන කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ඇතුළු පාර්ලිමේන්තුව දැනුවත් කළාය.

මලාලා දැරියට කැනඩා රජයෙන් ගෞරවණීය පුරවැසිභාවය ලැබීමට නියමිතව තිබුණේ 2014 වසරේදීය. එහෙත් එම වසරේ ඔක්තෝබරයේ පාර්ලිමේන්තු සංකීර්ණය අසල සිදුවුණු වෙඩි ප්‍රහාරය හේතුවෙන් උත්සවය කල් දැමුණි.

පාර්ලිමේන්තුව අමතද්දී, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ සහ රජය ප්‍රසංශාවට ලක් කිරීමට ද මලාලා අමතක නොකළාය. ‘මට අගමැතිතුමා හමුවුණේ අද උදේ. අසරණ සංක්‍රමණිකයන්ට කැනඩාවේ දොර විවිර කර දීමට අගමැති ටෘඩෝ ගත් තීරණය ගැන සතුටුයි. ඒ ගැන මම පුදුම වුණා. කැනඩා රජය කාන්තා අයිතීන් වෙනුවෙන් කැපවෙලා. බාලිකා අධාපනය වෙනුවෙන් කැනඩා රජය ඔවුන්ට හැකි සෑම දේම කරනවා. ඒක සතුටට කාරණාවක්’ යැයි මලාලා පැවැසුවාය.

මලාලා මෙසේ ද පැවැසුවාය. ‘අගමැති ටෘඩෝ ගැන අපට හුඟක් දේ අහන්න ලැබිලා තියෙනවා. කවුරුත් කියන්නේ කැනඩාවේ අගමැති ධුරයට පත්වුණු ලාබාලතම අගමැති ඔහු කියලයි. අගමැති ටෘඩෝ යෝග කරනවා. පච්චා කොටාගෙන ඉන්නවා.’

(රොයිටර්)

 


RECOMMEND POSTS