මයි ලායි සංහාරය



1968 වසරේ මාර්තු 16 වැනිදා, වියට්නාම යුද්ධයේ, අඳුරුතම දිනයයි. ඇමෙරිකාව, වියට්නාමයේ නිරායුද මයි ලායි සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් කළ මයි ලායි ප්‍රහාරය, මහා මානව ඛේදවාචකයක් ලෙස ඉතිහාසයට එක් වී ඇත. මයි ලායි මානව සංහාරයෙන් මියගිය ගණන 504 කි.

තම සගයන් වියට්නාමයේ ගම්මානයක විසූ අහිංසක සිවිල් වැසියන් වෙත මුදා හරින ලද මිලේච්ඡත්වය ගැන කනගාටුවට පත්වන බව ඇමෙරිකා හමුදාවේ ඡායාරූප ශිල්පියෙක් මයි ලායි සංහාරයට වසර 50 ක් පිරුණු ඉකුත් දා පාපෝච්චාරණය කළේය. ඇමෙරිකා එක්සත් ජනපද හමුදා වියට්නාමයේ නිරායුධ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් 1968 වසරේ මාර්තු 16 වැනිදා එල්ල කරන ප්‍රහාරය මයි ලායි සංහාරය යනුවෙන් හැඳින්වේ.

“එය යුද්ධයේ ඉතා බිහිසුණු සහ මිලේච්ඡ සිදුවීමක්. එය දාමරික ක්‍රියාවක්. ඒ මිලේච්ඡත්වය ගැන ඒ සංහාරය ගැන මම කනගාටුවට පත්වෙනවා. සමාවෙන්න” යැයි ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ ඡායාරූප ශිල්පියකු ලෙස සේවය කළ රොනල්ඞ් හීබල් ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.

රොනල්ඞ් හීබල් මයි ලායි සිදුවීමේ ඡායාරූප ගත් අතර එම ඡායාරූපවල ඇමෙරිකා හමුදාවේ දාමරිකම බවේ සම්පූර්ණ කතාවම ගැබ් වී තිබේ. මයි ලායි ගම්මානයට ඇමෙරිකා හමුදා එල්ල කරන ලද ප්‍රහාරයෙන් අහිංසක නිරායුද සිවිල් වැසියන් 504 දෙනකු ඝාතනය විය. එක් දිනකදී ඝාතනය වූ මෙම 504 දෙනා අතරින් වැඩි දෙනා කුඩා දරුවෝ, කාන්තාවෝ සහ වැඩිහිටියෝ වූහ.
“මම මතක් කරන්න කැමැති ඒ සිද්ධිය. එක් නිමේෂයකින් සියල්ල ආවරණය කරගන්න මට අවශ්‍ය වුණා. මම කළා” එම මනුෂ්‍ය ඝාතනවලට වසර 50ක් පිරීම නිමිත්තෙන් මයි ලායි හි මෙම සංහාරය සිහිපත් කරමින් ඉදි කර තිබෙන කෞතුකාගාරයේ සංචාරයක නිරත වෙමින් රොනල්ඞ් හීබල් ප්‍රංශ පුවත් සේවයට කීය.

රොනල්ඞ් ගත් ඡායාරූපවලින් කිහිපයක් 1969 වසරේදී ‘ලයිෆ්’ සඟරාවේ පළවිය. එම ඡායාරූප නිසා මයි ලායි සංහාරය පිළිබඳ තොරතුරු ලොවට අනාවරණය විය. එයත් සමඟ ඇමෙරිකා හමුදාව සිදු කරන ලද සංහාරය පිළිබඳ තොරතුරු ලොවු පුරා ව්‍යාප්ත වූ අතර  ඇමෙරිකා හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ කඩා වැටීමටද එය හේතුවක්. ඇමෙරිකා හමුදාවේ මෙම ක්‍රියාවට නන්දෙසින් දැඩි විරෝධයක් එල්ල වූ අතර අවසානයේදී එවකට ඇමෙරිකා ජනාධිපති රිචඞ් නික්සන් දැඩි ආරවුලකට ද පටළැවීය.

එම ඡායාරූපවල මියගොස් බිම තැන තැන වැටී සිටින කුඩා දරුවන්, සිය ගණන් මළ සිරුරු තැන තැන ගලා ගිය සිවිල් වැසියන්ගේ රුධිරය දක්නට විය. දරුවන් අතින් මෙම මිලේච්ඡ ක්‍රියාවත් යුද විරෝධී සංවිධාන රැසක් ඇමෙරිකා එක්සත් ජනපද රජයට මෙන්ම හමුදාවට දැඩි ලෙස චෝදනා එල්ල කළේය. මයි ලායි සංහාරය සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් කිහිපදෙනකුටම චෝදනා එල්ල විය.

1968 වසරේ මාර්තු 16 වැනිදා සංහාරය සිදු වෙද්දි හීබල් එහි විය. වියට්නාම වැසියන් මයි ලායි හැඳින්වූයේ ‘සන් මයි’ යන නමිනි. වියට් කොන්ග් කැරැලිකරුවන් ඉවත් කිරීම සඳහා මධ්‍යම වියට්නාමයේ ස්ථානයකට ඇමෙරිකා හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව හීබල් ද දැනගන්නට ලැබී තිබේ. එය කොමියුනිස්ට් කැරැලිකරුවන් පාලනය කිරීමක් යැයි මුලින් වාර්තා වී තිබේ.

එහෙත් ප්‍රහාරයෙන් මද වේලාවකට පසු හීබල් තවත් වාර්තාකරුවකු සමඟ ගම්මානය වෙත ගොස් තිබේ. එහිදි ඔහුට දැකගන්නට ලැබී ඇත්තේ උණුහුමවත් නොගිය මිනිස් සිරුරු සිය ගණනකි. එම සතුරන් කිසිවකුත් අතර ආයුද නොතිබී බව හීබල් දැක තිබේ. කුඩා දරුවන් අතින් තුරුළු කරගත් අම්මාවරුන් තැන තැන වැටී සිටි අයුරු දුටු බව හීබල් කීය.

“එය සම්පූර්ණ සමූල ඝාතනයක්. සංහාරයක්. අපි ගම්මානය දැක්කා. එහි වේලා තිබුණු දේ දැක්කා” සිය ගණනක් සහභාගී වූ සැමරම් උත්සවයේදී හීබල් කීය. මෙම සැමරම් උත්සවයට එදා ජීවිත බේරාගත් පිරිස් ද සහභාගී වී සිටියහ. එමෙන්ම වියට්නාම යුද්ධයට සහභාගී වූ හා සම්බන්ධ වූ ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් හා හමුදාවේ ජ්‍යෙෂ්ඨයන් ද ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ.
“ඇත්තටම එය ඛේදවාචකයක්. එය සිදුවුණා. එහෙත් එය සිදු නොවිය යුතුව තිබුණු දෙයක්. එහි සටන්කරුවන් කැරැලිකරුවන් සිටියේ නැහැ. එහි සිටි සියලු දෙනා සිවිල් වැසියන්” හීබල් කීය.

මේ සංහාරයට චෝදනා ලැබුවේ එක් පුද්ගලයකු පමණි. ඒ ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ හිටපු ලුතිනන් විලියම් කේලිය. “ පරීක්ෂා කර විනාශ කර දමන්න” යනුවෙන් නම් කෙරුණු මෙහෙයුමකට තමා සම්බන්ධ වූ බවත් තමන් ඉහළින් ලැබුණු අණ පිළිපදිමින් කටයුතු කළ බවත් හෙතෙම කීවේය. විලියම් කේලි මේ ඝාතන සම්බන්ධයෙන් 2009 වසරේ දී ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීය.
සංහාරය සම්බන්ධයෙන් කරුණු විමසූ විට ඇතැම් නිලධාරීන් තමා ප්‍රතික්ෂේප කළ බවත් ඇතැම් පිරිස් එය කිසිවකට ගණන් නොගත් බව හීබල් පැවැසීය.

ඝාතන සිදුකළ බලඇණියේ කපිතාන්වරයා ඉදිරියේ වියට්නාම භාෂා පරිවර්තකයා බැගෑපත් වූ අයුරු ද හීබල් මෙහිදි සිහිපත් කළේය.
“ඔහු දිගින් දිගටම ඇහුවා. ඇයි අපේ මිනිස්සුන්ට වෙඩි තියෙන්නේ. ඔහු එය නිරන්තරයෙන් විමසුවා. ඇයි ? ඇයි ? මේ අහිංසක මිනිස්සු. මොවුන් සිවිල් වැසියන්. ඔහු දිගින් දිගටම කිව්වා” යැයි හීබල් ඒ මතකය ආවර්ජනය කළේය. 

1975 වසරේදී යුද්ධය අවසන් වූ අවස්ථාවේදී ඇමෙරිකා හමුදාවේ ජ්‍යෙෂ්ඨයන් ප්‍රවීණයන් නැවත වියට්නාමයේ මයි ලායි වෙත පැමිණ සමාව ගත් අතර ඔවුහු ඒ සම්බන්ධයෙන් පසුතැවුණාහ. ඒ ආකාරයෙන්ම හීබල් ද එසේ වියට්නාමයට පැමිණ මයි ලායි ජනතාවගෙන් සමාව ඉල්ලූ අතර තමා ඒ ගැන පසු තැවෙන බව ද කීවේය.

“එදා ඉතිරි වූ ජනතාවගෙන් මම සමාව ඉල්ලුවා. මම පසුතැවෙන බව ඔවුන්ට කිව්වා. මාර්තු 16 සිදුවීම ගැන මම සමාව ඉල්ලුවා. මොනයම් හෝ හොඳකට ඔවුන් එය පිළිගත්තා” හීබල් අවසාන වශයෙන් කියා සිටියේය.

හර්ෂණ තුෂාර සිල්වා
ඒ.එෆ්.පී ඇසුරිනි


RECOMMEND POSTS